නවකතා වස්තු බීජ නිතර ලැබෙන්නෙ නැහැ | දිනමිණ

නවකතා වස්තු බීජ නිතර ලැබෙන්නෙ නැහැ

ධම්මික සෙනෙවිරත්න

මෙවර ‍හොඳම නව කතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය පිරිනැමුණේ කීර්ති වැලිසරගේ ගේ ගරුඬ මුහුර්තය නවකතාවටයි. එය නිමිතිකොට ගනිමින් එම නිර්මාණකරුවා සමඟ කළ සංවාදයකි.

ඔබේ “ගරුඬ මුහුර්තය” නවකතාව වෙනුවෙන් හොඳම නව කතාව සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ඔබ පිදුම් ලැබුවා. නිර්මාණයක් අගය කිරීමකට ලක්වීම ලේඛකයකුට නිර්මාණ කරුවකට සතුටක්. ‍ධෛර්යක්. සම්මානයට ලක්වීම පිළිබඳ හැඟීම ඔබට දැනෙන්නෙ කොහොමද?

මීට කලින් මගේ ‘ අත්මිදුම’ , ‘දඬුලේනා සහ තවත් කතා ’ කෙටිකතා සංග්‍රහ දෙකකට රාජ්‍ය සම්මාන හිමිවුණා. නමුත් මගේ නවකතාවකට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවෙන්නෙ පළමුවතාවට. ඔබ කිව්වා වගේම ඒක සතුටක්. එවැනි ඇගයීමකට ලක්වීම ධෛර්යයක්. නවකතාවක් ලිවීම විශාල පරිශ්‍රමයක් දැරිය යුතු කාර්යයක්. සැලකිය යුතු කාලයක්. ශ්‍රමයක්. ඊට වැයකරන්න වෙනවා. එවැනි කාර්යයක් රාජ්‍ය සම්මානයට ලක්වීම සතුටක්.

මේ කෘතිය මෙතෙක් කියවා නැති පාඨකයකුට මේ කෘතියේ නමත් ඇතුළුව කෘතිය ඔබ හඳුන්වාදෙන්නේ කෙසේද?

ගරුඬා කියන්නෙ විෂ්ණු දෙවියන්ගේ වාහනය බව සාහිත්‍යයේ කියැවෙනවා. මුහුර්තය කියන්නෙ මොහොත. විෂ්ණු දෙවියන් හිමාලය තමන්ගේ විමානය කරගෙන ගරුඬා තමන්ගේ වාහනය ලෙස භාවිත කළා. එතකොට ගරුඬා කියන්නේ මහා බලවේගයක්. මේ කියන මහා බලවේගය විසින් ක්ෂුද්‍ර බලවේග ගිලගන්නවා. ඒක දිගින් දිගටම වුණු දෙයක්.අදටත් වෙමින් පවතිනවා. එතකොට එවැනි අවස්ථාවක් තීරණාත්මකයි. ඓතිහාසිකව ගත්තොත් ඒ කම්පනය විඳදරා ගැනීම පිළිබඳ කතාන්දරයේ එක් පැතිකඩක් තමයි මං නිරූපණය කළේ.

මෙය අදින් සියවසකටත් එපිටදී සබරගමුවේ මාදොළ කියන දුර ඈත ගම්පියසක පැණි හකුරු කර්මාන්තයෙන් ජීවත්වූ ජන කොටසක් වටා නිර්මාණය වූ කතාවක්. ඉංග්‍රීසින් විසින් ඒ ප්‍රදේශවල කැලෑ එළි පෙහෙළි කරමින් වැවිලි වතු වගාව ව්‍යාප්ත කරමින් සිටි කාලය මේ ප්‍රදේශවල ජනතාව ඒ වෙනස්කම්වලට මුහුණදුන්නේ, දරාගත්තේ කොහොමද කියනඑක මින් පිළිබිඹුවෙනවා. ගොවිතැනින්, දඩයමින් භාණ්ඩ හුවමාරු වෙන් ගතවුණු ඒ සරල දිවි පෙවෙත මේ අලුත් වතුවගාව සහ මුදල් හුවමාරුවත් සමඟ වෙනස්වනවා. ඒ සමඟ ඇතිවන විවිධාකාර සංකීර්ණ බලපෑම් මෙන්ම මේ ජනතාව ඊට මුහුණදුන්නේ කෙසේද කියන එක මේ නවකතාවෙන් නිරූපණය වෙනවා.

