පළාත් පාලන ආයතන අනාගතයට ලෑස්ති කිරීම | දිනමිණ

පළාත් පාලන ආයතන අනාගතයට ලෑස්ති කිරීම

මේ ලිපියේ පළමු කොටස පසුගිය සතියේ පළ විය.

ව්‍යාපෘති මඟින් යටිතල පහසුකම් ඇති කිරීම ප්‍රති සංවිධානයන් අතර මනා සම්බන්ධයක් තිබිය යුතුය. ඇති කළ වත්කම් නිසි ලෙස මෙහෙයවීම හා නඩත්තු කිරීම, සේවා පද්ධති හා ක්‍රියාපටිපාටි නවීන තාක්ෂණය මත වැඩි දියුණු කිරීම හා වියදම් සඳහා ආදායම් උත්පාදනයට, හැකි සෑම විටම එම වත්කම් යොදා ගැනීම කළ හැක්කේ එවැනි දර්ශනයක් ඇත්නම් පමණි. එය සාක්ෂාත් කිරීමට සභා තුළ කළමනාකාරීත්වයන් ස්ථාපිත කිරීම ප්‍රතිසංවිධානයනගේ අරමුණ විය යුතුය. මෙය දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් වශයෙන් හඳුනා ගැනීමෙන් ව්‍යාපෘති කාලයෙන් පසුව ද එහි පැවැත්ම සඳහා ආයතනික හා පළාත් කාර්ය මණ්ඩල සතු වගකීම භාර ගැනීම අත්‍යවශ්‍යය.

ප්‍රතිසංවිධාන කටයුතුවල වැරදි ආකල්පය වන්නේ එය සැලසුම්කර ආරම්භ කරන ව්‍යාපෘතියේ කාර්යක් වශයෙන් සළකා ස්ථිර කාර්ය මණ්ඩල හා මෙහෙයුම් ආයතන එයට සම්බන්ධ නොවීමය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ව්‍යාපෘති කාලය තුළ ප්‍රති සංවිධාන ආරම්භ වුවද කෙටි කාලීනව ව්‍යාපෘතිය හමාර වූ පසුව එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන නොයාමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යාමයි. ව්‍යාපෘති කාලය තුළ එය කණ්ඩායම් වැඩක් වශයෙන් නොසැලකීමෙන් හා එම ප්‍රතිසංවිධාන නිර්ණායකයන් වැලඳ නොගැනීමෙන් වැඩපිළිවෙළ හඳුනාගැනීම හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුම හා ආභාෂය නොලැබීම මත ප්‍රතිසංවිධානය අතරමඟ ඇණ හිටී. එවිට එහි තිරසාර බව ගිලිහී යයි. අඛණ්ඩව පැවතිය යුතු දීර්ඝ කාලීන ක්‍රියාදාම සඳහා කෙටි කාලීනව ලබා දිය හැක්කේ ආරම්භයක් පමණි.

වත්කම් කළමනාකරණය

ප්‍රාදේශීය සභා ස්ථාපිත කරන විට නිසි ලෙස වත්කම් හා වගකීම් හඳුනා ගැනීමක් ‍හෝ අගය කිරීමක් සිදු වී නොමැති බව පැහැදිලි කරුණකි. ප්‍රමිතගත ශේෂ පත්‍රයක් ඒවා ආරම්භයේදී දක්නට නැත. සමහර ප්‍රාදේශීය සභා තමන්ට අයිති වත්කම් සීමා, ධාරිතා හෝ අගයන් තවම දන්නේ නැත. ඒවා දැන ගැනීමට තොරතුරු සොයා යාම ඔවුන්ට තනිව කළ හැක්කක් ද නොවේ.

