අපේ සිහින ජීවිතය | දිනමිණ

අපේ සිහින ජීවිතය

 බොහෝ දෙනකු බලා සිටින්නේ ගෙඩිය ඉබේ ඉදී බිම වැටෙනතුරු ය. බලා ඉන්නවා කිව්වාට සමහර විට බලා ඉන්නේත් නැත. ඉන්නේ දැකපු වෙලාවක ඇහිඳ ගන්න බැරි යැයි කියා ය. ඇත්තටම ඝර්ම කලාපීය රටක ඉපදීමේ වාසිය ද ඒක ය.ගෙඩි හැදී ඉදී ඉබේ බිමට වැටෙන්නේ ය.

උහුලන්නට බැරි සීතලක් මෙහි නැත. ගහක හෙවනක හෝ අතු පැලක වහලයක් යට දරා ගන්නට බැරි රස්නයක් ද නැත. එහෙමකට කියා ඇඳුමක් කැඩුමක් ද ඕනෑ නැත. අවශ්‍ය වන්නේ විලි වහගන්නට කුඩා රෙදි කැබැල්ලක් පමණකි. ඒ කටයුත්ත නම් ගහක අත්තකින් වුනත් ෂේප් කරගන්නට පුළුවන.

ලොකු කුණාටු ද භූමිකම්පා ද මෙහි නැත.ඒ නිසා යම්තම් වැස්සට අව්වට ආවරණය වී සිටින්නට පැල් කොටයක් තිබුණොත් ඇති ය.

කුඹුරෙන් ලැබෙන හාල් ද වත්තෙන් ලැබෙන පොල් ද තිබේ නම් කඩෙන් ගන්නට ඇත්තේ තව පොඩි අඩුම කුඩුම ටිකක් පමණ ය. සමට යටින් ඝන තෙල් තට්ටු අවශ්‍ය වන්නේ සීත රටවල මිනිසුන්ට ය. ඒ සඳහා උන් මස් මාංශ අනුභව කළ යුතු ය. අපට එවැන්නක් අවශ්‍ය නැත. ඒ නිසා දිවට ප්‍රශ්නයක් නැත්නම් නිර්මාංශික ආහාර වේලක් වුව සෑහෙන්නේ ය.මේ නම් ඉපදීමට වටිනා පරාදීසයක් ම ය.

හොඳට නරකට දෙකට ම බොහෝ විට බලපාන්නේ එක ම දේ ය. මේ ලැබුණු සියල්ල අපේ වාසනාව ය.මේ තරම් ලෙහෙසියෙන් සියල්ල ලබා ගන්නට ලැබීම අනෙත් අතට අපට ඇති අවාසනාව ය. ලැබීම අවාසනාවක් වෙන්නේ කෙසේදැයි පැහැදිලි නැති නිසා ම විමසිය යුතු ය.

ඕනෑ කරන දේ අල්ප වීම නිසා ද එය පවා වැඩි මහන්සියක් නැතිව ම ලැබීම නිසා ද අපට ඔහේ ඉන්නට පුළුවන.වැඩි කලබලයක් නැතිව විටක් හපා ගෙන දිග නින්දක් ගෙන ජීවත් වෙන්නට පුළුවන. කිතුලක් මැද ගත්තහම නිදා ගන්නට වැඩි කලබලයක් කරන්නට වෙන්නේ ද නැත. ඕනෑම තැනක වැටිලා නිදා ගන්නට පුළුවන. බල්ලෙක් සමග වුව නිදි යහන හෝ පැදුරු කඩමාල්ල බෙදා ගැනීමට එහෙම වෙලාවට පුළුවන.අප ගත කරමින් සිටියේ එවැනි බොරු ෂෝක් නැති සරල දිවි පෙවෙතකි.

සුද්දා ඇවිත් මේ නිස්කලංක ජීවිතය වෙනස් කර දැම්මේ ය. අපට දහසක් ඕනෑ නැති මල ඉලව් පුරුදු කළේ ය. දැන් අප විඳවන්නේ ඒ අපලයේ ප්‍රතිඵල යයි අපේ මිනිසුන් සිතන්නේ ඒ නිසා ය.