ඔබේ කලින් නවකතා සමඟ ගත්තාම මේ නවකතාව ඊට වෙනස් මඟක් ගන්නා බවක් පෙනෙනවා. ඔබ එය දකින්නෙ කොහොමද?

කලින් මං ලියපු නවකතා 6න් කිහිපයකම වර්තමාන සමාජ ජීවිතය හා එහි අක්මුල් පිළිබඳ ගවේෂණය කිරීමක් සිදුවුණා. මායා තීර්ථ, කාල සර්ප වගේ නවකතාවල වර්තමාන සමාජ ජීවිතය ඒ ස්වරූපයෙන් ඉදිරිපත්වනවා.

වර්තමානයේ සිට එය අක්මුල් සොයායාමත් අනාගතය පිළිබඳ පු‍රෝකථන කිරීමත් මේ නව කතාවල දැකිය හැකිය. ඒ සමහර නව කතාවල අතීතය, වර්තමානය, අනාගතය කියන ස්ථර 3ම පිළිබිඹු වුණා. තවත් ඒවායේ වර්තමානය සහ අතීතය පිළිබිඹුවුණා. නමුත් ගරුඬ මුහුර්තය නවක තාවේදී සම්පූර්ණයෙන්ම ගොඩ නැ‍ඟෙන්නෙ මීට සියවසකටත් එපිට අතීතය මත හරියටම කිව්වොත් 1900 සිට 1936 වෙනකල් පමණයි. වර්තමාන ඇසකින් අතීතය අව‍ලෝකනය කිරීමත් පමණයි මෙහිදී සිදුවෙන්නෙ. එයයි මා දකින වෙනස.

අතීතය නිර්මාණකරණයට නැංවීම ගැන ඇතැම් විචාරකයන්ට ඇති විවේචන ය පිළිබඳ ඔබේ අදහස කෙබඳුද?

විවේචනය විචාරය අවශ්‍යයි. ලේඛකයා සහ පාඨකයා අතර පාලමක් තනන්නෙ විචාරකයා. විචාරකයා සාහිත්‍යයේ අත්‍යවශ්‍ය සාධකයක්. ඔවුන්ට විවිධ දෘෂ්ඨි කෝණ වලින් බලමින් විචාරය කිරීමේ නිදහස තිබෙනවා. ඒ විචාරය ශාස්ත්‍රීය ධනාත්මක විචාරයක් වීමත් අවශ්‍යයි. නාස්තික විචාරයක් නම් අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ. අතීතය නැවත සාකච්ඡා  කිරීම ඔස්සේ වර්තමානය කියැවීමත් අනාගතය ප්‍රක්ෂේපනය කිරීමත් මා දකින හැටියට සාහිත්‍ය ඔස්සේ බොහෝවිට සිදුවන දෙයක්. එබඳු නවකතා ‍කෙටිකතා බොහොමයක් තිබෙනවා. අතීතය අවලෝකනය කිරීමට ගැටලුවක් ලෙස මා නම් දකින්නේ නෑ. ඉන් පාඨකයාට තමන් පසුකර ආ සමාජය නැවත හඳුනාගැනීමට ලැබෙනවා ‍මෙන්ම ජීවිතය කියැවීමටත් ඉඩ හසර සැදෙනවා.

කිසියම් අත්දැකීමක්, සිදුවීමක් ඔස්සේ නිර්මාණකරුවකු තුළ ඇතිවන කම්පනය කිර්මාණයක් ලෙස ප්‍රකාශයට පත්වෙනවා. ඔබේ නිර්මාණ සඳහා වස්තු විෂය වන කාරණා මොනවිදියටද තෝරා ගැනෙන්නෙ ?

