මීගලෑව අක්. 500ක සරු සෝයා අස්වැන්නක් | දිනමිණ

මීගලෑව අක්. 500ක සරු සෝයා අස්වැන්නක්

පවතින නියං සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මෙවර යල කන්නයේ දී වගා කටයුතු සිදු කිරීම සදහා ජලය නොමැති වුවත් වගා ළිංවල ජලය භාවිතා කරමින් වගා කිරීම සදහා මීගලෑව මහවැලි කොට්ඨාසයේ ගොවි මහතුන් සදහා පසුගිය අප්‍රේල් මාසයේ නොමිලේ ලබා දුන් සෝයා බීජවලින් අස්වනු නෙළීම සාර්ථකව ආරම්භ කර ඇතැයි මීගලෑව කොට්ඨාස කාර්යාලය දන්වා සිටී. අක්කර 500ක භූමි ප්‍රමාණයක් සඳහා ගොවීන්ට මේ සෝයා බීජ ලබා දී ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් දසලක්ෂ 23ක පමණ මුදලක් වැය වූ බව ද අදාළ භූමියේ ක්ෂේත්‍ර පරීක්ෂාවට එක්වූ මහවැලි එච් කලාපයේ කෘෂිකර්ම නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර බී. එම්. සී. බණ්ඩාරනායක මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා මීගලෑව, කටුගම්පළගම ඩී 1 වෙල් යායේදී මේ කන්නයේ වගාව පිළිබඳව ගොවි මහත්වරු සමඟ පැවති සමාලෝචනයකට සහභාගී වෙමිනි.

මීගලෑව කොට්ඨාස කළමනාකාර බී. ජී. කපිල කුමාර මහතා - එම බීජ නිවැරදි ආකාරයෙන් වගා කොට සරුසාර අස්වැන්නක් ලැබූ ලෙසින්ම මහවැලි අධිකාරිය විසින් සෝයා කිලෝවක් රුපියල් 95ක් වැනි ඉහළ මිලක් ලබාදීමටද පියවර ගෙන තිබෙනවා. සෝයා වගාව ත්‍රිපෝෂ නිෂ්පාදනයට, සත්ව ආහාර නිෂ්පාදනයට සෘජුවම යොදා ගන්නවා. නියමිත සෝයා අස්වැන්නක් රට තුළ නිෂ්පාදනය නොවන නිසාත්, විදේශ රටවල්වලින් පවා සෝයා බීජ ආනයනය කරන නිසාත් මේ සෝයාවලට ඉතා ඉහළ මිලක් ලැබී තිබෙනවා.

310/ඩී 1 ගොවි සංවිධානයේ සභාපති රුවන් බණ්ඩාර මහතා - මහ කන්නයේදී ද මේ සෝයා බීජ නිෂ්පාදනය කර 2018 යල කන්නයටද මෙවැනිම හොඳ තත්ත්වයේ ඇති සෝයා වගාවක් තම වගා භූමි තුළ වගා කිරීම සුදුසුයි. මේ සඳහා ක්ෂේත්‍ර සහකාර ගයානි මහත්මියගෙන් ද ලද උපදෙස් හා මගපෙන්වීම් ද ඉතා සාර්ථක අස්වැන්නක් ලබාගැනීම උපකාරය වුණා.

කෙසේ වෙතත් අදාළ අක්කර 500 සඳහා මීගලෑව මහවැලි කොට්ඨාස කාර්යාලයට අයත් ගොවි සංවිධාන 25ක ගොවි මහත්වරු 520කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇති අතර මෙයින් ලබා ගත හැකි සෝයා අස්වනු ප්‍රමාණය ටොන් 600 ක් පමණ වන බවද ගණන් බලා ඇතැයි මීගලෑව මහවැලි කොට්ඨාස කාර්යාලය කියා සිටී.

එසේම සෝයා බෝංචි ගස මගින් නයිට්‍රජන් පොහොර පසට එකතු වන නිසා එය පස සරුසාර කිරීමට දායක වීම මත ඊළග කන්නයේදී ද වී වගාවට වඩා වැඩි ආදායමක් සෝයා වගාවෙන් ලබා ගැනීමට අපේක්ෂාකරන බව ද, සෝයා බෝගය මේවන විටත් ගොවීන් අතර වගා කිරීමට කැමැත්තක් දක්වන බෝගයක් බවට ප්‍රචලිත වී ඇති බව ද එම කාර්යාලය පැවසීය.

ගල්ගමුව සමූහ එම්. එම්. ක්‍රිෂාන්

නව අදහස දක්වන්න