වර්තමාන ප්‍රතිසංවිධානයන් තුළ කළ යුතු ප්‍රමුඛ කාර්යයක් වන්නේ පොදු ප්‍රතිපත්තිමය තීරණයන් මත එක් එක් සභා සතු වත්කම් (ඉඩම් ඇතුළුව) හඳුනා ගැනීම හා අගය කිරීමකට ලක් කිරීමය. එය ප්‍රාදේශීය සභාවටම පවරා තිබීමෙන් ඉක්මන් විසඳුමක් නො ලැබෙන අතර මධ්‍යගත වැඩපිළිවෙළක් මඟින් හෝ විශේෂ අවසරයක් මත සේවා ප්‍රසම්පාදන වැඩපිළිවෙළක් මගින් එය ඉටු කර ගැනීමට කටයුතු කළ හැකිය. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට පමණක් මෙම කාර්යය පවරන්නේ නම් ඒ සඳහා දිගු කාලයක් ගත වන බව නො රහසකි. අපහසු දේ ඉටු කර ආරම්භක නිවැරදි ශේෂ පත්‍රය සකසා දීමෙන් පසු ඒවා නිසි ලෙස ඉදිරියට පවත්වා ගැනීමේ වගකීම එම සභාවට පැවරිය හැකිය.

හඳුනාගත් හා අගය කළ වත්කම් මෙහෙයවා සේවා සැපයීම සඳහා අවශ්‍ය උප ඒකක පිහිටුවීම හා ඒවා ආයතන සංවිධාන සැලැස්ම තුළ ස්ථාන ගත කිරීමත්, ඒකකවලට වත්කම් පැවරීම හා අනාගතයේ වත්කම් යාවත්කාලීන කිරීම, මෙහෙයවීම හා නඩත්තු කිරීමට සැළසුම් සහගත ක්‍රියා පිළිවෙළක නියැලීමට ඒකක ප්‍රධානීන්ට නියම කිරීමත් ආයතන විසින් කළ යුතු කාර්යයන් වේ. මේ සඳහා ව්‍යාපෘති කාර්ය මණ්ඩලවලට උපකාර කළ හැකි වුව ද ක්‍රියාත්මකභාවය පවතින්නේ ආයතනයේ හා එහි පාලනයේ උනන්දුව මතය. ප්‍රතිපත්තිමය තීරණයන් ද මෙයට බලපායි.

ක්‍රියාකාරීත්වය සඳහා හඳුනාගත් ප්‍රධාන දුර්වලතාවය වශයෙන් දක්වන්නේ කාර්ය මණ්ඩල අඩුපාඩුවයි. බොහෝ අයාතනවල වත්කම්වල වගකීම එක අංශයකට පැවරී ඇති නිසා වගකීම් බෙදා හැරීමක් සිදුව නැත. ඒ නිසා නිසි සැලසුම් සැකසීම, ඵලදායි මෙහෙයවීම හා නඩත්තු කටයුතු කිරීම ආකර්යක්ෂම වී ඇත. බොහෝ ආයතන නඩත්තු කටයුතුවල නියැලෙන්නේ වත්කම කඩා හැලුණාට පසුවය. පූර්ව නිශ්චිත නඩත්තු කාර්ය, කාලය හෝ වියදම පිළිබඳ දැක්මක් ඔවුන්ට නැත. වත්කම්වලින් නිසි සේවය හෝ ආදායම නොලැබීම හා ඒවයේ ජීවිත කාලය කෙටිවීම මෙහි ප්‍රතිඵලය වී ඇත.

ආයතන කාර්ය මණ්ඩලය හා කළ යුතු කාර්යයන් ඇගයීමත්, හැකියා හඳුනාගෙන රාජකාරි බෙදා හැරීමත් කාර්ය මණ්ඩල අඩුපාඩු අදාළ ප්‍රධානීන් මඟින් වාර්තා කොට ඒවා සපුරා ගැනීමත් සිදු විය යුතු කාර්ය වන අතර නිසි ප්‍රති සංවිධානයන් අවංකව බලාපොරොත්තු වන්නේ නම් මේ හා සම්බන්ධ නිලධාරීන් හා ආයතන එම වැඩපිළිවෙළට ප්‍රමාදයෙන් තොරව අනුග්‍රහ දැක්වීමත් සිදුවිය යුතුය. හඳුනාගත් හා උප ව්‍යාපෘතිවලින් ජනිත වත්කම්වලින් ඵලදායි සේවයක් සැපයීම හා ආදායම් උත්පාදනයත් වත්කම් ආරක්ෂණය හා නඩත්තු කිරීම තුළින් දීර්ඝ කාලීන පැවැත්ම තහවුරු කිරීමත් වත්කම් කළමනාකරණයේ ප්‍රතිඵල වේ.

