ඇලෝසියස්ගෙන් බලෙන් සාක්කි ගන්න බලයක් නෑ | දිනමිණ

ඇලෝසියස්ගෙන් බලෙන් සාක්කි ගන්න බලයක් නෑ

කමනි අල්විස්
අර්ජුන ඇලෝසියස් මහතා ඊයේ දින (13) බැඳුම්කර කොමිසමට පැමිණ උසාවියෙන් නික්ම යන අයුරුයි. එහිදී නීතිඥවරුන් වන ගාමිණී මාරපන, නවීන් මාරපන සහ අරුල් ප්‍රකාශම් මහත්වරුන් සමඟ සුහදව කතා කර ඉන්න අයුරුයි. ඡායාරූපය - විමල් කරුණාතිලක

අර්ජුන් ඇලෝසියස් මහතාගේ සාක්කිය කොමිසමට වැදගත් වුවද ඒ මහතා සාක්කිදීමට අකමැති නම් සාක්කිදීම සඳහා බල කිරීමට ව්‍යවස්ථාව අනුව කොමිසමට බලයක් නොමැති බව බැඳුම්කර කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා කොමිසමේ නියමය ඊයේ (13) ප්‍රකාශයට පත් කරමින් පැවසීය.

කොමිසම මේ සම්බන්ධව නිකුත් කර තිබෙන නියමය මැනවින් පරිශීලනය කිරීමෙන් පසු සාක්කිකරුගේ ස්ථාවරය අද (14) කොමිසම හමුවට දැනුම් දෙන ලෙසට කොමිසම ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතාට දැනුම් දෙනු ලැබීය.

ඇලෝසියස් මහතාට සාක්කි ලබාදීමට කොමිසම විසින් ලබාදී තිබෙන අවස්ථාව ප්‍රතික්ෂේපකරන්නේ නම් කොමිසම ‍වෙත මේ වන විට ලැබී තිබෙන සාක්කි මත පිහිටා ඉදිරියේදී කොමිසම ක්‍රියා කරන බවත් අදාළ නියමයේ වැඩිදුරටත් සඳහන් වේ.

සාක්කිකරුගේ ස්ථාවරය සාක්කි ලබානොදීමබව ජනාධිපති නීතිඥ මාරපන මහතා පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන මහතා මෙහිදී නැවත ජනාධිපති නීතිඥ මාරපන මහතාට දන්වා සිටියේ කොමිසමේ නියමය ප්‍රවේශමෙන් අධ්‍යයනය කිරීමෙන් පසු අද දිනය ස්ථාවරය දැනුම් දෙන ලෙසටයි.

කොමිසමේ නියමය පිළිබඳව නීතිපතිවරයාගේ අවධානය යොමු කර නීතිපති උපදෙස් ලබාගෙන නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය කොමිසමට ඉදිරිපත් කරන බව වැඩබලන සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය. කොමිසම අදාළ නියමය නිකුත් කළේ අර්ජුන් ඇලෝසියස් මහතා සාක්කි ලබාදීම සඳහා කැඳවීමට කොමිසමට බලයක් නොමැති බවට ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ගොනු කළ විරෝධතාවය සළකා බැලීමෙන් පසුවයි. 

නව අදහස දක්වන්න