කැලණියේ කුණු බියගම කුඹුරු යායකට බැහැර කිරීම ගැන විරෝධය | දිනමිණ

කැලණියේ කුණු බියගම කුඹුරු යායකට බැහැර කිරීම ගැන විරෝධය

දෙල්ගොඩ සමූහ -සුදත් පුබුදු කීර්ති

බියගම, ගෝනවල, ගල්ඒදණ්ඩ කුඹුරුයායේ කොටසකට කැලණිය ප්‍රාදේශීය සභාවෙන් ඉවත් කෙරෙන කුණු කසළ දැමීමට එරෙහිව පෙරේදා (11) දහවල් එම ස්ථානයේ ගම්වාසීන් විසින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ. මේ සඳහා බියගම මැතිවරණ කොට්ඨාසයේ දේශපාලන හා ආගමික නායකයින් හා ප්‍රදේශවාසීන් පන්සියයක් පමණ එක්ව සිටියහ.

තම හිතුමතේට ‍ගෝනවල, ගල්ඒදණ්ඩ ප‍්‍රදේශයේ පුද්ගලයකු විසින් ගල්ඒදණ්ඩ කුඹුරුයායේ කොටසක් යකඩ තහඩු ආවරණ යොදාගනිමින් අනවසර ඉදිකිරීමක් සිදුකර ඇති බවත් ඒ තුළ ඇති කුඹුරු ඉඩම් කැලණිය ප්‍රදේශයේ කුණු කසළ ගෙනවිත් පුරවා ගොඩ කිරීමේ සූදානමක් ඇති බවත් එයින් ප්‍රදේශයේ අනවශ්‍ය කසළ ප්‍රශ්නයක් ඇතිවීමත්, සිදුවන පාරිසරික විනාශයත් පෙන්වා දෙමින් ගම්වාසීහු විසින් පැයක පමණ කාලයක් මෙම විරෝධතාවේ නිරවූහ.

බියගම මැතිවරණ කොට්ඨාසයේ කිසිදු රාජ්‍ය ආයතනයක අවසර නොගෙන කැලණිය ප්‍රාදේශීය සභාවේ ඉල්ලීම පරිදි මෙම ස්ථානයේ කැලිකසළ බැහැර කිරීමේ අංගණයක් ඉදිකිරීමේ ක්ෂේත්‍ර පරීක්ෂාවක් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණීම ද මෙම විරෝධතාවට තවත් හේතුවක් විය.

මේ පිළිබඳ අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සම්පත් මහතා (එජාප), බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයිති මේ භූමියට කැලණිය ප්‍රාදේශීය සභාවේ කුණු ගෙනත් දාන්නේ කොහොමද, බියගම ප්‍රාදේශීය ලේකම්වරිය මේ ගැන මුකුත් දන්නේ නැහැ. ගොවිජන සේවා හා අනෙකුත් රාජ්‍ය ආයතනවල අවසරයක් නොගෙන කැලණිය ප්‍රාදේශීය සභාවේ ඉල්ලීමකට මේ ස්ථානයේ කුණු කසළ බැහැර කිරීමේ අංගණයක් ඉදිකිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරින් පරීක්ෂා කිරීම වරදක්.

අපි මේ ප්‍රදේශයට කුණු කඳුළක් දාන්න දෙන්නේ නැහැ. ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමා මේ ගැන දැනුවත් කරනවා. කුමන බලවේග ආවත් කිසිවෙකුට බියගම කසළ ප්‍රශ්නයක් ඇති කරන්න දෙන්නේ නැහැ.

මෙයට සහාය දෙන්න එපා කියලා සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටිනවා.

තැපැල් හා මුස්ලිම් කටයුතු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතා අදහස් දක්වමින්, කැලණිය බල ප්‍රදේශයේ කුණු මෙවැනි ස්ථානයකට බැහැර කිරීම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. අපේ සභාව ලක්ෂ 20ක් විතර වියදම් කරනවා බියගම කුණු කලගෙඩිහේනට ගෙනියන්න කටයුතු කරනවා. බියගම ආසනයේ සම සභාපති විදිහට මගේ දැඩි විරෝධය ප්‍රකාශ කරනවා. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...