බර වාහන ධාවනයෙන් පරගහමූකලාන පාර අබලන් | දිනමිණ

බර වාහන ධාවනයෙන් පරගහමූකලාන පාර අබලන්

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ගඟේයාය-පරගහමූකලාන පාර මේ වන විට පවතින්නේ ඉතා අබලන් තත්ත්වයකය.

ගඟේයායේ හා පරගහමූකලානේ පවුල් 600ක පමණ ජනයාටත් ගඟේයායට කිට්ටුව මහවැලි ගඟබඩ පිහිටා තිබෙන වැලි තොටුපොළවල් වෙත යන-එන බර වාහන 100කට වැඩි ප්‍රමණයකටත් ප්‍රයෝජනවත් මේ මාර්ගය අබලන් වී පැවතීම හේතුවෙන් මාර්ගය දෑලේ ගෙවල් හා වතු දූවිල්ලෙන් නැහැවී තිබෙන අයුරුත් දැකිය හැකි වෙයි.

ගඟේයාය-පරගහමූකලාන පාර අයිනේ පිහිටා තිබෙන වේරගංතොට පෙර පාසල දූවිලි වැඩි ඇතැම් දිනවල පවත්වා ගෙන යන්නේ මහත් බාධා මැද බවත් තවදුරටත් දැකිය හැකි වෙයි.

මේ තත්ත්වය ගැන පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණ ඇති බවත් දූවිලි හේතුවෙන් පෙර පාසල් ළමුන් ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට බොහෝ දුරට ඉඩ-කඩ ඇතැයි පරීක්ෂණයේ දී හෙළි වූ බවත් ගම්මු කියති.

දීර්ඝ කාලයක් මුළුල්ලේ අලුත්වැඩියා කිරීමකට හෝ වැඩිදියුණු කිරීමකට ලක් නොවූ මෙම මාර්ගය ගැන තොරතුරු බලධාරීන් යොමුකර ඇතත් පලක් නොවූ බවත් කියැවෙයි.

මහනුවර-වංගු දහඅට-මහියංගණය-අම්පාර මාර්ගයේ 71 වැනි හා 72 වැනි කිලෝමීටර් කණු අතර පිහිටා තිබෙන වේරගංතොට, පාලම් හංදිය හා මහවැලි පාලම ළඟින් ආරම්භ වන ගඟේයාය-පරගහමූකලාන පාර මිනිපේ, පල්ලේවත්තට කිට්ටු මිල්ලගස් හංදිය හෙවත් සෙවළ බෝක්කුව ළඟ දී ඉහත කී මහා මාර්ගයට යළිත් යා වෙයි.

කිලෝමීටර් 4ක් පමණ දිග මේ මාර්ගය අලුත්වැඩියා කිරීමට හෝ වැඩිදියුණු කිරීමට මිනිපේ ප්‍රාදේශීය සභාව හෝ මධ්‍යම පළාත් මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය යටිතල ව්‍යුහය භාර රාජ්‍ය ආයතනයක් හෝ මධ්‍යම පළාත් සභාව පියවර ගත යුතු බව ඉකුත් අවුරුදු කීපය මුළුල්ලේ යළි යළිත් කරනු ලැබූ ඉල්ලීමක කියා ඇත.

මහවැලි කලාපීය
නවරත්න බණ්ඩාර

නව අදහස දක්වන්න