ලලිත්-අනූෂගේ ඇප අයැදුම් අද කැඳවයි | දිනමිණ

ලලිත්-අනූෂගේ ඇප අයැදුම් අද කැඳවයි

කුමුදු හෙට්ටිආරච්චි

පසුගිය ජනාධිපතිවරණය සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ නඩුවෙන් දඬුවම් නියම වූ ලලිත් වීරතුංග හා අනූෂ ‍පැල්පිට යන අය ඕනෑම කොන්දේසියක් මත තමනට ඇප නියම කරන්නැයි ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන ඇප අයදුම්පත් දෙක නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අද (14) කැඳවෙයි.

හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන විත්තිකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නිතීඥවරුන් විසින් කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරිය හමුවේ මෙම ප්‍රතිශෝධන ඇප අයදුම්පත් ගොනු කරන ලදී.

පසුගිය 07 වැනිදා මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිත වසර තුන බැගින් වූ සිරදඬුවම් නියම කරන ලදී. විත්තිකරුවන්හට ලබාදුන් සිර දඬුවම, දඩ හා වන්දි මුදල් ගෙවීම අවලංගු කර අදාළ සියලු චෝදනාවලින් තමන් නිදොස්කොට නිදහස් කරන්නැයි ඉල්ලා විත්තිකරුවන් දෙදෙනා වෙන් වෙන්ව කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරිය හමුවේ අභියාචනාද ගොනු කරන ලදී.

එම අභියාචනා සලකා බැලීම සඳහා අභියාචනා අධිකරණය වෙත යොමු කිරීමට නියමිතයි.

නව අදහස දක්වන්න