පෙට්-යන්ත්‍රයට මොකද වුණේ ? | දිනමිණ

පෙට්-යන්ත්‍රයට මොකද වුණේ ?

 පළමුව එම්.මොහොමඩ් මහතාට සවන් දෙන්න! ඔහුගේ කතාව අසන්න! දෙවනුව පිළිකා රෝග පරීක්ෂණ සඳහා යොදාගනු ලබන පෙට් ස්කෑන් නම් යන්ත්‍රය ගැන තීන්දුවක් ගන්න!

එම්.මොහොමඩ් මහතා පිළිකා රෝගයකින් පෙළෙන දරුවකුගේ ආදරණීය තාත්තා කෙ‍ෙනකි. ආදරණීය යන විශේෂණය යොදන ලද්දේ ඔහු තමාගේ දරුවා වෙනුවෙන් පමණක් නො ව; අනුන්ගේ දරුවන් වෙනුවෙන් ද කාරුණික වූ තාත්තා කෙනකු බැවිනි. මේ තීරුව කියවා අවසන් වන විට ඔබට එය දැනෙනු ඇත. මොහොමඩ් මහතා වසර ගණනාවක් තිස්සේ තම දරුවාට ප්‍රතිකාර කළේ ය. විදේශ රටවල් කිහිපයකට ගොස් විශේෂ ප්‍රතිකාර ද ලබා දුන්නේ ය. එහෙත් රෝගය සුව වූයේ නැත. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණ මෙරට බටහිර වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කළේ ය. මෙහිදී ඔහු මුහුණදුන් බරපතළ ගැටලුවක් වූයේ පෙට් ස්කෑන් යන්ත්‍රයෙන් පරීක්ෂණ සිදු කිරීම ය.

මෙරට රෝහල් පද්ධතිය තුළ පෙට් ස්කෑන් යන්ත්‍රයක් තව ම නැත. පෞද්ගලික රෝහල් කිහිපයක එම යන්ත්‍ර පවතින අතර එක පරීක්ෂණයක් සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ එකහමාරකට වැඩි මුදලක් වැය වෙයි. මොහොමඩ් මහතා තම පුත්‍රයා වෙනුවෙන් එබඳු ස්කෑන් පරීක්ෂණ දහයක් සිදුකර තිබේ. මෙබඳු ස්කෑන් යන්ත්‍රයක් මහරගම අපේක්ෂා රෝහලට පමණක් හෝ ලබාදෙන්නේ නම්; එය මහා විශාල ජනතා සේවයක් වනු ඇත. මොහොමඩ් මහතා එම සද්කාර්යය ආරම්භ ක‍ළේ ය. ඔහු ඒ සඳහා අරමුදලක් පිහිටුවීය. මාස තුනක් යෑමටත් පෙර රුපියල් කෝටි විසිපහකට අධික මුදලක් අරමුදලට එකතු විය. මොහොමඩ් මහතා ඒ සියලු මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇත්තේ මහත් බලාපොරොත්තු දල්වාගෙන ය.

වසර එකහමාරක් ගත වී ඇත. එහෙත් අදාළ පෙට්- ස්කෑන් යන්ත්‍රය අද වනතුරු ද රෝහලට ගෙන්වා නැත. සාමාන්‍යයෙන් මෙබඳු යන්ත්‍රයක් රුපියල් කෝටි විස්සක් පමණ වේ යැයි කියති. මුදල් ලබා දී ඇත්තේ වුව පෙට්- ස්කෑන් යන්ත්‍රය ආනයනය කර නැත. මොහොමඩ් මහතාගේ එක් අපේක්ෂාවක් වූයේ තම පුත්‍රයා ජීවතුන් අතර සිටිය දී පෙට් - ස්කෑන් යන්ත්‍රය පිළිකා රෝහලට ලබාදීම ය. එහෙත් ඊට ඉඩක් ලැබුණේ නැත. මීට දින දෙකකට පෙර මොහොමඩ් මහතාගේ පුත්‍රයා ජීවිතයෙන් සමුගත්තේ ය. අපට මේ සිද්ධිය දැනෙන්නේ බලවත් ඛේදවාචකයක් හැටියට ය. මේවා මෙලෙස සිදුවන්නේ මන්දැ’යි සොයා බැලිය යුතුය.

අමාත්‍යාංශයෙන් හා පිළිකා රෝහලෙන් ද අපි මේ ගැන ප්‍රශ්න කළෙමු. එහෙත් නිශ්චිත පිළිතුරක් නැත. කෙනකුගේ පිළිතුර වන්නේ පෙට් - ස්කෑන් යන්ත්‍රයක් ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම ඇතුළු තවත් රාජකාරි තිබූ බවය. ඒවා ප්‍රමාදවීමෙන් යන්ත්‍රය ගෙන්වීම ද ප්‍රමාද වී ඇත. තව කෙනකුගේ පිළිතුර වන්නේ මේ යන්ත්‍රය සවිකිරීම සඳහා වෙන ම කුටියක් නිර්මාණය කළ යුතු බව ය. එලෙස කුටිය නිර්මාණය කිරීම භාරගත් කොන්ත්‍රාත්කරුවන් ඉදිකිරීම් පැහැර හැර ඇත. ඒ අනුව යන්ත්‍රයේ ප්‍රයෝජනය පිළිකා රෝගීන්ට ලැබී නැත. වසර එකහමාරක් හෙවත් මාස දහසයක් මේ කටයුත්ත ප්‍රමාද වී ඇත්තේ ටෙන්ඩර් පටිපාටිය නිසා ද? නැතහොත් කොන්ත්‍රාත්කරුවන් නිසා ද?

