සංගීතය මගේ ජීවිතය | දිනමිණ

සංගීතය මගේ ජීවිතය

ඕල්රයිට් සංගීත කණ්ඩායමේ නායක ශලීන්ද ප්‍රනාන්දු

* මේ දවස්වල කටයුතු කෙරෙන්නේ කොහොමද?

වරදක් නෑ. හොඳින් ගෙවෙනවා. සුපුරුදු විදිහට ඕල්රයිට් එක්ක සංගීත ප්‍රසංගවලට යනවා. ළඟදි අලුත් සිංදු දෙකකුත් කළා. රූපරචනා නම් නෑ තාම. ලබන ජනවාරි විතර වෙද්දි එක සිංදුවකට රූපරචනාවක් කරන්න හිතාගෙන ඉන්නවා. සංගීතයත් එක්ක ම තමයි ජීවිතේ ගෙවෙන්නෙ.

* ඕල්රයිට් එක්ක ආව ගමන ගැන මොකද හිතෙන්නෙ?

මීට කලිනුත් මං සංගීත කණ්ඩායම්වල ඉඳලා තියෙනවා. මට මගේ ම කියලා සංගීත කණ්ඩායමකුත් තිබුණා. ඒ වුණත්, ඕල්රයිට් එක්ක එකතු වුණායින් පස්සෙ තමයි රටම මා දැනගත්තෙ. මට හොඳ සාමාජිකයෝ ටිකක් හම්බවෙලා ඉන්නවා. එයාලගෙන් මට හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ වගේ ම එයාලා එක්ක වැඩ කරන එකත් හරි ලේසියි.

මං හිතන්නෙ ඒක තමයි මේ සංගීත කණ්ඩායමේ සාර්ථකත්වයට හේතුව. ඒ ගැන මං බොහෝ සේ සතුටු වෙනවා. දැන් මේ සංගීත කණ්ඩායම ආරම්භ කරලා අවුරුදු අටක්. මම ඕල්රයිට් නායකයා විදිහට එකතු වුණේ පටන් ගැන්මෙදිමයි. ආපහු හැරිලා බැලුවහම සතුටු වෙන්න පුළුවන් විදිහෙ ගමනක් ඕල්රයිට් එක්ක ඇවිත් තියෙනවා. ෆ්ලෑෂ්බෑක් රොෂාන් අයියත්, එයාගෙ තාත්තත් අපේ සංගීත කණ්ඩායමට හොඳ සහයක් දෙනවා. මේ සංගීත කණ්ඩායම් දෙක ම අයිති ෆ්ලෑෂ්බෑක් ආයතනයට. ඒ දෙක ම කරන්නෙ රොෂාන් අයියගෙ තාත්තා.

* ඔබ ගායකයෙක් නොවුණා නම්, මේ වෙද්දි මොන වගේ වෘත්තියක් තෝරගනීවිද?

මෝටර් මිකෑනික් පැත්තෙන් ඉංජිනියර් කෙනෙක් වෙන්න ආසාවක් තිබුණා. මම ඒ සම්බන්ධයෙන් පාඨමාලා දෙක තුනකුත් කළා. ඒ වුණත් ලියැවිලා තිබුණ විදිහට මං මේ පැත්තට තල්ලු වුණා. මගෙ සිංදුවලට මිනිස්සු කැමැති වුණා. මට සිංදු කියන්න පුළුවන් කියලා එයාලට හිතෙන්න ඇති. මං කියන කියන සිංදුව මිනිස්සු ඇහුවා. හොඳ ප්‍රතිචාරත් ලැබුණා. පාසල් යන කාලෙ ඉඳන් ම සංගීතයට මගෙ හිතේ කැමැත්තකුත් තිබුණා. අන්තිමේදි මට හිතුණා මට හරියන්නෙ සංගීතයම තමයි කියලා.

* පවුලෙ විස්තර ටිකකුත් කියමු නේද?