සුද්දා නාවත් මේ සරල ජීවිතය අපට එපා වෙන්නට ඉඩ තිබුනේ ය. මිනිසුන් වුණාහම අභියෝග ගන්නටත් හිතේ කොණක තණ්හාවක් තිබේ. ත්‍රාසය භුක්ති විඳීමට කැමැත්තක් තිබේ. වෙනස් වන්නට වුවමනාවක් තිබේ. නව දෑ අත්හදා බලන්නට, නොගිය වෙනත් ඉසව්වලට පියමං කරන්නට හිතක් පහළ වේ.එසේ වුව ද සන්සුන් ජීවිතයක් තිබෙන තාක් ඒ පැත්ත මතු කර ගැනීමට අපට ඇති අභ්‍යන්තර පෙළඹවීම අවම ය.

අපේ ලැබීම හරහට හිටීම

ඒ නිසා වෙනත් රටවල් තරම් වේගයෙන් අප රටේ වර්ධනයක් ඇති නොවූයේ ය. වෙනසක් ඇති නොවූයේ ය. වෙනස් වන්නට එහෙමට නිමිත්තක් නැති කල එය මන්දගාමී විම ස්වභාවික ය. අපේ ලැබීම අපට හරහට හිටියේ ඒ විදියට ය.

මේ වන විට අප ඉන්නේ තැන් දෙකක අපේ කකුල් දෙක තබා ගෙන ය.එකක් අපේ සරල දිවි පෙවෙත ය.දෙවැන්න සුද්දා හඳුන්වා දුන් නව ජීවිතය ය.අපේ ප්‍රශ්නය අපට රැවුලත් කැඳත් දෙකම වුවමනා වීම ය. සුද්දාගේ ජීවිතයට අවශ්‍ය අඩුම කුඩුම- සමාර්ට් ෆෝන් එකේ සිට මෝටර් රථය දක්වා සියල්ල- අපට ඕනෑ ය. අප කලින් ගත කළ සරල දිවි පෙවෙත ද ඕනෑ ය. මේ දෙකම එකවර ගැනීම අමාරු යැයි කීවාට අපට එහෙම බැරි ය. එය කොහොම හරි කරගන්නට ඕනෑ ය.

එකිනෙකට නොපෑහෙන මේ දෙබිඩි වුවමනාව අපේ ජන ජීවිතය වෙලා ගෙන අවසන් ය.

සරල දිවි පෙවෙතක් ගත කරන ගමන් ස්මාර්ට් ෆෝන් ගන්න එකත් ඒවා නඩත්තු කරන එකත් අමාරු ය. ඉතින් අපි ලස්සණ ක්‍රම වේදයක් හදා ගෙන සිටිමු. ඒ අප රටේ දිවි පෙවෙත වෙනස් නොකර ගෙනියන්නට ය. ඒ අතරේ පිටරට පැන කීයක් හරි හොයා ගෙන අවශ්‍ය අඩුම කුඩුම මිලදී ගැනීම ය. මේ නිසා අපේ රටේ වැඩ කරන ජනගහණයෙන් සියයට විස්සක් ඉන්නේ එලියේ ය. ඒ කියන්නේ රටින් පිට ය. නිවාඩුවට ඇවිල්ලා යන විට සරල දිවි පෙවෙත මතක් කර ගෙන යෑ හැකි ය.එය විඳ යා හැකි ය.දැන් හරි ය.ඒ රැවුලත් කැඳත් දෙකම ලබා ගත හැකි ක්‍රමයක් තිබෙන බැවිනි.

එහෙත් අවසාන ප්‍රතිඵලය රට එක තැන පල් වීම ය. වෙනත් රටවල් අප පසු කර වේගයෙන් ඉදිරියට ඇදී යෑම ය.රට තුළ ඉතිරි වන අය පිටරට පැන ගන්නට බැරි අය පැන ගිය අය දෙස බලා හීල්ලීම ය. මෑතක දී සරසවියක් විසින් කරන ලද පර්යේෂණයකින් සොයා ගෙන තිබුණේ අපේ රටේ තරුණ තරුණියන් (වයස 18- 25)ගෙන් 60% කගේ අපේක්ෂාව හොඳින් හෝ නරකින් වෙන රටකට පැන ගැනීම බව ය.

