ගම්පහ බුලත් වගාවට හඳුනා නොගත් දිලීර රෝගයක් | දිනමිණ

ගම්පහ බුලත් වගාවට හඳුනා නොගත් දිලීර රෝගයක්

 බුලත් වගා කටයුතුවලදී හඳුනා නොගත් දිලීර රෝග බෝවීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ බුලත් වගාකරුවෝ විවිධ ගැටලුවලට මුහුණපා සිටිති.

මෙම දිලීර රෝග සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කිසිදු බෙහෙතක් සොයාගෙන නොමැති බව බුලත් වගාකරුවෝ පවසති. මේ වනවිට බුලත් වගා කටයුතු සඳහා අවශ්‍ය කොවුල් නොමැතිකමින් බුලත් වගාකරුවෝ විවිධ කරදරවලට මුහුණපා සිටිති. තරුණ පරපුර කය වෙහෙසා මෙම බුලත් වගා කිරීමේ කටයුතුවල නිරත නොවීම හේතුවෙන් මේ වනවිට ප්‍රදේශයේ බුලත් වගාව දිනෙන් දින පහත මට්ටමක පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මීට අමතරව පායන කාලයේදී වගා කටයුතු සඳහා ජලය නොමැතිකමින් බුලත් කොටු විනාශවී‍ෙම් අවදානමක් මතුව පවතියි.

කඩවත, ගෝනහේන ප්‍රදේශයේ පදිංචි කේ. විමලසේන මහතා මෙසේ පැවසීය.

මම වසර හතළිහක පමණ කාලයක සිට බුලත් වගා කිරීමේ කටයුතුවල නිරතවනවා. බුලත් වගාවට හඳුනා නොගත් දිලීර රෝග බෝවීම හේතුවෙන් වගා බිම් විනාශ වීම නිසා අපි විවිධ ගැටලුවලට මුහුණපා සිටිනවා. මෙම දිලීර රෝග සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පවා සොයා ගැනීමට හැකිවී නැහැ. මුල් කාලයේ ප්‍රදේශයේ පැවැති විශාල ඉඩම්වලින් වගා කටයුතු සඳහා අවශ්‍ය කොවුල් ලබා ගැනීමට කටයුතු කළා. එහෙත් මේ වනවිට එම විශාල ඉඩම් කැබලිකර විකිණීම නිසා බුලත් වගා කිරීමේදී ඒ සඳහා අවශ්‍ය කොවුල් සොයා ගැනීමේදී අපි විවිධ ගැටලුවලට මුහුණපා සිටිනවා.

මෙම වගා කටයුතු සඳහා තරුණ පරපුර එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. මඟුල් සහ මළගෙවල් සඳහා සංස්කෘතික අංගයක් ලෙස බුලත් යොදා ගැනීමට කටයුතු කරනවා. පායන කාලයට බුලත් වගාවට අවශ්‍ය ජලය නොමැතිකමින් බුලත් වගාවන් විනාශවීමේ අවදානමක් මතුව පවතින බව ඔහු පැවසීය.

කඩවත, ගෝනහේන ප්‍රදේශයේ පදිංචි කේ. ජයසේන මහතා මෙසේ පැවසීය.

මේ වනවිට ප්‍රදේශයේ විශාල ඉඩම් කැබලිකර විකිණීම නිසා බුලත් වගාවට අවශ්‍ය කොවුල් සොයා ගැනීමේදී අපි විවිධ කරදරවලට මුහුණපා සිටිනවා. මේ නිසා කොවුල් වෙනුවට කොන්ක්‍රීට් කණු සවි කිරීමට කටයුතු කරනවා. තරුණ පරපුර බුලත් වගා කටයුතු සඳහා යොමු වන්නේ නැහැ. ඉඩෝර කාලයට අවශ්‍ය ජලය නොමැතිවීම හේතුවෙන් බුලත් වගාව විනාශවීමේ අවදානමක් මතුව පවතිනවා.

මීට අමතරව බුලත් වගාවේදී හඳුනා නොගත් දිලීර රෝග බෝවීම හේතුවෙන් ප්‍රදේශයේ බුලත් වගාව ශීඝ්‍රයෙන් පහත වැටී තියෙනවා. ඒ අනුව බුලත් වගා කටයුතුවල නිරත පිරිසට අදාළ අංශ මැදිහත්ව අවශ්‍ය සහන පොලී අනුපාත යටතේ ණය සහ සහනාධාර ලබා දෙන්නේ නම් බුලත් වගාව සාර්ථකව කරගෙන යාමට හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඡායාරූපය - මහර සමූහ 

නව අදහස දක්වන්න