වැඩි කළොත් වැඩි කරන අඩු කළොත් ශබ්ද නැති වෙළෙන්දෝ | දිනමිණ

වැඩි කළොත් වැඩි කරන අඩු කළොත් ශබ්ද නැති වෙළෙන්දෝ

අසේල කුරුළුවංශ

මිල පාලනය සම්බන්ධයෙන් රජයකට පමණක් තනිව කටයුතු කළ නොහැකිය. ඒ සඳහා පාරිභෝගිකයාටද වගකීමක් තිබේ. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ව්‍යාපාරිකයා අවංක වීමය. සීනී මිල ඉහළ යන බවක් හැඟුණු පසු තොග සඟවන ව්‍යාපාරිකයින් සැඟවූ සීනී පසුදින අළෙවි කරන්නේ වැඩි කළ මිලටය.

රටේ අවශ්‍යතා අනුව බලයේ සිටින ආණ්ඩු තීන්දු තීරණ ගත යුතුය. ඒවා මහජනතාවගේ හා රටේ හිතසුව පිණිස වීම වැදගත්ය. මෙලෙස ගන්නා තීන්දු තීරණවල අවසාන ප්‍රතිඵලය මහජනතාව පීඩාවට පත්වීම නම් එය එතරම් සුදුසු නොවන තත්ත්වයකි. රජය මහජන යහපත පිණිස ගන්නා බොහෝ තීන්දු තීරණ අවසානයේ මහජනතාව කිසියම් හෝ අකාරයකට පීඩාවට පත්වන තත්ත්වයක් පසුගිය කාලය පුරා රටේ ක්‍රියාත්මක වූ බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. ඊට‍ ආසන්නතම උදාහරණය පොලිතීන් නිෂ්පාදන කිහිපයක් වෙනුවෙන් පැනවුණු තහනම පෙන්වා දිය හැකිය. රටේ පොලිතීන් භාවිතය කිසිදු කළමණාකරණයකින් තොරව දශක කිහිපක් තිස්සේ ක්‍රියාත්මක විය. ගමේ පුංචි වෙළෙන්දාගේ පටන් අගනුවර සුපිරි වෙළෙඳ සංකීර්ණය දක්වාම පොලිතීන් භාවිතය ඉහළින්ම සිදුවිය. දෛනිකව ලන්ච් ෂීට් මිලියන දෙකක් පරිසරයට මුදාහරින තත්ත්වයක් දක්වා මෙය වර්ධනය විය. සුළු වර්ෂාවකදී පවා මහනගර යටකර ගෙන මහ විනාශයක් සිදුවන්නට මෙම අවිධිමත් පොලිතීන් භාවිතය ප්‍රධාන හේතුවක් බව හෙළිවීමත් සමඟ පොලිතීන් භාවිතය තහනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු විය.

‍පොලිතීන් තහනමත් සමඟ බත් පැකට්ටුවේ මිල රුපියල් 10.00 කින් වැඩි කිරීමට යන බවට කතා බහක් දැන් නිර්මාණය වී තිබේ. මෙය මෙරට ජනතාව කලක පටන් අත්දැක ඇති තත්ත්වයකි. මේ අකාරයට කිසියම් හෝ අකාරයේ පාරිභෝගික භාණ්ඩයකට බලපෑමක් වන තීන්දුවක් රජය ගත්විට ඒ හා බද්ධවී ඇති පාරිභෝගික භාණ්ඩ රැසක මිල ඉහළ යෑම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්ත්වයකි. රජයේ තීන්දුවක් පරිදි මිල පහත වැටීමක් සිදු වූ අවස්ථාවල අදාළ භාණ්ඩය හා බද්ධ වූ වෙනත් නිෂ්පාදන තබා කේන්ද්‍රීය භාණ්ඩයේ මිලද පහත වැ‍ටීමක් සිදුවන්නේ කලාතුරකිනි.

