වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණ | දිනමිණ

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණ

රක්ෂණ ශ්‍රියන්ත

වැලිකඩ බන්ධනාගාරයේ නිරායුධ රැඳවියන් විසි හත්දෙනෙකු ඡායාරූප බලමින් සොය සොයා ඝාතනය කළ මිනීමරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලා සිටී.

ඔවුන් මේ බව පැවසූවේ ඊයේ (12) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවති සිරකරුවන් මනුෂ්‍යයෝය යන වැඩසටහන සහ උද්ඝෝෂණයේදීය.

එම අවස්ථාවේදී එතැනට පැමිණි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතා උද්ඝෝෂකයන් හමුවේ පවසා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ පවතින අධික තදබදයට පිළියමක් ලෙස කොළඹින් පිටතට බන්ධනාගාරය රැගෙන යන බවයි. එසේම බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන්ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී කතා කරන බවයි. බන්ධනාගාර වෛද්‍යවරිය වෙනුවට වෙන අයෙකු පත් කිරීම සිදු කෙරෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බවද පෙන්වා දුන්නේය. බන්ධනාගාරය තුළ ඇති ගැටලු තමා තේරුම්ගෙන සිටින බවත් ඒවාට මාසයකින් දෙකකින් පිළියමක් ලබාදිය හැකි බවද ඇමැතිවරයා කියා සිටියේය. තවද සිරකරුවන් සම්බන්ධ ඇති ගැටලු පිළිබඳව ලිපියක් සමාජ සවිබල ගැන්වීම් සහ සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා විසින් ඩී.එම්.ස්වාමිනාදන් ඇමැතිවරයා වෙත භාරදුන්නේය.

සිරකරුවන්ට එදිනෙදා අත්දකින දුක් ගැහැට විදහා පාමින් වීදි නාට්‍යක්ද රඟ දැක්විණි. “බන්ධනාගාර පනතේ සහන සිරකරුවන්ට අහිමිද“, “බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් තහවුරු කරනු“, “රැඳවියන් සමාජගත කරනු“ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කළ මිනීමරුවන් වහා අත්අඩංගුවට ගනු“ යනුවෙන් පුවරු සහිතව සිරකරුවන්ගේ පවුල්වල ඥාතීන්, සමීපතමයන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් උද්ඝෝෂණයේ නිරත වූහ.

සමාජ සවිබල ගැන්වීම් සහ සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා-

බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මට මේ උද්ඝෝෂණයට සහභාගි වන ලෙස ඉල්ලා සිටියා. මම රජයේ නියෝජ්‍ය ඇමැතිවරයෙකු වුවත් මම කාලයක සිට මෙය අධ්‍යයනය කළා. සෑම සිරකරුවෙක්ම මනුෂ්‍යයෝය කියලා බෝඩ් ගැහුවාට මදි. සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකෙන්න ඕනෑ. අපි දැක්කා පසුගිය ටිකේ සිල් රෙදි වංචාවට හසුවුණු ලලිත් විරතුංග සහ අනුෂ පැල්පිට වගේ පුද්ගලයෝ හොරකම් කළේ කෝටි හැටක්. කෝටි හැටක් හොරකම් කළ අය බොහොම නිරෝගීව ඇවිදගෙන එනවා උසාවියට. තීන්දුව දුන්න ගමන් ඒ අයට තියෙන සියලුම ලෙඩ හැදෙනවා. ඩයිබිටිස්, කොලොස්ටරෝල්, ජැපනීස් එන්සපලයිටීස්, ඔස්ටියෝ පොරෝසිස් ඔක්කොම හැදෙනවා. මෙහෙම ලෙඩ හැදෙද්දී රාජ්‍ය නිලධාරීන් විදියට වැඩ කළේ කොහොමද කියලා අපෙන් ජනතාව අහනවා. මේකට ප්‍රධාන හේතුව නිර්මලී කියන වෛද්‍යවරිය. මේ වෛද්‍යවරිය දුෂිතයි කියා හැමෝම දන්නවා. පාදෙණිය මහත්තයලා මේකට මොකද කරන්නේ කියලා බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අහනවා. මම ගරු කරනවා සංඝරත්නයට. මේ කියන්නේ ගරුතර සංඝරත්නය කියලා පොදුවේ කියන්න බැහැ. දන ගහලා වදින්න පුළුවන් මහා සංඝරත්නය ඉන්නවා. ඒ අය දේශපාලනය කළේ නැහැ. දැන් ඉන්න මේ චීවරධාරීන් මේ හොරුන්ට කඩේ යනවා. හොරුන් හොරකම් කරලා තිබෙන්නේ ජනතාවගේ කෝටි හැටක්. මේ හොරුන් හොරකම් කරලා ඒකට දඩ ගෙවන්න බී.එම්.ඩබ්. සංඝ මුදලාලිලා පාරට බැහැලා සල්ලි එකතු කරන්න හදනවා. මේ අය හොරුන්ව ආරක්ෂා කරන්න හදනවා. අපි රජයේ සිටගෙන හොරුන්ට විරුද්ධව සටන් කරද්දී අපේ රජයෙන් බැඳුම්කර හොරුන්ට විරුද්ධව සටන් කරලා මෙතැනට එවන්න ලැස්ති වෙද්දී මෙතන ඉන්න වෛද්‍යවරුන් ඒ අයට චයිනීස් දෙන්න ලෑස්ති කරලා තිබෙනවා. මේ සිරකරුවන්ට කන්න බොන්න බෙහෙත් නෑ නමුත් ලලිත් වීරතුංගලාට අනුෂ පැල්පිටලාට චයිනීස් හෝටල්වලින් සුපිරි කෑම ලැබෙනවා. මුලු ලෝකෙම අපිට හිනා වෙනවා මේ අයට දඩුවමක් නෑ කියන එක. පසුගිය ටිකේ ආර්.දුමින්ද සිල්වා මහතා බලන්න විනිසුරුවරු ආවා. මම කියන්නේ සියලු දෙනාට එක ලෙස සලකන්න කියන එකයි. කෙලින් කතා කරනවා කියලා මට නඩු දාලා තිබෙනවා. මම කියන්න කැමැතියි මේ අය සුපිරි ප්‍රභූ දේශපාලනඥයන්ට සහ අහිංසක සිර කරුවන්ට සලකන්නේ දෙවිදියකට.

බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා-

බන්ධනාගාර රැඳවියන් ආහාර වේලේ සිට විවිධ ප්‍රශ්නවලට මුහුණ දී සිටින්නේ. ආහාර වේලට රජයෙන් හරියට මුදල් වෙන් කළාට ඔවුන්ට නිසි ලෙස පෝෂ්‍යදායි ආහාර වේලක් ලැබෙන්නේ නැහැ. ඒ අයට සනීපාරක්ෂක පහසුකම්වල තිබෙන්නේ අසතුටුදායක තත්ත්වයක්. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 800කට පහසුකම් තිබුණත් දැන් එහි 3000කට අධික රැඳවියන් පිරිසක් රඳවා තිබෙනවා. බන්ධනාගාර ගතවන ප්‍රභූ පැලැන්තිය සහ සුපිරි සල්ලිකාරයන්ට මේ බන්ධනාගාරයේ ලැබෙන්නේ සුපිරි සැප පහසුකම් ලබා දෙමින් බන්ධනාගාර රෝහලේ සිටින අතර බන්ධනාගාර රෝහලේ බහුතර කාර්ය මණ්ඩලය එයට සහාය දෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ. 2012 නොවැම්බර් මස 09 වැනි දින වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27දෙනෙකු සමුල ඝාතනය කරමින් ඇති වු ඛේදවාචකය සම්බන්ධයෙන් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ලෙස මුල සිටම රජයට උද්ඝෝෂණ විරෝධතා ඉදිරිපත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස යම් තරමකට මේ සිද්ධිය මතුව තිබෙනවා. නමුත් අපිට බන්ධනාගාරයේ සිද්ධිය වෙනුවෙන් අධිකරණයට යන්නත් සිදුවුණා. ඒක යම්කිසි ලෙස කණගාටුදායක තත්ත්වයක්. රජය මේ සිද්ධියට ලක්වුවන්ගේ ඥාතීන්ට වන්දි දෙන පසුබිමකයි අපි මිනීමරුවන් නීතිය ඉදිරියට ගෙන එන්න කියලා ඉල්ලා සිටින්නේ. මේ අය හැමවිටම සහාය දෙන්නේ සල්ලිවලට සහ බලයට. පක්ෂ පාට භේදයකින් තොරව හොරකම් කරලා බන්ධනාගාරයට ආවාම ඒ අය රෝහලට යවන්න එපා. දඩුවම විදින්න ඉඩ සලසන්න. අර රැඳවියන් 27 දෙනා මැරුවේ කොහොමද කියා කවුරුත් දන්නවා. ඒ අය ඝාතනය කරන්න අය එව්වේ මිනීමරු ගෝඨාභය රාජපක්ෂ කියලා අපි කියනවා. ඒ ආවේ අර කඩුව හොරකම් කරලා ස්වාමීන් වහන්සේලා එක්ක ප්‍රශ්නය වුණු අය මරන්න. මේ මාධ්‍යවේදියෙක්ව මරලා තිබෙනවා .ෆොටෝ එක පෙන්න පෙන්න හොය හොය විසි හත් දෙනෙක් ඝාතනය කරලා තිබෙනවා. ඒ නිසා මම ඉන්න අපේ රජයට අපි කියනවා මේ පීඩනය දෙන්නේ ඒ ඝාතනයට ලක්වු අයට සාධාරණත්වයක් දෙන්න කියන එකයි. ඇතුළට ඇවිත් නිරායුධ රැඳවියන්ට ඔළුවට වෙඩි තියලා මරපු එක එළියට ආපු දවසට ඔය ජනාධිපති අපේක්ෂකලාට කොහෙද යන්න වෙන්නේ මෙතැනටම තමයි එන්න වෙන්නේ.

බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුයේ ලේකම් නන්දිමාල් සිල්වා මහතා-.

බන්ධනාගාර අාඥා පනතේ යම් යම් අන පනත් අනුව බන්ධනාගාර රැඳවියන්ට ලැබිය යුතු කිසිදු හිමිකමක් මේ බන්ධනාගාර තුළ ලැබෙන්නේ නැහැ. වසර 13කට වැඩි බන්ධනාගතව සිටින අයට නිදහස් වීමේ ඉඩකඩ තිබෙනවා. ඒවා අද සිදුවන්නේ නැහැ. මහින්ද රාජපක්ෂලාගේ හෙන්චයියන් මේ බන්ධනාගාර ආඥා පනත යොදාගෙන පසුගිය රජය නිදහස් කළා. නමුත් අද බන්ධනාගාර ගතව සිටිනවා වැරදි නොකරපු අයත්. කිසිදු මානුෂික හැඟීමකින් නොව සිරකරුවන් දෙස බලන්නේ. ඔවුන්ට පහර දෙනවා, විවිධ වධ හිංසාවලට ලක්වෙනවා, සෞඛ්‍ය පහසුකම් අවමයි. වසර විසිපහ විසිහය බන්ධනාගාර ගතව සිටිනවා. දේශපාලනඥයන්ගේ වුවමනා මත බන්ධනාගාර ගතවන අය අද බන්ධනාගාර ආඥා පනතේ තිබෙන අණ පනත් ක්‍රියාත්මක කර එළියට දමනවා. නමුත් වසර දෙක වසරකින් එළියට දානවා. නමුත් පීඩිත පන්තියේ අයට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. අද දේශපාලනඥයෙක් හොරකම් කරලා බන්ධනාගාර ගත වුණාම ඔහුව ගෙනියන්නේ රෝහලට. පොල් ගෙඩියක් කඩලා අවුරුදු 70ක 80ක කෙනෙකු වුණත් බන්ධනාගාර ගතවුවොත් ලෙඩ දුක් තිබුණත් රෝහලට ගෙනියන්නේ නැහැ. බන්ධනාගාරයේ රෑට රඳවන්නේ අඩි හතයි හතේ සිරකුටියක හත් දෙනා අට දෙනා දානවා වැසිකිළි කැසිකිළි පහසුකම් කරන්නෙත් ඒ තුළයි. බන්ධනාගාරය තුළ බෙහෙත් හේත් නැතිව මිය යන අයත් අනන්තයි.

බොරැල්ලේ සැම්සන් අල්විස් සාමිවරයා-

මගේ පුතා හෙරොයින් ප්‍රශ්නයකට බන්ධනාගාර ගතව සිටියේ. එයා මාධ්‍යවේදියෙක්. එදා 2012 සිද්ධියේදී මගේ දරුවවත් මරලා දැම්මා. ඒ දුක වාව ගන්න බැරිව අසනීප වෙලා මගේ බිරියත් මිය ගියා. ලක්ෂ විස්සක වන්දි දෙනවා කිව්වත් තවම ලැබුණේ නැහැ. මම සෑම ලියවිල්ලක්ම ඉදිරිපත් කරලයි තිබෙන්නේ. මම කියන්නේ මේ මිනීමරුවන් අත්අඩංගුවට අරගෙන අපිට සාධාරණයක් ඉටු කරන්න කියලයි.

ඡායාරූප - රුක්මල් ගමගේ

නව අදහස දක්වන්න