අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක කරන්න | දිනමිණ

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක කරන්න

මහින්ද අලුත්ගෙදර

පසුගිය කාලයේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බවට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි.

සංහිඳියාව ඇති කරලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වඩාත් විධිමත් හා කඩිනම් කරන ලෙසද ඉල්ලීමක් කරන ඒ මහතා හමුදාවන් විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් නිදහස් කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින තැනැත්තන් පිළිබඳ නඩු විභාග කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවාහි දී ආරම්භ වූ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 36 වැනි සැසිවාරය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශකර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පෙන්වා දී තිබෙන්නේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම, ආරක්ෂක අංශ අත්පත් කරගෙන ඇති ඉඩම් කඩිනමින් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවාගෙන සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් නඩු විභාග කඩිනමින් අවසන් කිරීම, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන ලෙස එම පනත වෙනුවට නව නීති ගෙනඒම වැනි යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් කරන ලද යෝජනාවේ නිර්දේශ කඩිනමින් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගතයුතු බවට කරුණු දක්වා තිබෙන අතර එම නිර්දේශ සහ අනෙකුත් ක්‍රියාමාර්ග ඉටු කිරීම සඳහා නිශ්චිත හා පැහැදිලි කාලරාමුවක් සහ යාන්ත්‍රණයක් ස්ථාපිත කළයුතු යැයි ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් පවසා තිබේ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...