මෙම ප්‍රතිසංවිධාන අවශ්‍යතා සැලසුම්වල හඳුන්වා දී තිබුණ ද එම වැඩපිළිවෙළ සභා විසින් වැලඳ නොගැනීම හා අදාළ පාර්ශ්වයනගේ සහයෝගය නොලැබීම මත තිරසාර ප්‍රතිඵල ලැබීමට අසමත්ව ඇත.

මූල්‍ය කළමනාකරණ පද්ධති

පළාත් පාලන ආයතන තුළ පවතින ප්‍රධාන අඩුපාඩුවක් වන්නේ නිසි කලට කළමනාකාරිත්ව තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයන්ගේ දුර්වලතාවය හා එවැනි තොරතුරු මත තීරණ ගැනීමේ පුරුද්දක් නොමැති වීමයි. මෙය බොහෝ දුරට යටත් විජිත ක්‍රමෝපායන්ගේ එළඹ සිටින ලංකාව වැනි රටවලට උරුම වී ඇති පාලන රටාව නිසා ඇති වූවකි. එහෙත් අවම වශයෙන් පළාත් පාලන අයාතන ප්‍රාදේශීය මට්ටමේ කළමනාකරණ ඒකක වශයෙන් සළකමින් කළමනාකාරිත්ව මුලිකාංග මත පාලනය ස්ථාපිත කිරීම ප්‍රතිසංවිධානයන්ගේ තවත් අරමුණක් විය යුතුය.

බොහෝ පළාත් පාලන ආයතන අය-වැය යොදා ගන්නේ ද ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් වශයෙනි. නමුත් ඒ මත මූල්‍ය පාලනය ස්ථාපිත කිරීම ප්‍රතිසංවිධාන නිර්ණායකයකි. වාර්ෂික අය-වැයට අමතරව මධ්‍යකාලීන අය-වැය පිළියෙළ කොට මූල්‍ය සම්පත් හා සංවර්ධන සැලසුම් හැසිරවීමේ පුරුද්ද ඇති කළ යුතුය. මූල්‍ය ශක්තිය ඇති ආයතන එම සම්පත් තැන්පත්වල තබා ගනිමින් මධ්‍යම රජයේ ආධාර බලාපොරොත්තු වීම සිරිතක් කර ගෙන ඇත. ඉදිරි මූල්‍ය පුරෝකථනය සහිතව කාර්ය සම්පාදනය සිදු නොවන තරම්ය. පුරෝකථත අනාගත ආදායම වර්තමාන සංවර්ධනය සඳහා යොදා ගැනීමට යොමු වීමක් නැත. ණය මත සංවර්ධනයක් පළාත් පාලන ආයතනවල සැලසුම් නොවන්නේ මේ නිසාය. පළාත් පාලනය ආයතන සඳහාම වෙන් වූ ණය දෙන ආයතනයක් වන දේශීය ණය හා සංවර්ධන අරමුදලේ සක්‍රීය දායකත්වය තුළ ණය මත සංවර්ධනය ඇති කළ හැකිය. මේ සඳහා ආභාෂයක් ලබා දීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුවද එම සංකල්පය ඉදිරියට ගෙන යාමක් දක්නට නොලැබේ. ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ විශ්වාසය මූල්‍ය පුරෝකථනයන් නොමැති වීම නිසා බිඳ වැටී ඇත. ණය දෙන ආයතනය ද සංකල්පය හුදකලා කොට ඒ ගැන උනන්දුවක් නොදක්වයි. විශේෂයෙන් ආදායම් ජනිත කරන ව්‍යාපෘති පළාත් පාලන ක්ෂේත්‍රය තුළ ඇති කිරීමට මෙම ක්‍රමය යොදා ගත හැකිය.