ඒ කියන්නේ සරල දිවි පෙවෙත පරදා සුද්දා හඳුන්වා දුන් ජීවිතය දිනමින් තිබෙන බව ය. පුළු පුළුවන් අය රැවුල පැත්තකට දා කැඳ තෝරාගනිමින් ඉන්නා බව ය.

එහෙත් තවමත් රැවුලේ පුරාජේරුව අසන්නට ලැබේ. ඒ කියන්නේ හෙට කැඳ බීම සඳහා රැවුල කැපීමට සූදානම් අය ද අද රැවුලේ අගය කියමින් පසු වන බව ය. කැඳ බීම සඳහා රැවුල කපා ගත් අය පවා රැවුල නැවත වවන්නට අදහසක් නැතත් තමන් කපා ගත් ඒ රැවුල තවදුරටත් වර්ණනා කරමින් ඉන්නා බව ය.

අපේ ජීවිතයේ දෙබිඩි ස්වභාවය පෙනෙන්නේ මේ ආර්ථික ක්‍රියාමාර්ගයන් තුළ පමණක් නොවේ. ජන ජීවිතයේ සියලු පැතිකඩ තුළ එය නිරාවරණය වන්නේ ය.

අපේ මිනිසුන් ගිය තැනක තව මිනිහෙකුට යන්නට ඉඩ සලසා එන්නේ නැත.බොහෝ සුන්දර දිය ඇලි අසල දිය පහරකට බැස්සොත් කකුළ කැපෙන්නේ ය. ඒ කලින් ආ අය කුඩු කර ගිය බෝතල් කෑලිවලට කැපිලා ය.හැබැයි එසේ හැසිරෙන බොහෝ අය කාටත් පෙනෙන්නට සෙසු මිනිසුන්ට මෛත්‍රිය පතුරුවන ශ්‍රද්ධාවත් උපාසක මහත්තුරු නෝනලා ය. පහුගිය පෝයට සිල් ගත්ත අය ය. ධර්ම දේශනා සංවිධානය කරන අය ය. මෛත්‍රී භාවනාව වඩන අය ය. ආගම අදහන මිනිසුන් වැඩියෙන්ම ඉන්නා රටවල් පහ අතරට අප ද එක් ව තිබෙන්නේ නිකම් ම නොවේ. මිනිසුන් අන් අයට පේන්න ආගම අදහන නිසා ය.

සදාචාරයේ තරම

සදාචාරය ඉහවහා ගිහින් තිබුණත් ගෑනියකුට පාරක තොටක තනි පංගලමේ යන්නට බැරි ය.පොදු ප්‍රවාහන සේවයක යන්නට බැරි ය. ඒ දහම් පාසල් අධ්‍යාපනය ලැබ වැඩිවියට පත් මිනිසුන්ගේ වැඩ ය.

විවාහ දිනයේ ඇස් රතු වන විහිළු කරමින් තරහ අවුස්සමින් කොහේදෝ නැති වාඩුවක් මනමාලයාගෙන් හෝ මනමාලියගෙන් ගන්නට හදන ඉරිසියා කාරයන් හිතවත්තු ලෙස පෙනී සිට ඇති බව මනාල යුවලට දැන ගන්නට ලැබේ.

තමන්ගේ පෙම්වතියට තුරුළු වන්නට සිපගන්නට අවසර නැති රටක බස් එකක යන ආගන්තුක කාන්තාවකට හේත්තු වන්නට ඉඩ තියෙන්නේ ය. පළමු කටයුත්තට එලිපිට විරුද්ධ වෙන මිනිස්සු දෙවන කටයුත්තේ දී තමන් ඒ බවක් නුදුටුවා සේ අහක බලා සිටිති.

බොහෝ සදාචාරවත් ගෙවල්වල පුතාට හොරෙන් තාත්තාත් තාත්තාට හොරෙන් පුතාත් බොන නිසා දෙදෙනාගේම ගෞරවය ද රැකී දෙන්නාට ම සූර් වෙන්නට අවස්ථාව ද සැලසී තිබේ. වැඩියෙන්ම මධ්‍යසාර භාවිතා කරන රටක් ලෙස අප නම් ලැබුවේ වරක් දෙවරක් නොවේ. ඒ වුණත් අප පෝයට බාර් අරින්න ඉඩ දෙන්නේ නැතැයි කියා සැනසෙන්නෙමු.