මට නංගි කෙනෙක් ඉන්නවා. එයා විවාහ වෙලා දරුවො ඉන්නවා. එයාලා වෙනම පවුලක් විදිහට ජීවත් වෙන්නෙ. මගෙ තාත්තා නැතිවෙලා දැන් අවුරුදු 15කටත් වැඩියි. අම්මයි, මායි දැන් ගෙදර ඉන්නෙ.අපි සරල, සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා.

* හිටිගමන් මතුවන අලුත් සංගීත කණ්ඩායම් ගැන මොකද හිතන්නෙ?

හොඳයි. අපිත් මීට කලින් තිබුණු සංගීත කණ්ඩායම්වල මොනවා හරි දෙයක් අරන් තමයි අලුත් දෙයක් නිර්මාණය කළේ. අපේ සංගීත කණ්ඩායමේ සමහර දේ අරගෙන අලුත් සංගීත කණ්ඩායම් අමුතු දේවල් ටිකක් කරනවා.ඒ ගැන මං හරිම සතුටින් ඉන්නේ. අලුතින් එන සංගීත කණ්ඩායම්, අපේ සංගීත කණ්ඩායමෙන් හොඳ පන්නරයක් ලබනවා. ඒක මම ආඩම්බරයෙන් කියන්නෙ. දැන් එන හැම සංගීත කණ්ඩායමක් ම වගේ හොඳට වැඩ කරනවා. ඒ වුණත් මේ දවස්වල ඕල්රයිට් සංගීත කණ්ඩායම අනුගමනය කරලා ආව පොඩි පිරිසක්, අපෙන් ගත්තු දෙයක් වුණත් එයාලගෙ වගේ පෙන්නන්න හදනවා. ඒ කියන්නෙ අනුන්ගෙනත් ගත්තු දෙයක් වුණත් තමන්ගෙ වගේ පෙන්නන්න මිසක්, තව කෙනෙක්ගෙන් ගත්ත දෙයක් කියලා පෙන්නන්න ඒ අය කැමැති නෑ. ඊට වැඩිය තමන්ගෙ ම කියලා අලුත් දෙයක් අරගෙන ඉස්සරහට එන සංගීත කණ්ඩායම්වලට මම කැමැතියි.

* සංගීත කණ්ඩායමක් මිනිස්සු අතරට යන්න හේතු වෙන්නෙ මොන වගේ හේතු කාරණාද?

පළමුවැනි ම දේ තමයි සංගීත කණ්ඩායමක් වුණාම ඒ සංගීත කණ්ඩායමට අනන්‍යතාවක් තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ දැන් සංගීත කණ්ඩායමේ සිංදුවක් එෆ්. එම්. නාලිකාවක ඇහෙද්දි හරි, මේ ඇහෙන්නෙ ඕල්රයිට් එකේ සිංදුවක් කියන එක මිනිස්සුන්ට දැනෙන්න ඕනෙ. ඒ වගේ ම හැම වෙලේ ම අලුත් ම දෙයක් කරන්න ඕනෙ. තව දෙයක් තමයි සංගීත කණ්ඩායමක් වුණහම, පවුලක් වගේ ලොකු එකමුතුකමක් තියෙන්නත් ඕනෙ. මං හිතන්නෙ ඒක අපේ සංගීත කණ්ඩායමේ තියෙනවා.

* ශලින්ද ප්‍රනාන්දු කියන්නෙ මොන වගේ චරිතයක්ද?

ඒක නම් අහන්න ඕනෙ මගේ රසිකයන්ගෛන්. නැත්නම් මගේ සංගීත කණ්ඩායමේ අයගෙන්. මම ම කියනවා නම් මං බොහොම සාමාන්‍ය ජීවිතයක් ගතකරන චරිතයක්. වෙන දෙයක් කරන්නෙ නෑ. සංගීතය විතරයි මගෙ ජීවිතේ. මෙය තමයි මගෙ රැකියාව මෙය තමයි මගේ හීනේ. හැමදේම සංගීතය තමයි. මම සංගීතයත් එක්ක සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය චරිතයක් කිව්වොත් හරි.

* හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නවා ශලින්ද ප්‍රනාන්දුයි රොෂාන් ප්‍රනාන්දුයි කියන්නෙ නෑදෑයෝ කියලා. එහෙම නෑකමක් තියෙනවද?

