අන්තර් සමාජ ලීග් රගර් නොවැ.4 ඇරැඹේ | දිනමිණ

අන්තර් සමාජ ලීග් රගර් නොවැ.4 ඇරැඹේ

ෆවුස් මොහොමඩ්

තරගාවලියට එක්වීමට කටාර් රාජ්‍යයෙන් ඉල්ලීමක්

දේශීය රගර් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයන්ගේ දස්කම් උරගා බලන ප්‍රධානතම තරගාවලිය වන අන්තර් සමාජ ඩයලොග් ලීග් රගර් තරගාවලිය ලබන මස 4 වැනිදා වත්මන් ශූර මහනුවර ක්‍රීඩා සමාජය සහ සී.එච්.කණ්ඩායම අතර සී.එච්.පිටියේ පැවැත්වෙන තරගයෙන් ඇරැඹේ.

ප්‍රධාන පෙලේ කණ්ඩායම් අටක් තරග වදින මේ තරගාවලියේ පළමු වටයේදී එක් එක් කණ්ඩායම් සෙසු කණ්ඩායම් වලට සත්කාරකත්වය සපයන අතර දෙවැනි වටයේදී ආගන්තුක කණ්ඩායම් ලෙස සෙසු කණ්ඩායම්වලට අයත් ක්‍රීඩාංගණවලදී තරග වදිති. ඉන් පසුව කුසලානය සහ පළඟ ශූරතා සඳහා තරග පැවැත්වෙයි.මෙවර තරගාවලියට ප්‍රවීණතම ක්‍රීඩකයන් මෙන්ම පාසල් රගර් පිටියෙන් මෑතකදී එක්වූ විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් එක්වී සිටිති. මහනුවර ක්‍රී.ස, හැව්ලොක්ස්, නාවික, සී.ආර්, ගුවන්, යුද, පොලිස් සහ සී.එච්. කණ්ඩායම් මේ තරගාවලියට ක්‍රීඩා කරති.

බටහිර ආසියානු ලීග් රගර් ශූරතාවලියෙන් මෑතකදී ඉවත් කරනු ලැබූ දෝහා කටාර් හී දෝහා රගර් ක්‍රීඩා සමාජය මෙවර අන්තර් සමාජ ලීග් තරගාවලියට එක්වීමට සූදානමින් සිටින අතර විදෙස් ක්‍රීඩා සමාජයක් මෙරට පළමුපෙළ ලීග් රගර් තරගාවලියට සහභාගිවීම කැපී පෙනෙන සිදුවීමකි. එසේ වුවත් එම ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීම පිළිබඳ මෙතෙක් ශ්‍රී ලංකා රගර් ආයතනය පූර්ව එකඟතාවකට පැමිණ නොමැති බව වාර්තා වෙයි.

කටාර් රාජ්‍ය කණ්ඩායමට බටහිර ආසියානු ලීග් රගර් ශූරතාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමිවී ගියේ පසුගිය ජූනි මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් 5ක් කටාර් රාජ්‍යය සමග ඇති රාජතාන්ත්‍රික සම්බන්ධතා නතර කිරීම හේතුවෙනි. මේ නිසා එම කණ්ඩායමට බටහිර ආසියානු රගර් ශූරතාවලියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් රටවල තරග සඳහා සංචාරය කිරීමට හෝ එම රටවල කණ්ඩායම්වලට කටාර් හි තරග සංචාරය කිරීමට නොහැකිවී තිබේ.

කටාර් රාජ්‍ය කණ්ඩායම මෙරට ලීග් රගර් තරගාවලියට එක්වීමට කැමැත්ත පළ කර ඇත්තේ ඔවුන්ගේ රගර් ක්‍රීඩාව තවදුරටත් ඉහළ තලයක රඳවා තබා ගැනීමේ අවශ්‍යතාව මතය. මෙරට ලීග් රගර් තරගාවලියේදී එක් එක් කණ්ඩායම් සෙසු කණ්ඩායම්වලට සත්කාරකත්වය ලබා දෙන අතරම දෙවැනි වටයේදී ආගන්තුක කණ්ඩායම් ලෙස සෙසු කණ්ඩායම්වලට අයත් ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරන බැවින් කටාර් රාජ්‍ය කණ්ඩායම මෙරට ලීග් තරගාවලියට එක්වන්නේ නම් සත්කාරක කණ්ඩායම ලෙස ඔවුන්ගේ රටෙහි තරග කිහිපයක් පැවැත්වීමට සිදුවෙයි. එහෙත් ඒ සඳහා එරට සංචාරය කිරීමට මෙරට ක්‍රීඩා සමාජවලට වැයවන මුදල් ප්‍රතිපාදන පියවා ගැනීමේ ගැටලුවක් මතුවී තිබේ. මේ කරුණ මත ලීග් තරගාවලියට කටාර් රාජ්‍ය කණ්ඩායම සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක පවතී. කෙසේවෙතත් ලීග් තරගාවලියෙන් පසුව පැවැත්වෙන ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියට සහ අන්තර් සමාජ සත් සාමාජික රගර් තරගාවලියට ක්‍රීඩා කිරීමට කටාර් රාජ්‍ය කණ්ඩායමට හැකියාව ඇති බව ශ්‍රී ලංකා රගර් ආයතනයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

නොවැම්බර් 4 වැනිදා ආරම්භ වන අන්තර් සමාජ ඩයලොග් ලීග් රගර් තරගාවලියේ පළමු වටයේ තරග ලබන දෙසැම්බර් මස 17 වැනිදා දක්වා පැවැත්වෙයි. පසුගිය වසරේදි මහනුවර ක්‍රීඩා සමාජය විසින් ලීග් ශූරතාව දිනා ගනු ලැබුවේ පිට පිට තුන්වැනි වරටය. එමෙන්ම ඔවුන් අන්තර් සමාජ ලීග් රගර් කිරුළට හිමිකම් කීවේ 18 වැනි වරටය. හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය පසුගිය වසරේදී ලීග් තරගාවලියේ අනුශූරයන් බවට පත්විය.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...