පාරක වාහනයක් එලවන සමහරු එලවන්නේ මුළු පාරම බද්දට ගත්තාක් සේ සලකා ය.පිටිපස්සෙන් යන එකාට ඉස්සර කරන්නට බැරි ලෙස යන ගමන් ඉතාම හෙමින් වාහන එලවීමට ඔවුන් දක්ෂ ය. මං තීරු දෙකක් තිබුණොත් යන්නේ දෙකම අල්ලා ගෙන ය. බැරිවෙලාවත් පිටිපස්සෙන් යන එකා ඉස්සර කළොත් යන බිය ඇති ව ය. එහෙම කරන්නට දෙන්නට බැරි ය. අනෙකා ද මා තරමට හෙමින් යා යුතු ය.බොහෝ පාරවල කරත්ත යන වේගයටවත් වාහන නොයෑමට එක් හේතුවක් මේ ගොළුබෙලි ධාවකයන් ය.

දුකට පත් මිනිසෙකුට අත දෙන්නට ඉදිරිපත් වන මිනිසුන් අපේ රටේ බොහෝ ය.ඒ අත ම ඉහළට යන එකා බිම ම රඳවා ගැනීම සඳහා කකුලෙන් ඇදීමට ද යෙදවේ. කෙනෙක් දියුණුවේ ඉහළට යනවා බලා හිටින්නට බැරි අය කරන්නේ පෙත්සම් ගැහිල්ල ය. කටකතා පතුරුවා හැරීම ය. ආගමික සංකේත ඇඳුම් පැළඳුම්වල යෙදීම ද සිය ශාස්තෘන්වරුන්ගේ රූපයට සමාන රූපයක් ඇඟේ කොටා ගෙන තිබීම ද මල පනින්නට හේතුවක් වන මේ රටේ වැසියන්ට, පූජකවරයෙකු චීවරය දරමින් ලෝගුව දරමින් කුණුහරුප කීම අමතක කර දැමිය යුතු සුළු කාරණයක්ව තිබෙන්නේ ද මේ ආකාරයට ම ය.

විලම්භීත

හරකුන්ට බල්ලන්ට මෛත්‍රීය කරන මිනිස්සු තමන්ගේ අසල්වාසියාට වෛර කරන්නෝ ය. අන්‍ය ආගමිකයන්ට අන්‍ය ජාතිකයන්ට වෛර කරන්නෝ ය. අන්‍ය කුලවල අය සමාන මිනිසුන් ලෙස සැලකීම පිළිකෙව් කරන්නෝ ය. මේක නම් හරකුන්ට ම ගිය රටක් යයි මිනිසුන්ට ඉබේ ම කියවෙන්නේ මේ විලම්භීත දකින විට ය.

අද ආණ්ඩුව කරවන නායකයාට බණින දේශපාලනඥයා හෙට පිල් මාරු කොට ඒ කටින්ම එම නායකයාගේ ගුණ වයන්නේ ය. අනිද්දා නැවත පිල් මාරු කළොත් නැවතත් අර පරණ බැණුම් අසන්නට අපට වරම් ලැබෙන්නේ ය. ඒ සියල්ලට අත්පුඩි ගසන්නට දෙපිලේම මිනිස්සු ද සිටිති. කොතෙක් කරණම් ගැහුවත් මනාපය දෙන්නට මිනිස්සු ද සිටිති. මේ පනින රිලවු ඊළඟ ඡන්දයේ වැඩිම මනාප ද ලබා ගනිති.

මේ සදාචාරවත් රටේ මිනීමැරුම් හොරකම් තක්කඩි කම් කළ දේශපාලනඥයන් වැඩි ම මනාපයෙන් පාර්ලිමේන්තුවට යැවෙන්නේ ඇතැම් විට චෝදනා ලැබ උන් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබිය දී ම ය. මේ සියල්ල බැලූ විට පිළිකුල් භාවනාව වඩන්නට මළ මිනියක් හෝ ඇට සැකිල්ලක් ඕනෑ නැත. රටේ සිදු වන දේ බැලුවහම පිළිකුල ඉබේ ම වැඩෙන්නේ ය.