රජයේ ආයතනවල ක්‍රියාකාරිත්වය ගැන ද ඒවායෙහි උසස් නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව ගැන ද යම් හරස්කඩක් මේ මඟින් ලබාගත හැකි ය. පෙට් - ස්කෑන් යන්ත්‍රයක් මිලට ගැනීම සඳහා අවශ්‍ය මුදලට වැඩි මුදලක් මොහොමඩ් මහතා අමාත්‍යාංශයට ලබා දී ඇත. පෙට් - ස්කෑන් යන්ත්‍රයක් මිලට ගන්නේ නම්; ඒ සඳහා රුපියල් දසලක්ෂ දෙසීයක් හෙවත් රුපියල් කෝටි විස්සක් පමණ වැය වන බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. මොහොමඩ් මහතා මේ කටයුත්ත සඳහා රුපියල් කෝටි විසිපහකට වැඩි මුදලක් ලබා දී තිබේ.

එම්.මොහොමඩ් මහතා අද ඉතා ශෝකයෙන් කියා සිටින්නේ තමන්ගේ පුත්‍රයා මිය යෑමට පෙර මේ යන්ත්‍රය ගෙන්වා ගැනීමට නොහැකිවීම ගැන තමන් හදවතින් ම හඬා වැටෙන බවය. ඔහු ආදරණීය පියකු පමණක් නොව; රටට ආදර්ශයක් සැපයූ පුද්ගලයකු හැටියට ද හඳුනාගත හැකි ය. තමන්ගේ පුත්‍රයා ගැන පමණක් ම සිතන - පතන පුද්ගලයකු නම්; යන්ත්‍රයක් ගැන තැවීමට හේතුවක් ඔහුට නැත. මොහොමඩ් මහතා කල්පනා කර ඇත්තේ අපේ රටේ අසරණ පිළිකා රෝගීන් ගැන ය. අවශ්‍ය පරීක්ෂණ සඳහා මුදල් නැති, අවශ්‍ය ඖෂධ සඳහා මුදල් නැති විශාල රෝගීහු පිරිසක් අප අතර සිටිති. මොහොමඩ් මහතාගේ අභිප්‍රාය වී ඇත්තේ එබඳු අයට පිහිටවීම ය. එහෙත් ඒ එකක්වත් හරියට සිදු වී නැත.

අපගේ අත්දැකීමට අනුව පිළිකා රෝගය සඳහා වූ ඖෂධ ඉතා ඉහළ මිලකට අලෙවි කරති. ඒ සඳහා නියම කරන ලද පරීක්ෂණ සඳහා ද ඉතා ඉහළ මිලක් අය කරනු ලැබේ. පිළිකා සඳහා භාවිත කරන ඇතැම් ඖෂධයක මිල රුපියල් හැත්තෑපන්දහස තරම් ඉහළ ගොස් තිබේ. මීට අදාළ ඇතැම් පරීක්ෂණ සඳහා රුපියල් ලක්ෂ දෙක තුන වැය කළ යුතු ය. අඩු ආදායම්ලාභී පවුල්වලට මේ තත්ත්වය දරාගත නොහැකි ය. මධ්‍යම පාන්තිකයකු වුව මේ තත්ත්වයට මුහුණ දෙන්නේ ණය - තුරුස් වීමෙන් බව කිව හැකි ය. ශ්‍රී ලංකාව තුළ නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින්නේ වුව එය අංගසම්පූර්ණ නැත.

ශ්‍රී ලංකාව පිළිකා රෝගීන් බහුල රාජ්‍යයක් ලෙස හැඳින්වීමෙහි වරදක් නැත. අද පවත්නා තාක්ෂණික හා විද්‍යාත්මක දියුණුවට අනුව පිළිකාව මාරාන්තිකයි යන පාඨය ගැන පවා අප ලැජ්ජා විය යුතුය. දියුණු රටවල් පිළිකාව මුළුමනින් ම ජයගනිමින් සිටිති. ඔවුන් මේ සඳහා භාවිත කරනුයේ විද්‍යාත්මක පරීක්ෂණවලින් සනාථ කරගත් ඖෂධ හා වෙනත් ප්‍රතිකාර ක්‍රමයන් ය. පිළිකාව වැළැක්වීම සඳහා නොයෙක් ආකාරයෙන් වැඩසටහන් ක්‍රියාත්මක වන බවද සත්‍යයෙකි. එහෙත් ඒ අතර පෙට් - ස්කෑන් යන්ත්‍රයට සිදු වූ සන්තෑසියෙන් පෙනී යන්නේ අප තව ම බතල කොළ සිටුවමින් ඉන්නා බවය!

අදහස් 1ක් ඇත

it is not this country's fault but the corrupted people in these organisations. How sad is this.....????

නව අදහස දක්වන්න