හික්කඩුව සංචාරක පුරවරය කඩා වැටීමේ අවදානමක් | දිනමිණ

හික්කඩුව සංචාරක පුරවරය කඩා වැටීමේ අවදානමක්

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

හික්කඩුවේ සංචාරක කර්මාන්තය දරුණු ලෙස කඩා වැටීමේ අවදානමක් ඇතිබව හික්කඩුවේ සංචාරක කර්මාන්තයේ නියුතු පිරිස් රජයට අනතුරු අඟවති.

හික්කඩුව කුඩා හෝටල් හිමියන්ගේ හා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර ද සිල්වා මහතා - හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීම හා ඒ හා ආශ්‍රිත ව්‍යාපාර වැඩිදියුණු කිරීමට අදාළව හැම ආණ්ඩුවකටම ලිඛිත මෙන්ම වාචික තොරතුරුත් දීලා තියෙනවා. නමුත් ඒ හැම ආණ්ඩුවක්ම අපිට දුන්න පොරොන්දු මැතිවරණ පොරොන්දුවලටම සීමා කළා.

ලක්ෂ හාරසියයකට වැඩි මුදලක් යොදවා දකුණු පළාත් සභාවේ රුහුණු සංචාරක කාර්යංශය හරහා ඉදිකිරීම් කර සංචාරක තොරතුරු කාර්යංශය අද වන විට පුද්ගලික අංශයට බදුදීලා. මේ ගැන අපි දිගින් දිගටම ඉල්ලීම් කරා. නමුත් වැඩක් වුණේ නෑ. අනිත් එක මේ සංචාරක පුරවරය හරහා වේගයෙන් රථ වාහන ධාවනය පාලනය කිරීමට කිසිම පියවරක් ගන්නේ නෑ. සංචාරකයන්ට සිදුවන හිරිහැර ගැන මීට වඩා සොයා බැලිය යුතුයි. එසේම අධික බදු බර නිසා සංචාරක නියෝජිත ඒජන්සි මඟින් ධනවත් සංචාරකයින් හික්කඩුවට නොඒවීම නිසාත් හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා. මේ කාරණා සම්බන්ධයෙන් ඉක්මන් විසදුම් නොලැබුනහොත් හික්කඩුවේ සංචාරක ව්‍යාපාරය කඩා වැටීමේ අවදානමක් ඇති බව ද ඔවුහු පවසති.

සංචාරක සේවා සපයන්නන්ගේ සංගමයේ නිශ්ශංක ඈපාලියන මහතා - හික්කඩුව සංචාරක නගරය දියුණු කරන්න කිසිම සැලැස්මක් නෑ. 1987දී හික්කඩුව සංචාරක කලාපයක් කරන්න සංචාරක අමාත්‍යාංශය විසින් කරන්න ගැසට් කළා. නමුත් හික්කඩුවේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් කිසිඳු රජයක් සාධාරණයක් කළේ නෑ. අපි හික්කඩුවට විකල්ප මාර්ගයක් 2003 දී යෝජනා කළා. ඒක කිලෝ මීටර් 5.5ක් දුරයි. ඒක හැදුවානම් සංචාරකයෝ නිදහසේ සතුටු වෙනවා. දැන් සංචාරකයෝ හෝටල්වලින් එළියට බහින්නේ කොයි වේලේ රිය අනතුරක් වේවිදැයි සැකයෙන්. හැම ගැටලුවක්ම බලධාරීන්ට කියනවා. ඒවා හැම එකක්ම බිහිරි අලින්ට වීනා වයනවා වගේ.

හික්කඩුව කියන්නේ විදේශ විනිමය රටට ගලා එන තැනක්. මේ වෙනුවෙන් දේශපාලන කරන අයගේ කැපවීම අත්‍යාවශ්‍යයි. මෙහෙම ගියොත් තව අවුරුදු 10ක්වත් සංචාරක ව්‍යාපාර තියෙන එකක් නෑ. හික්කඩුව සුන්දරම වෙරළ දැක බලා ගන්න දහස් ගණන් දේශීය විදේශීය අය එනවා. හික්කඩුව කොරල් පරය ලෝක ප්‍රසිද්ධයි. ඒවා බලන්න යන බෝට්ටු 85ක් විතර තිබෙනවා. ඒවා යන එන ක්‍රමය කිසිම සැලැස්මකට නෑ. වනජීවියත් එක්ක එකතු වෙලා සැලැස්මක් ඇතිව බෝට්ටු සේවා ක්‍රියාත්මක වෙන්න ඕනෑ. හික්කඩුව හෝටල් සංගමයේ සභාපති සිරි ගුණවර්ධන, කේ. ඩබ්ලිව්. ගාමිණී, එස්. ආර්. නානායක්කාර, ත්‍රී රෝද රථ සංගමයේ සභාපති නිහාල් වීරක්කොඩි යන මහත්වරුද අදහස් දැක්වුහ.

නව අදහස දක්වන්න