ගායක ගායිකා විශ්‍රාම වැටුප් සත්කාරය | දිනමිණ

ගායක ගායිකා විශ්‍රාම වැටුප් සත්කාරය

වසන්ත ප්‍රිය රාමනායක

විශ්‍රාම වැටුප් ප්‍රතිපාදනය සැලසෙන්නේ අදාළ ස්ථිර තැන්පතුවට ලැබෙන පොළිය උපයෝගී කර ගනිමිනි. මෙම මුදල කිසිසේත් ගායක ගායිකා සංගමයට වෙනත් අවශ්‍යතාවයක් සඳහා ලබා ගත නොහැකිය. මේ සඳහා වෙන ම පාලක මණ්ඩලයක් පත් කර ඇත. ඔවුනට වුව ද වෙනත් කාර්යන් සඳහා මෙම අරමුදලේ මුදල් පසුව හෝ ලබා ගෙන වැය කළ නොහැක.

සංගීතය විශ්ව භාෂාවක් ලෙසින් හැඳින්වේ. මේ පෘථිවිය පුරා විසිරී සිටින ඕනෑම ජනවර්ගයකට පොදුවේ සංගීතයෙන් ඇමතිය හැකිය. මේ වන විට එය ජනයාගේ වින්දනයේ සීමාව ඉක්මවා සනීපාරක්ෂාව පැත්තෙන් ද ක්‍රියාත්මක වීමට පටන් ගෙන තිබේ. නවතම පරීක්ෂණයන්ට අනුව සංගීතය ගායන හා වාදනය ලෙඩ රෝග සුව පත් කිරීමේ ඔසුවක් ලෙසින් සැලකේ. මේ සම්බන්ධයෙන් වෙන් වූ වෛද්‍ය සායන මෙන් ම විශේෂඥ වෛද්‍යවරු ද සිටිති.

ජාත්‍යන්තර වශයෙන් සංගීතය ලෙඩ රෝග සුවපත් කිරීමේ දී ඉහළ මිලක් අය කරනු ලබන මාධ්‍යයකි. අපේ රටේ ද මේ වන විට සංගීතය හා ගායනා එම කාර්යයෙහි ලා යොමු කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. නවීන ලෝකය මෙලෙසින් සංගීතය උපයෝගී කර ගැනීමට පෙර සිට ම ආතතිය, හුදකලාව හා රසවින්දනය වෙනුවෙන් සංගීතයේ රසාලිප්ත ගී තනු ස්වරමාලා හා ගායනය උපයෝගි කර ගැනීමට ඈත අතීතයේ සිට ම අපේ ජනයා හුරු පුරුදු වී සිටි බව පෙනේ. මේ නිසා සංගීතය විශ්ව භාෂාවක් මෙන් ම විශ්ව ඔසුවක් බවට පත්ව ඇත. සංගීතය, ගායනය හා වාදනය ඕනෑම රටක ප්‍රබල කලා මාධ්‍යයක් සේ සැලකේ. විශේෂයෙන් ම මෙම කලා මාධ්‍ය රසවින්දනය උදෙසා ජනතාව අතරට ගෙන යන ප්‍රධානතම වාහකය ලෙසින් ගායක ගායිකාවන් සැලකිය හැකිය. එසේ ම වාදකයකුට ද ඒ සම්බන්ධයෙන් ඇත්තේ ඉහළ වටිනාකමකි. ඉන්දියාවේ පණ්ඩිත් රවි ශංකර් වැනි සිතාර් වාදකයෙකුගේ නාද මාලාව තුළ දැහැන්ගත වීම මේ පෘථිවියේ ජීවත් වන සියලු වාර්ගික ප්‍රජාවන්ට පොදු සාධකයක් නොවන්නේ දැයි අපට හැඟෙන අවස්ථා අපමණය. මේ නිසා රටක ගායක ගායිකාවන් මෙන් ම සංගීතඥයන් හා වාදකයන්ගේ මෙහෙවර ද අඩුවෙන් තක්සේරු කළ නොහැකි ය.

