ඇලෝසියස් අද එයි | දිනමිණ

ඇලෝසියස් අද එයි

කමනි අල්විස්

අර්ජුන් ඇලෝසියස් මහතා රටින් පිටවී නොමැති බවත් අද (13) ඒ මහතා කොමිසම හමුවේ පෙනී සිටින බවත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඊයේ (12) බැඳුම්කර කොමිසම වෙත දැනුම් දුන්නේය.

ඇලෝසියස් මහතා රටින් පිටවී ගොස් තිබෙන බවට තහවුරු කළ නොහැකි මූලාශ්‍ර මගින් තමන්ට වාර්තා වී තිබෙන බව වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම හමුවේ සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා එම දැනුම්දීම සිදු කළේය.

ඇලෝසියස් මහතාගෙන් බැංකු වාර්තා කොමිසමේ විමර්ශන නිලධාරීන් ඉල්ලා තිබෙන බවත් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් සහ පෑන් ඒෂියා බැංකු එම වාර්තා අද සහ හෙට ලබාදුන් වහාම ඒවා කොමිසම වෙතට ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥ ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන සහ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ නීතිඥ නවීන් මාරපන මහත්වරු ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමඟ අර්ජුන් ඇලෝසියස් මහතා අද කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ප්‍රශ්නගත බැඳුම්කරයට අදාළ මූල්‍ය ගනුදෙනුව පිළිබඳව ඊයේ සාක්ෂි විමසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී. එස්. ජයවර්ධන සහ වී. කන්දසාමි මහත්වරුන්ගෙන් හෙබි බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි විභාගය සිදුවෙයි. 

 

නව අදහස දක්වන්න