අණ පනත්, රෙගුලාසි හා චක්‍රලේඛවලටම සීමා වූ ගතානුගතික පාලන රටාවක් මෙම ආයතනවල ස්ථාපිත වී ඇති අතර එයින් මිදී කටයුතු කිරීමට නිලධාරීන් මැලිකමක් දක්වයි. එහෙත් ඒවාට හානි නොවන පරිදි කළමනාකාරිත්ව මූලිකාංග අනුගමනය කිරීමට ඇති හැකියාව සම්මත චින්තනයෙන් ඔබ්බට ගොස් සිතීම නොකරන්නේ නම් ප්‍රතිසංවිධානයන්ගෙන් අපේක්ෂිත කළමනාකාරිත්වය අැති කිරීම දුෂ්කරය. මනා පාලන පරිචයන් ඇති කිරීමට චක්‍රලේඛ අවශ්‍යම අංගයක් නොවේ. මෙම අංශයේ වාර්තාකරණය හා විගණනය පවා ව්‍යවස්ථාපිත තත්ත්වයෙන් එහාට සිදු වන බවක් නොපෙනේ.

දියුණු කළමනාකරණ උපක්‍රම හා පරිගණක භාවිතයට ඔවුන් තුළ ඇත්තේ අඩු නැඹුරුවකි. ව්‍යාපෘති මඟින් සංවර්ධනයන් කිරීමට ප්‍රයත්න දැරුව ද එයට වඩා සුපුරුදු සම්ප්‍රදායන්ටම ප්‍රමුඛත්වය දෙනු විනා කළමනාකාරිත්ව ඇසකින් ඒ දෙස බැලීමට ඔවුන් නොසිතයි. ෙමයට වසර 30කට පමණ පෙර හඳුන්වා දුන් ආකෘති මත තවමත් මූල්‍ය වාර්තාකරණය සිදු වේ. ප්‍රමිත හා මනා පරිචයන්ට අනුව ඒ තුළ වෙනස්කම් කිරීමට දැන් කාලය එළඹ ඇත. එහිදී අවශ්‍ය වන්නේ ව්‍යවස්ථාපිත හා කළමනාකාරිත්ව අවශ්‍යතා එක්ව යන ප්‍රමිතගත බලධාරී පොදු වැඩපිළිවෙළක් මධ්‍යගතව හඳුන්වා දීමයි. උදාහරණ වශයෙන්, ප්‍රමිත ගිණුම්කරණය අනුව සකස් කළ හැකි වාර්තා හා ව්‍යවස්ථාපිත වාර්තා අතර පවතින වෙනස නිසා ප්‍රමිත ගිණුම්කරණය අනුගමනය කිරීමට ආයතන මැලි වන්නේ ව්‍යවස්ථාපිත තත්ත්වය ඔවුන්ගේ රාජකාරිය වන බැවිනි. නමුත් ප්‍රමිත ගිණුම්කරණය හා පරිචයන් කළමනාකාරිත්වය අවශ්‍යතාවයකි.

ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව පවා පිළිගෙන ඇත්තේ ප්‍රමිත ගිණුම්කරණය රාජ්‍ය අංශය තුළ ස්ථාපිත විය යුතු බවයි. එම ගිණුම්කරණය හඳුන්වා දිය හැකි ප්‍රමුඛ ස්ථාන වන්නේ පළාත් පාලන ආයතනයි. ඒකක සංකල්ප අනුව හඳුනාගත හැකි මූල්‍ය හා කළමනාකරණ ශ්‍රීතයන් බොහොමයක් ඒවායේ ඇත. කළමනාකරණ තොරතුරු මත තීරණ ගැනීමේ ක්‍රමවේදයන් ඒවායේ ස්ථාපිත කිරීමට හැකියාක් තිබේ. අවශ්‍ය වන්නේ මෙම ක්‍රමවේද බලධාරීන් විසින් ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගැනීමත් සුදුසු කාර්ය මණ්ඩල ස්ථානගත කිරීම හා ඔවුන්ට පුහුණුව ලබා දීමට කටයුතු කිරීමත්ය. මුල් බැස ගත් තත්ත්වය මත ව්‍යවස්ථාපිත අවශ්‍යතාව ද මෙහිදී වැදගත් වන නිසා නෛතික රාමුව සැකසීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ කාර්යයක් වේ. ක්‍රම හා විධි හඳුන්වා දීම හා පුහුණුව ලබාදීම ව්‍යාපෘති කාර්යයන් විය හැකි වුව ද ඒවා බලධාරී කිරීම හා කාර්ය මණ්ඩල බඳවා ගැනීම එයට කළ නොහැකිය. එහෙත් ප්‍රති සංවිධානයන් තුළ මේ සියල්ල ඉටු විය යුතු නිර්ණායක වේ. පද්ධති පරිගණකගත කිරීමේ දී ද මෙහි ගැටලු පවතී. යල් පැන ගිය ක්‍රමවේද හා පද්ධති සඳහා මෘදුකාංග සැකසීම තිරසාර සංවර්ධනයේ නිරර්ථක කටයුත්තක් වේ. ඒ සඳහා අවශ්‍ය නූතන ප්‍රමිතගත තත්ත්වයන් මත වූ පද්ධති සැකසීම හා පිළිගැනීම ප්‍රථමයෙන් සිදු විය යුතු අතර පරිගණකගත විය යුත්තේ ඒවාය. මේ සඳහා අදාළ වෘත්තියන්ගේ සහයෝගය ලබා ගත යුතුය.