අද වනවිට රටේ යම් යම් ක්ෂේත්‍ර තුළ මාෆියා ක්‍රියාත්මක වන බව නොරහසකි. විශේෂයෙන් පාරිභෝගික ජනතාව මෙම මාෆියා නිසා බොහෝ ගැටලුවලට මුහුණ දෙති. එළවළු, පලතුරු, කුකුළු මස්, සහල් ආදී ක්ෂේත්‍ර ගණනාවක මෙම මාෆියාව ක්‍රියාත්මක වනු පසුගිය දශක කිහිපය තුළම අපි දැක ඇත්තෙමු. ‍ගොවීන් එලවළු විකුණා ගත නොහැකිව ගොවි බිම් තුළම කුණු වෙන්නට ඉඩ හරිද්දී පවා පාරිභෝගිකයන්ට අධික මිලට එම එලවළු මිලට ගැනීමට සිදුව තිබේ. ප්‍රවාහනයේදී එලවළු අස්වැන්නෙන් 40% ක පමණ ප්‍රමාණයක් අපතේ යන තත්ත්වය පාලනය කිරීම සඳහා ප්ලාස්ටික් කූඩ හඳුන්වා දුන් නමුත් වෙළෙන්දෝ තමන්ට අවශ්‍ය පරිදි තීන්දු තීරණ ගනිමින් ඔවුන්ට රිසිසේ අදාළ තීන්දුවලට එරෙහිව ක්‍රියාත්ම වෙති.

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව දේශීය සහල් තොග රටේ තිබිය යුතු බව පවසත්දී සහල් හිඟයක් රටේ නිර්මාණය කරන්නට ව්‍යාපාරිකයෝ කටයුතු කරති. රජය ගෙන එන නීතී අදාළ පුද්ගලයින් මායිම් නොකිරීම බරපතළ තත්ත්වයක් වන අතර ඉන් සිදුවන්නේ නීතීයේ ආධිපත්‍යය බිඳ වැටීමය. මෙය පොලිතීන් භාවිතයෙන් සිදුවන පරිසර විනාශයටද එහා යන බරපතළ තත්ත්වයකි.

ඉන්ධන මිල අඩුකළ විට බස් ගාස්තු අඩු නොකරන බස් ව්‍යාපාරිකයෝ ඉන්ධන මිල වැඩිවූ විට ගාස්තු ඉහළ නංවන්නේ විදුලි වේගයෙනි. ඊට අවසර නොලැබුණ හොත් වර්ජනය කරති. ඉන්ද පීඩාවට පත්වන්නේ ජනතාවය. පාන් පිටි මිල වැඩි කළ සැණින් බේකරි නිෂ්පාදන ඉහළ යයි. ගෑස් මිල වැඩිවීමද මේ අකාරයට පාරිභෝගික භාණ්ඩ රැසක මිල ක්ෂණිකව ඉහළ යෑමට බලපායි. රජය ගෑස්, ඉන්ධන හෝ නිෂ්පාදන අමුද්‍රව්‍යයක මිල පහත හෙළු විට එහි වාසිය වෙළෙන්දෝ කිසිවිටකත් පාරිභෝගිකයාට නොදෙති. මෙය කිසියම් වූ අකාරයකට රජයේ අවධානයට ලක්ව පාලනය විය යුතු තත්ත්වයකි. ක්‍රමවත් ලෙස විකල්ප හඳුන්වා නොදීමේ ප්‍රතිඵලයක් ලෙස තහනම් කළත් අදද වෙළෙඳ සල්වල පොලිතීන් භාවිතය සිදුවෙයි. මෙය පාරිභෝගිකයින්ට ගැටලුවකි. තහනම් කළ දෙයක් භාවිතයේ පැවැතීම තුළින් නීතිය ගණන් නොගැනීමක් සිදුවන්නේද යන ප්‍රශ්නය ජනතාව තුළ මතුව තිබේ. පොලිතීන් තහනම් කිරීමත් සමඟ ආපනාශාලා හිමිකරුවන් පිරිසක් බත් පාර්සලයක මිල රුපියල් දහයකින් වැඩි කිරීමට යෝජනා කරත්දී රජය හෝ පාරිභෝගික සේවා අධිකාරිය හෝ ඒ සඳහා මැදිහත් විය යුතු වෙනත් ආයතනයක් හෝ මුනිවත රැකීම ජනතාව අපේක්ෂා නොකරන්නකි.