නූතන පරපුර

අපේ රටේ මේ ක්ෂේත්‍රය වෙනුවෙන් සිය දිවිය කැප කර අනුපමේය වැඩ කොටසක් ඉටු කළ කලාකරුවෝ රැසක් සිටිති. සමහරු ජීවිතයේ සන්ධ්‍යා කාලය ගත කරන අතර ඉන් අතළොස්සක් සිය දිවියේ රාත්‍රියට ළඟා වෙමින් සිටිති. මීට දශක කීපයකට පෙර මේ පිරිස රටේ වඩාත් ආකර්ෂණීය කලාකරුවෝ වූහ. අද වන විට සමහර අයගේ නම් පවා නූතන පරපුරෙන් මැකී යමින් පවතී. එහෙත් රස විදින නිර්මාණයේ හිමිකරුවා නොදන්නා තරුණ පිරිස් නොයෙක් අවස්ථාවල අපට හමු වී තිබේ. සමහර අයගේ නම්-ගම් පවා අමතකය.

‘ඔයා අහවල් ගීතය අහලා තියෙනවා ද ? ඔව්. ඒ ගීතය ගයන්නේ මෙයා තමයි.’ කියා සමහරු හඳුන්වා දීමට සිදු වී තිබේ.

සමාජ ක්‍රමවල හා ඊට අනුරූපව කලා මාධ්‍යවල පරිවර්තනයේ දී මෙය ස්වාභාවිකව සිදුවන්නකි. ඊට නව පරපුරට දොස් කීමෙන්ම පලක් නොවේ. එහෙත් අපේ සංස්කෘතිය හා අනන්‍යතාවය අමතක කරමින් අක් මුල් නැති ප්‍රජාවක් ලෙසින් රටක් හැඩ ගැසීම තුළ මේ අමතක වීම සිදු වන්නේ නම්, ඒ ගැන සැලකිලිමත් වීම වැදගත් ය.

මේ රටේ සාමාන්‍ය පන්තියෙන් බිහි වූ සංස්කෘතියක්, අපේකමක් ඇති දේශපාලන නායකයෙක් ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් සංවේ දී ය. පෞද්ගලිකව සිය නිල තනතුරේ හැසිරීමෙන් තොරව පැරණි කලාකරුවන් මුණ ගැසීමක් හා පෞද්ගලිකවම ඔවුන්ගේ නිවෙස්වලට ගොස් අල්ලාප සල්ලාපයේ යෙදීමටත්, ඒ අයට සවන් දීමටත්, එතුමා ට සිය කාර්ය බහුලත්වය අතරේම වෙන් වූ වේලාවක් ඇත.

ඒ මේ රටේ ගායක ගායිකාවන් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා කටයුතු කරන්නේ කලාකාමී හෘදයාංගම ළෙන්ගතුකමකිනි. අව්‍යාජයෙන්ම රට ජාතිය වෙනුවෙන් ඔවුන් රැකගත යුතු පිරිසක් ලෙසිනි.

සාමාන්‍යයෙන් දේශපාලනඥයන් කලාකරුවන්ට උදව් කිරීමට සූදානම් වන්නේ තමන්ගේ වේදිකාවට ගොඩ වුණ හා කැදවා ගැනීමේ බලාපොරොත්තු සහිතවය. තමන්ගේ පක්ෂයට එරෙහිව කටයුතු කළ කෙනෙක් ගැන වුණත් කල්පනා කරන්නේ ලබන සැරේ ඔහු තමන්ගේ වේදිකාවට ගෙන ඒමේ යටි අරමුණින්ය. එහෙත් ජනාධිපති මෛත්‍රී එවන් දේශපාලන අරමුණකින් කටයුතු නොකරන කෙනෙක් බව මේ වන විටත් ප්‍රායෝගිකවම ඔප්පු කර ඇත. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහුගේ වේදිකාවට ගොඩ වීම කෙසේ වෙතත් ඔහුගේ ප්‍රතිවාදියාගේ වේදිකාවේ සිටි අයට වුවද ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ කලාකරුවන් රැකබලා ගැනීමේ සංවේ දී මනසකින් බව පෙනේ.