නවීන තාක්ෂණය

නිතර මාරුවීමට ලක්වන විශේෂිත නොවූ කාර්ය මණ්ඩලවලින් මෙම කාර්යයන් ඉටු කර ගැනීමට හැකි බවට පිළිගෙන ඇති පොදු පරිපාලන මාණ්ඩලීකරණය ද මෙහි දී බාධාවක්ව පවතී. අවම වශයෙන් එම කාර්ය සඳහා මූලික සුදුසුකම් ලැබූ පිරිසක් පළාත් පාලන ආයතනයන්ට, සංවෘත සේවාවක් යටතේ, බඳවා ගැනීම හා පුහුණු කිරීම ප්‍රතිසංවිධාන අවශ්‍යතාවයකි. ඒ අනුව ඔවුන්ගේ සේවා පුහුණුව උපරිම වශයෙන් සේවා කාලය පුරාම එම ආයතන ජාලය වෙත ලබා ගැනීමට හැකියාව ලැබේ.

දැනට පළාත් පාලන ආයතන තුළ අක්‍රමවත්ව විවිධ මෘදුකාංග භාවිත වන්නේත් යම් පුහුණුවක් ලද කාර්ය මණ්ඩලවල සේවය ආයතනවලට අහිමි වන්නේත් ඇති කරන වැඩපිළිවෙළ අතරමඟ කඩා හැලෙන්නෙත් මේ පිළිබඳ ප්‍රතිපත්ති තීරණයන් නොමැති බැවිනි. මෙයට වසර ගණනාවකට පෙර පොදු මෘදුකාංග ලබා දීමට අදහසක් තිබුණ ද එය තවමත් ඉටු වී නොමැති බැවින් එම ආයතනවල ස්වයංක්‍රීය පද්ධති ඇති කිරීම තවමත් ගැටලුවක් වී ඇත. ආයතන කටයුතු පරිගණකගත කිරීම, සංස්කරණය හා පරිගණක වටා ඇති පද්ධති හා ප්‍රවාහයන් එයට අනුකූලව සැකසීම නොවන්නේ නම් එයින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබිය නොහැකිය. ආයතනයන්ට හා ඒ වටා ඇති සුපරීක්ෂකයන්ට මෙන්ම පසු විපරම්කරුවන්ට ද පාලකයන්ට ද මේ සඳහා වගකීමක් පැවරේ.

මෙවැනි පොදු ආයතන ව්‍යුහයක් ප්‍රතිසංවිධාන කිරීම තිරසාර ලෙස කළ හැක්කේ එම සැලසුම් හුදෙකලා කිරීමෙන් නොව ප්‍රතිපත්ති සම්පාදකයන් ද, ඒවා මෙහෙයවන්නන් ද, බලධාරි නිල ලත් අය ද, ආයතන හා ව්‍යාපෘති සේවකයන් ද උපදේශකයන් ද එක්වූ කණ්ඩාමකින් මිස තනි තනිව නොවේ. දේශපාලන ප්‍රති සංවිධානයන් පිළිබඳ පවතින උනන්දු හා කතිකාවත පළාත් පාලන කළමනාකාරිත්වය දෙස යොමුව නො පැවතීම කාගේත් අවධානයට ලක් විය යුතු කරුණකි.

මූල්‍ය සහ ආර්ථික විශ්ලේෂක
වී. මු. ආනන්ද අමරවංශ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...