සියලු දේ මුදල් මත තීරණය වන සමාජයක් තුළ අවංක ව්‍යාපාරිකයන් සිටීද යන්න පිළිබඳ සැක සිතෙන තරමට වංචාව, දූෂණය,රැවටීම ව්‍යාපාරික ක්ෂේත්‍රය වසා ගනිමින් තිබේ. පාරිභෝගිකයා මුලාකර නුසුදුසු දේ සුදුසු දේ ලෙස පෙන්වා අළෙවි කරන අවස්ථා කොතෙකුත් දක්නට ලැබෙයි. මිනිස් ශරීරයට අහිතකර දේ හෝ විකුණා තමන්ගේ සාක්කුව පුරවා ගන්නට සිතන ව්‍යාපාරික ප්‍රජාවක්ද දැන් බිහිව තිබේ. ඔවුන් සෑම විටම උත්සාහ කරන්නේ පාරිභෝගිකයා මුලාවේ දමා ලාභය වැඩිකර ගැනීමටය. කුළුබඩුවලට නොයෙක් දේ කලවම් කිරීමේ සිට නොයෙක් ශරීරයට අහිතකර රසායනික මුසු කළ භාණ්ඩ අළෙවිය දක්වා ව්‍යාපාරිකයෝ පෙළඹී සිටින්නේ ඔවුන් අවංක නොවීමේ ප්‍රතිපලයක් ලෙසය. මිල පාලනය සම්බන්ධයෙන් රජයකට පමණක් තනිව කටයුතු කළ නොහැකිය. ඒ සඳහා පාරිභෝගිකයාටද වගකීමක් තිබේ. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ව්‍යාපාරිකයා අවංක වීමය. සීනී මිල ඉහළ යන බවක් හැඟුණු පසු තොග සඟවන ව්‍යාපාරිකයින් සැඟවූ සීනී පසුදින අළෙවි කරන්නේ වැඩි කළ මිලටය. මේ පිළිබඳ පාරිභෝගිකයෝ කිසිවිටකත් ප්‍රශ්න නොකරති. ඔවුන් සියල්ල දරා ගැනීමට පුරුදු වීම තුළ කූඨ ව්‍යාපාරිකයෝ තමන්ගේ වැඩපිළිවෙළ කිසිදු බාධාවකින් කරදරයකින් තොරව ඉදිරියට ගෙන යති.