මේ රටේ ගායක ගායිකාවන් මෙතෙක් කිසිවෙක් නොසලකා හැරි ක්ෂේත්‍රයක් ලෙසින් සැලකේ. සමහරු මැතිවරණ සමයේ සූදානම් වන්නේ ගායක ගායිකාවන් තමන්ගේ මැතිවරණ වේදිකාවට කැදවා ගෙන ගයන ගීත වෙනුවෙන් කාගෙන් හෝ මුදලක් ලබා දී ඔවුන්ගේ සේවය එතැනින් නිම කිරීමටය. නැවත බලයට පැමිණීමෙන් පසු ඔවුන්ට තමා කැදවීමක් කළ නායකයා සොයා ගත නොහැකි ය. අවසානේ ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට අවස්ථාවක්වක් ලබා දෙන්නේ නැත. නැවත මැතිවරණයක් එනතුරු අර දේශපාලනඥයා මුණ ගැසීමටවත් නොහැකිය.

මේ රටේ ගායක ගායිකාවන් තම අවශ්‍යතා ඉටු කර ගන්නේ ඔවුන් වෙනුවෙන් ගොඩනඟාගත් සංගමයේ අනුග්‍රහයෙනි. මේ අතර ඔවුන්ගේ අවමඟුලක දී නම් දේශපාලන හා රජයේ අනුග්‍රහය ලැබේ. එය ද සමහර විට සිදු වන්නේ ගායක ගායිකා සංගමයේ ඉල්ලීම පරිදිය. නැතිනම් ඔවුන්ගේ දැනුවත් කිරීම්වලින් අනතුරුවය. මෙතෙක් සිදු වෙමින් පැවතියේ මෙවැනි සරල ක්‍රියා පටිපාටියකි. ඊට අමතරව අසාධ්‍ය තත්ත්වයයේ පසුවන කෙනෙක් සම්බන්ධයෙන් පුවත්පතක හෙළිදරව්වකින් පසු රජයේ හෝ කිසියම් දේශපාලනඥයෙකුගේ පෞද්ගලික අනුග්‍රහය ලබා දුන් අවස්ථාද නැත්තේ නොවේ. එහෙත් මේ රටේ ගායක ගායිකාවන් වෙනුවෙන් මසකට ස්ථිර විශ්‍රාම වැටුපක් ලැබෙන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වූයේ නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙන් පසුගිය දා එම කාර්ය ද ඉටු විය. එය මේ රටේ ගායක ගායිකාවන් කාලාන්තරයක් තිස්සේ කළ ඉල්ලීමක ප්‍රතිඵලයකි. ඊට අැහුම්කන් දුන් නායකයා මෛත්‍රීය.ගායක ගායිකාවන්ගේ සංගමය වටා එම ක්ෂේත්‍රයේ 300ක් පමණ ගොනු වී සිටිති. වර්තමානයේ එහි නායකත්වය දරන්නේ ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල් ය. එහි ලේකම් ධුරයට ජානක වික්‍රමසිංහ ගායකයා පත්ව සිටී. කීර්ති හා ජානක මෙම ක්ෂේත්‍රයේ කා අතරත් ප්‍රචලිත, සහෝදර ගායක ගායිකාවන් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන කලාකරුවන් දෙපළකි. ඔවුන් සඳහන් කරන පරිදි මාසිකව තමන්ට අවැසි බෙහෙත් ටික ලබා ගැනීමට අවශ්‍ය මුදල් ටිකවත් සොයා ගැනීමට නොහැකි ගායක ගායිකාවෝ මෙම සංගමය වටා ගොනු වී සිටිති. එහෙත් ඔවුන් ගැයු පැරණි ගීත අලුත් තාලයට ගයන සමහර නවීන ගායක ගායිකාවෝ එක් රැයකට සංගීත සංදර්ශනවලට සහභාගි වෙමින් රු. 50, 000/= රු. 60, 000/= උපයා ගනිති.

‍ඒ අතින් බලන කල මෙතරම් නිර්මාණ මංකොල්ලයක් වෙනත් කිසිදු රටක සිදු නොවන තරම්ය. සැබෑ ගායකයාට තමන්ගේ ගීතයට රු. 20, 000ක් ගෙවන සංගීත සංදර්ශන සංවිධායකයෝ එම ගීතයට අනුකරණය කරන අලුත් ගායකයාට රු. 50, 000ක් ගෙවන අවස්ථා ඇත. එවන් රටක දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනීජනයා පින වූ සමහර ගායක ගායිකාවෝ අද අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිති.

