ශ්‍රී ලංකාවේ බී.එම්.එස් පිට පිට තෙවැනි ජය ලබයි | දිනමිණ

ශ්‍රී ලංකාවේ බී.එම්.එස් පිට පිට තෙවැනි ජය ලබයි

 රෙඩ්බුල් විශ්වවිද්‍යාලයීය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පිට පිට ලැබූ තෙවැනි ජය සටහන් කිරීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින ව්‍යාපාර කළමනාකරණ පාසල (බී.එම්.එස්.) පෙරේදා සමත් විය.

මේ ජය සමග එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද බී.එම්.එස් පිලට හැකිවිය.

තරගාවලියේ තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම රෙඩ්බුල් විශ්වවිද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පළමු වරට එක්වූ සිම්බාබ්වේහි විද්‍යාව සහ තාක්ෂණවේදී ජාතික විශ්වවිද්‍යාලයට (එන්.යූ.එස්.ටී. කණ්ඩායම) එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කළෙය්.

එම තරගයේදී සිම්බාබ්වේ පිල ලකුණු 108 කට සීමා කිරීමට බී.එම්.එස්. පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී මනෝජ් සරත්චන්ද්‍ර, කොෂාන් ජයවික්‍රම සහ ගේෂාන් විමලධර්ම කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ. ලකුණු 109ක ජයග්‍රාහී ඉලක්කය ඕවර 10.5කදී පසුකළ බී.එම්.එස් ක්‍රීඩකයන්ට අහිමිවූයේ කඩුලු 3ක් පමණි. බී.එම්.එස් පිල ජය කරා ගෙන යෑමේදී වේගවත් පිතිහරඹයක නිරත වූ තිලක්ෂ සුමනසිරි පන්දු 11කදී ලකුණු 30 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක්ද සමගිනි. ආරම්භක පිතිකරු දිනුක් වික්‍රමනායක හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 31ක් රැස් කළේය.

තරගයේ වීරයා සම්මාන දිනුක් වික්‍රමනායකට හිමිවිය.

මේ අතර මූලික වටයේ අවසන් තරගවලින් ජයග්‍රහණ අත්කර ගැනීමට දකුණු අප්‍රිකාවේ වයඹ විශ්වවිද්‍යාලය (එන්.ඩබ්.යූ.), ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලය සහ බංග්ලාදේශයේ ලිබරල් ආට්ස් විශ්වවිද්‍යාලය (යූ.එල්.ඒ.බී.) සමත් විය.

නව අදහස දක්වන්න