පාන් ගෙඩියකට නියමිත බරක් තිබේ. එම බරට සරිලන මිලක්ද රජය නියම කර ඇත. මෙම පසුබිම තුළ නීතියෙන් ගැලවීමට බේකරි හිමියෝ පෙති කැපූ පාන් වෙළෙඳ පොළට එක්කර තිබේ. පහසුව පිණිස පාරිභෝගිකයෝ වැඩි වශයෙන් ඒවා මිලට ගැනීමට පෙළඹී ඇත. පෙති කැපූ පාන් සඳහා නිශ්චිත මිලක් නොමැත. සුපිරි වෙළෙඳ සලක එක මිලකි.ගමේ කඩේ එහි මිල තවත් එකකි.නීතියේ සිදුරුවලින් රිංගා යෑමට ඇති තැන් වසා දමා පාරිභෝගිකයා ආරක්ෂා කිරීම රජයේ වගකීමය. පාරිභෝගිකයා ගසා කන වෙළෙඳ පොළ මාෆියාව කිසිවිටෙකත් දේශපාලන සම්බන්ධතාවයක් නොමැතිව ක්‍රියාත්මක කළ නොහැකිය. එලෙසින්ම එයට නිලධාරීන්ගේද සහය හිමි විය යුතුය. පොලීසියේ ඇතැම් නිලධාරීන්ගේ සහයද මේ සඳහා ලැබෙන බව නොරහසකි. තමන්ට ලැබෙන මුදල් හෝ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් පාරිභෝගිකයා සූරා කෑමට ව්‍යාපාරිකයන්ට ඉඩ ලබා දෙන දේශපාලනඥයන් හා නිලධාරීන් කටයුතු නොකරන්නේ නම් මෙය කොතනින් හෝ නවතිනු ඇත. එහෙත් එය සිදු නොවීමෙන් පැහැදිලි වන්නේ ‍පාරිභෝගිකයා ගසාකන ජාලය එකිනෙකට සම්බන්ධවී අඛණ්ඩව ඉදිරියට යන බවයි.

මෙයට දශක කිහිපයකට පෙර මෙරට එක් එක් වෘත්තීන් වෙනම අන්‍යන්‍යතාවක් ඔස්සේ ක්‍රියාත්මක වූ අතර ඔවුන්ට යම් ගැටලුවක් ඇතිවූ විට වර්ජන හෝ උද්ඝෝෂණ දියත් කළේ අදාළ වෘත්තියේ නිරත පිරිස්ය. අද වනවිට මේ වෘත්තීන් එකිනෙකට සහ සම්බන්ධව වර්ජන, උද්ඝෝෂණ හා විරෝධතා දියත් කරන බවක් පෙනෙන්නට තිබේ. වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්නවලට පෞද්ගලික බස් හිමියෝද සම්බන්ධ වෙති. මෙහි යහපත් පැත්තක් මෙන්ම අයහපත් පැත්තක්ද ඇත. රටට අයහපත් තීන්දු තීරණවලට රජය එළඹෙන්නේ නම් ඊට එරෙහිව පුළුල් ජන බලවේගයක් ඇති කිරීමට මින් අවකාශ සැලසේ. අනෙක් පසින් රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් කිසියම් කණ්ඩායමක් සිදුකරන විරෝධතාවලටද මින් කිසියම් වූ ජවයක් ලැබෙයි. මෙය ජනතාව පැහැදිලිව තේරුම්ගත යුතුව තිබේ. පොලිතීන් තහනම සම්බන්ධ ප්‍රශ්නයේදී ද මෙම එකනෙකට සම්බන්ධ වූ කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ඉදිරියේදී අප‍ට දැකගත හැකි වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

පොලිතීන් තහනම කළ යුත්තේ ක්‍රමානුකූලවය. අසූව දශකයේ මුල් භාගයේ මෙරටට හඳුන්වා දුන් පොලිතීන් ජනතාව අතර ප්‍රචලිත වන්නට කරුණු රැසක් බලපෑවේය. නිෂ්පාදන මිල අඩුවීම,‍‍ තෙතමනයට හා ජලයට ඔරොත්තු දීම, කල්පැවැත්ම, වැඩි බරක් දරා ගැනීමට හැකිවීම, පහසුවෙන් එහා මෙහා ගෙන යෑමට හැකිවීම මින් ප්‍රධානය.