ජනාධිපතිවරයා මැදිහත් වූ කල මේ සත්කාරය මසකට වරක් විශ්‍රාමයක් ලෙසින් ඔවුන් අතට පත් වීම මෙතෙක් කිසිවකු හෝ අනුග්‍රහයෙන් සිදු නොවූ වකි. ජනාධිපතිවරයාගේ අනුග්‍රහයෙන් 2015 අයවැය මගින් වෙන් කරනු ලැබූ රු. මිලියන 25ක මුදල ඍජුව ගායක ගායිකා සංගමයට ලබා දි ය නොහැකිය. මේ නිසා එම මුදල ජනාධිපති අරමුදලට මුදා හැර එමගින් ලංකා බැංකුවේ ගිණුමක තැන්පත් කර පාලක මණ්ඩලයක පාලනය යටතේ ගායක ගායිකාවන්ට විශ්‍රාම වැටුපක් ලෙසින් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු සලසා ඇත. එම විශ්‍රාම වැටුප් ප්‍රතිපාදනය සැලසෙන්නේ අදාළ ස්ථිර තැන්පතුවට ලැබෙන පොළිය උපයෝගී කර ගනිමිනි. මෙම මුදල කිසිසේත් ගායක ගායිකා සංගමයට වෙනත් අවශ්‍යතාවයක් සඳහා ලබා ගත නොහැකිය. මේ සඳහා වෙන ම පාලක මණ්ඩලයක් පත් කර ඇත. ඔවුනට වුව ද වෙනත් කාර්යන් සඳහා මෙම අරමුදලේ මුදල් පසුව හෝ ලබා ගෙන වැය කළ නොහැක. ඒ නිසා පැහැදිලිව ම ගායක ගායිකාවන් වෙනුවෙන් ජනාධිපතිවරයා සිය අරමුදල මගින් ලබා දෙන මුදල් විශ්‍රාම වැටුප් සඳහාම පාවිච්ච කිරීමට සිදු වන බව ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කරයි.

සුදුසුකම් ලද්දෝ

මේ සඳහා විවිධ නිර්ණායකයන් යටතේ වයස 65 ඉක්ම වූ ගායක ගායිකාවෝ 40ක් පමණ මේ වන විට මාසකට රු. 5000/= ක විශ්‍රාම වැටුපකට සුදුසුකම් ලබා සිටී. මෙම මුදල මසකට වරක් ඔවුනට දිවි ඇති තුරා ලැබෙනු ඇත. මෙම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ජනාධිපතිතුමාගේ අදහස බව කීර්ති පැස්කුවෙල් සඳහන් කරයි. ඉදිරියේ දී මේ සඳහා තවත් උදව් කිරීමට එතුමා සුදානමින් සිටී. මෙම අරමුදල තරකර ගැනීමට ගායක ගායිකා සංගමය සතුව ද තවත් යෝජනා ඇත. සංගීත සංදර්ශන පැවැත්වීම තවත් එක් යෝජනාවකි. මීට අමතරව රසික රසිකාවියන්ට මේ සඳහා ආධාර කිරීමට එස්. එම්. එස්. මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ පිළිවෙළක් ගැන විදුලි සංදේශ නිය­ාමන කොමිෂම සමඟ සාකච්ඡා කරමින් සිටින බව කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කරයි. මේ සඳහා එස්.එම්.එස්. එකක් සඳහා රු. 10/=ක මුදලක් අදාළ අනුග්‍රහකයාගේ බිල්පතට එක් වී ඉන් අනතුරුව එම මුදල ගායක ගායිකා විශ්‍රාම වැටුප් අරමුදලට එක් වේ.

මේ ආදී වශයෙන් ජනාධිපතිතුමා දක්වන ලද අනුග්‍රහය යටතේ ඉදිරියේ තම සංගමයේ සිටින සියලුම ගායක ගායිකාවනට හා වාදන ශිල්පීන්ට මාසිකව විශ්‍රාම වැටුපක් පිරිනැමීමට ගායක ගායිකා සංගමය බලාපොරොත්තු වේ.

අද වන විට මේ රටේ ගායක ගායිකවන්ගේ අභිවෘද්ධිය හා ඔවුන්ගේ වටිනාකම් ඉහළ නැංවිම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් රාජ්‍ය නායකයෙක් නොකළ මෙහෙවරක් අරඹා තිබේ. ගායක ගායිකා විශ්‍රාම වැටුප ඒ සඳහා හොඳ ආරම්භයකි.

නව අදහස දක්වන්න