පඹහේන-කුරුඳුගොල්ල පාරේ අවදානම් විදුලි රැහැන් කණු | දිනමිණ

පඹහේන-කුරුඳුගොල්ල පාරේ අවදානම් විදුලි රැහැන් කණු

ගිනිගත්හේන ප්‍රාදේශිය විදුලි ඉංජිනේරූ කාර්යාල බල ප්‍රදේශයට අයත් පඹහේන-කුරුදුගොල්ල මාර්ගයේ ඉදිකර සිටුවා තිබෙන විදුලි රැහැන් ආධාරක කණු කීපයක් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධකයක් වී ඇත.

ගිනිගත්හේන රෝහල අසල එම පඹහේන-කුරුදුගොල්ල මාර්ගයේ එම ගම්මාන දෙකට විදුලිය සපයන විදුලි රැහැන් මාර්ගයක් ද ඉදිකර තිබෙන අතර එම විදුලිරැහැන් ආධාරක කණු තුනක්ම සිටුවා තිබෙන්නේ එම මාර්ගය ඇතුළතය. මේනිසා සාමාන්‍යයෙන් ත්‍රීරෝද රථ හැර වෙනත් වෙනත් ලොකු වාහනවලට එම මාර්ගයේ ධාවනය කරවිමට නොහැකිය.

මෙයට වසර ගණනාවකට පමණ ඉහතදි බඹහේන හා කරුදුගොල්ල යන ගම්මානවලට විදුලිය සැපයීම සදහා විදුලි බල මණ්ඩලය මගින් එම විදුලි රැහැන් මාර්ගය ඉදි කරන ලදී. ඊට කාලයකට පමණ පසුව එම ගම්මාන දෙක සම්බන්ධ කෙරන මාර්ගය කොන්ක්‍රීට් කළ ද විදුලි රැහැන් මාර්ගයේ ආධාරක කණු තුනක්ම තිබෙන්නේ එම මාර්ගය ඇතුළතවීම මේ ගැටලුවට හේතුවයි.

ගම්වාසින් විදුලිබල මණ්ඩලයේ බලධාරීන්ට දැනුම් දුන්විට එම විදුලි රැහැන් ආධාරක කණු ගලවා ඉවත්කර එවා එම මාර්ගය අයිනේ සිටුවීමට පියවර ගන්නා බව ඔවුන් පවසා ඇත. නමුත් කාලයක්ම ගතවී තිබෙන නමුත් මේ දක්වාම තම ඉල්ලීම ඉටුකර නොමැති බව එම ගම්වාසීහු පවසති.

ගිනිගත්හේන විශේෂ
ජී. ඒ. ගුණසේන

නව අදහස දක්වන්න