3R හෙවත් (Reduce,Reuse,Recycle) ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක නොකර පොලිතීන් භාවිත කිරීම නිසා 1990-2000 දශකය තුළ පොලිතීන් පරිසරයට මුදා හැරීමෙන් පරිසරයට සිදුවන හානිය පිළිබඳව අවධානයට ලක්වූ නමුත් ඊට කිසිදු පිළියමක් නොගැනිණ. වසර තිහක් පමණ කිසිදු පාලනයකින් තොරව පොලිතීන් භාවිත කළ රටක එක් රැයකින් පොලිතීන් තමනම් කිරීම ගැටලු මතු කරවන තීන්දුවකි. පාරිභෝගික සමාජය පොලිතීන් භාවිතය සඳහා ඇබ්බැහිවී සිටියි. මේ නිසා පොලිතීන් භාවිතයෙන් ඉවත් කිරීම සිදුකළ යුත්තේ ක්‍රමානුකූලවය. ඒ සඳහා ඉලක්ක ඇති කර ගත යුතුය. වසර 2020 වන විට දැනට පවතින තත්ත්වයෙන් 30 % ,40%,50%,60% ක් හෝ පොලිතීන් ඉවත් කරන බවට ඉලක්කයක් මත රට වැඩකළ යුතුය. ඒ අතර පොලිතීන් සඳහා විකල්ප හඳුන්වා දෙමින් අදාළ ඉලක්ක සපුරානවාද යන්න පිළිබඳව දත්ත රැස්කළ යුතුය. මේ අකාරයට ගොස් පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා යොමුවිය හැකිය. ලෝකයේ දියුණු රටවල පාරිභෝගිකයා භාණ්ඩ මිලට ගැනීම සඳහා බෑගයක් රැගෙන යා යුතුය. නොඑසේනම් මිලදී ගැනීම් සිදුකරන විට භාණ්ඩ ගෙන යෑම පිණිස මල්ලක් මිලට ගත යුතුය. බෑගය වෙනුවෙන් යම් බරපැනක් පාරිභෝගිකයා දරන විට ඔහු එය යළිත් යළිත් භාවිත කිරීමට පෙළඹෙයි. මේ නිසා පරිසරයට මුදාහැරෙන අපද්‍රව්‍යය යම් ප්‍රමාණයකට අඩු කිරීමට එයද හේතු වෙයි.

ජනතාව මහජන නියෝජිතයන් ලෙස තෝරා ගන්නා පිරිස ජනතාවදී තීන්දු තීරණ ගැනීම අතිශයින් වැදගත්ය. ඔවුන් නිරතුරුව පෙනී සිටිය යුත්තේ ජනතාව වෙනුවෙනි. රජයේ වැටුප් ලබන නිලධාරීන් පෙරළා මහජනතාවට සේවය කළ යුතුය. පාරිභෝගික සේවා අධිකාරියේ මූලික වගකීම පාරිභෝගිකයා ආරක්ෂා කිරීමය. සීනී මිල ඉහළ ගිය විට ප්ලේන්ටියක මිල රුපියල් පහකින් ඉහළ යෑම කොතරම් දුරට සාධරණද යන්න වගකිය යුතු නිලධාරීන් සොයා බැලිය යුතුය. කිරිපිටි මිල රුපියල් දහයකින් ඉහළ යන විට කිරි තේ එකක මිල හෝටල් හිමියෝ ඉහළ දමන්නේ රුපියල් 10.00 කිනි. පාන් පිටි මිල ඉහළ ගියවිට ආප්පයට, ඉඳිආප්පයට සිදුවන්නේද එයමය. මේ ආකාර මිල ඉහළ දැමීම් පිළිබඳ අත්දැකීම් මෙරට ජනතාවට කොතෙකුත් තිබේ. ඉන්ධන මිල පහත දැමූ විට බස් හිමියෝ බස් ගාස්තු පහළ නොදමන්නේ අමතර කොටස් මිල ඉහළ බව කියමිනි. තමන් කරන ක්‍රියාව සාධාරනීකරණය කරන්නට මේ අකාර කුමක් හෝ කියන්නට ව්‍යාපාරිකයෝ දක්ෂය. මේවා පාලනය කරන්නට නිලධාරීන් ඊටත් වඩා දක්ෂ නොවුණ හොත් සැමදා අමාරුවේ වැටෙන්නේ මෙරට දුප්පත් පාරිභෝගිකයාය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...