ඇත්තටම ඒ පිළිබඳ පූර්ව අදහසක් මට නෑ. ඒකියන්නෙ ‍මෙබඳු වස්තු විෂයයන් සොයාගෙන යනවාය යනුවෙන් දෙයක් නෑ. යම් අවස්ථාවකදී නිර්මාණයක් සඳහා උචිත ප්‍රස්තුතයක් ලැබෙන්න පුලුවන්. ඒක නිරුත්සාහීව සිදුවන දෙයක්. මේක අත්දැකීමක් වෙන්නත් පුලුවන්. එය කාලයක් තිස්සේ වර්ධනය වෙමින් තිබිලා නිර්මාණානුභූතියක් බවට පෙරළෙනවා. එය කාලයක් තිස්සේ මානසික කෝවක පැසෙමින් තිබිලා ප්‍රකාශයට පත්වනවා. අත්දැකීම් ඕනෑම අයකුට ලැබෙනවා. හැබැයි ඉතා කලාතුරකින් එවැනි එක් අත්දැකීමක් අනුභූතියක් වෙමින් නිර්මාණකරුවකුගේ මනසේ වැඩෙන්නට පටන්ගන්නවා. එය කාලයක් ගතවනවිට නිර්මාණයක් ලෙස එළිදකින්න පුලුවන්. ඒක හදිසියේ වෙනදෙයක් නෙවෙයි. එවැනි අත්දැකීමක් මතුනොවී මැකීයාමට වුණත් පුලුවන්.

විශේෂයෙන් නවකතාවක් වැනි නිර්මාණයකදී නිරන්තරයෙන් වස්තු විෂයයක් හෝ වස්තුබීජයක් අපට මුණගැසෙනවාය කියන්න බෑ. ඉතා කලාතුරකින් තමයි එබඳු අත්දැකීමක් ඔස්සේ වස්තුවිෂයයික පරාසයක් නිර්මාණය වෙන්නෙ.

නිර්මාණකරුවකුට අමුද්‍රව්‍ය පමණක්මත් මදි. කිසියම් ප්‍රතිභාවක් මෙන්ම තවත් කාරණා ගණනාවක්ම සාර්ථක, උසස් නිර්මාණයක් සඳහා අවශ්‍යයයි. නමුත් මේ අවශ්‍යතා සපුරාලීමකින් තොරවත් නිර්මාණ බිහිවෙනවා. ඔබ කොහොමද ‍මේ තත්ත්වය නිරීක්ෂණය කරන්නේ? තමන් නිරතවන ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුමයි. අවශේෂ නිර්මාණ සමඟ ජීවත්වීමත් අවශ්‍යයයි. අභ්‍යාසය වගේම ප්‍රතිභාව පිළිබඳ සාධකයත් වැදගත්. කෙනෙකුට නිර්මාණයක් කරන්න සිත් දෙන්නෙම ප්‍රතිභාව නිසා. නමුත් එය පමණක් ප්‍රමාණවත් නෑ. අවශේෂ නිර්මාණ ගැනත් දැනුවත් බවකින් යුතුව ක්ෂේත්‍රයේ ඔහු කටයුතු කළ යුතුයි. එසේ නොවී බිහිවන නිර්මාණ කෘෂ ඒවා බවයි පෙනෙන්නෙ. මනා පෝෂණයකින් යුතු නිර්මාණයක් බිහිකරන්න නම් ප්‍රතිභාවත් ආශ්‍රයත්, අභ්‍යාසයත් අවශ්‍යයි. නිර්මාණකරුවන් හැටියට අපි මේ ගැන ‍හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුයි.

ඔබේ පාඨකයන්ගෙන් ඔබට යම් ඉල්ලීමක් කරන්න තිබෙනවාද?

මගේ කෙටි කතා ඒ හුඟ‍දෙනෙක් කියවා තිබෙනවා. නවකතාත් කියවගෙන යන බවක් පෙනෙනවා. ‘ ගරුඬ මුහුර්තයත් පාඨක සමාජය කියවාවි කියන බලාපොරොත්තුව මට තියෙනවා. වර්තමානයේ ප්‍රවණතාව හදිසියේ කියවලා අතහරින්න පුලුවන් නම් හොඳයි කියන එක කාර්යබහුල ජීවිතයට ගැලපෙන්නෙ එය බවයි සිතන්නෙ. නමුත් මං පාඨකයන්ගෙන් ඉල්ලන්නෙ කිසියම් ඉවසීමකින් කාලයක් අරගෙන කියැවීම තුළ ඔබට අත්වන මානසික ශාන්තිය හා නිර්මාණ ආශ්වාදය අත්විඳන්න කියලා.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...