නෑකමක් දුරින් තියෙනවා. බොහෝ අය හිතන්නෙ මම රොෂාන් අයියගේ ම මල්ලි කියලා. අපි වැඩවලට පිට පළාත්වල එහෙම ගියහම සමහරු අහනවා ඔයා රොෂාන් අයියගෙ මල්ලි නේද කියලා. මම නෑ කිව්වට පිළිගන්නෙ නැති පිරිසකුත් ඉන්නවා. කොච්චර කිව්වත් අහන්නේ නෑ. ඔයා රොෂාන් අයියගෙ මල්ලිම තමයි කියනවා. එහෙම කිව්වට රොෂාන් අයියගෙ මල්ලි නෙමෙයි මම. ඒ වුණාට අපේ තාත්තලාගේ පැත්තෙන් අපි දෙගොල්ලන් අතර ඥාති සම්බන්ධතාවක් තියෙනවා. නෑකම කොහොම වුණත්, රොෂාන් අයියා එක්ක මං විතරක් නෙමෙයි, අපේ සංගීත කණ්ඩායමත් අතරෙ හොඳ බැඳීමක් , සම්බන්ධතාවක් තියෙනවා. සංගීත කණ්ඩායම ඇතුළෙ මොනවා හරි ප්‍රශ්නයක් ආවත්, හැම දෙයක් ම අපි කියන්නෙ ෙරාෂාන් අයියට. එයාගෙන් හරි උත්තරේ ලැබෙනවා. අපට ළඟ ම කෙනා එයා. මම වෙන්නප්පුවෙ. රොෂාන් අයියා කටුනේරියෙ.ඕන ප්‍රශ්නෙකදි වෙන කාගෙන්වත් අහන්න ඕන නෑ. මට හරි ලේසියි. රොෂාන් අයියා ළඟ ම ඉන්නවනෙ . හැම උපදෙසක් ම වගේ ගන්නෙ එයාගෙන්. ඒකට හේතුව එයා සංගීත ක්ෂේත්‍රයේ සාර්ථක වෙලා තිබීමයි. අපේ සිංදු පවා හදන්නෙ එයා. මගේ ගීත සංයුක්ත තැටිය සම්පූර්ණයෙන් ම කළේ රොෂාන් අයියා. සිංදු ලියලා, සංගීතය දාලා සම්පූර්ණ කරලා තමයි එයා ඒ කටයුතු කරලා දෙන්නෙ. රොෂාන් අයියා ඉන්න එක අපට ලොකු ශක්තියක්.

*ඕල්රයිට් සංගීත කණ්ඩායමේ ඉදිරි සැලැසුම් මොනවද?

අලුතින් අපේ සංගීත කණ්ඩායමේ හැමෝමත් එක්ක සිංදුවක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ රූප රචනයක් එක්ක. ඒක තමයි දැනට ඔළුවෙ තියෙන ලොකු ම වැඩේ. ඒක මගෙ හීනයක්. තාම අපේ සංගීත කණ්ඩායමේ හැමෝම එකතුවෙලා සිංදුවක් කරලා නෑ . එතැනින් එහාට මේ ක්ෂේත්‍රයේ මොනවා හරි දෙයක් කරගෙන, අපේ කලා ජීවිතයත් සාර්ථක කරගෙන, හැමෝමත් එක්ක හොඳින් ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. අලුතින් ආව සංගීත කණ්ඩායම්වලින් උදවු අරගෙන ඒ ගමන යන්න ඕනෙ. දැන් තියෙන සංගීත කණ්ඩායම් ඉතාමත්ම හොඳයි. ඒ අය ඉතාමත්ම හොඳට වැඩ කරගෙන යනවා. අපි කණ්ඩායම් සංගීතය ආරම්භ කළ කාලෙට වඩා දැන් තාක්ෂණයත් දියුණුයි.අලුත් අයට මං සුබ පතනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕනෙ අපි විතරක් නෙමෙයිනෙ. සංගීත කණ්ඩායම් පවත්වාගෙන යන්න අපට පස්සෙත් පිරිසක් ඉන්න ඕනැ.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න