අපේ සිහින ජීවිතය මීට සපුරා වෙනස් ය. මිනිස්සු කියන දේ කරන අතර කරන දේ කියති. එකිනෙකාට ගරු කරති. සවන් දෙති. එකිනෙකාගේ වුවමනාවන්ට සංවේදී වෙති. තමන්ගේ ජයග්‍රහණයට කැප වෙන අතරේ අනෙකාගේ ජය ද පතති. සැනසුම වගේ ම ගතිකත්වය ද ඔවුහු අගයති. ස්ථාවරත්වය වගේ ම වෙනස ද අගයති. සහයෝගය තරමට තරගය ද අගයති.

ආගම ධර්මය මල් පුදා සුවඳ දුම් අල්ලා පහන් පත්තු කර පුදන්නට නොව ජීවිතය සාර්ථක කරගන්නට යොදා ගනිති. ප්‍රශ්න කරන්නේ ආගමික සංකේත පීචං කිරීම ගැන නොව යුක්ති යුක්ත ආගමික ඉගැන්වීම් පැහැර හැරීම පිළිබඳව ය. බුදුන්ගේ රූපය පච්ච කොටා ගෙන ගියාට ප්‍රශ්නයක් මතු නොකරන නමුත් සිවුර දරා ගෙන මැරකම් කිරීම ප්‍රශ්න කෙරේ.

ඔවුන් නව දේ ඉගෙනීමට සූදානම් ය. ඒ සඳහා කැප වීමට සූදානම් ය.පැරණි යල් පැන ගිය දේ ප්‍රශ්න කිරීමට සූදානම් ය.පැරණි වැදගත් දේ රැක ගැනීමට සූදානම් ය.

ඔවුන් මහන්සි වීමට සූදානම් ය.මහන්සි වී වැඩ කිරීමට සූදානම් ය. කැප වි වැඩ කිරීමට සූදානම් ය.ඒ හරහා සිය කුසලතා වර්ධනය කර ගැනීමට සූදානම් ය. මුදල් ලබා ගත යුත්තේ හොර මැරකමින් නොව වංචාවෙන් නොව සිය කුසලතා යොදා ගැනීමෙන් නව දේ නිපදවීම හරහා බව මිනිස්සු තදින්ම විශ්වාස කරති.

මැරකමට, කපටිකමට මනාප නෑ

මැරකම වංචාව කපටිකම බොරුව පිළිකෙව් කෙරේ. එවැනි මිනිසුන්ට සමාවක් නොලැබේ. මනාප නොලැබේ.එසේ හැසිරෙන්නේ තමන්ගේ කෙනෙකු වුව ද එවැන්නෙකු වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටී.

උත්සවයක දී හෝ විශේෂ අවස්ථාවක දී මත්පැන් පානය කළ ද ඒ පාලනයක් සහිතව ය. වැඩි පුර මත්පැන් බීම වීරකමක් ලෙස නොසැලකේ.මෝඩකමක් හැටියට සැලකේ. තමාගේ පෙම්වතිය හෝ පෙම්වතා සිප ගැනීමට තහංචියක් මිනිසුන්ට නැත.එහෙත් කාන්තාවන්ට අඩම්තේට්ටම් කිරීම සමාජයේ පිළිකුලට හේතු වේ.

මිනිසුන් අවමානයට හෝ අපහසුවට පත් කොට විනෝද වන මිනිසුන් නැත.

යන තැන පිරිසිදුව තබා ඒමට මිනිසුන් උනන්දු ය. වමනේ යෑමෙන් තොරව වැසිකිළියකට ගොස් නැවත පැමිණිය හැකි ය. සාලය තරමට ම කක්කුස්සිය ද කුස්සිය ද පිරිසිදු ය. පෙර අපරදිග වඩා දියුණු අගයන් එක් කොට හදා ගන්නා ලද ආචාර ධර්ම පද්ධතියකට ජනයා උරුම කම් කියති. මිනිසුන්ගේ කුල වතගොත ජාතිය ආගම නොසලකා සැමට ගෞරව කිරීමට සැදී පැහැදී සිටින මිනිසුන්ගෙන් සමාජය පිරී තිබේ.

ගමේ සැනසුම පමණක් නොව නගරයේ විවිධත්වය ද ඔවුන්ගේ අගැයීමට ලක් වේ. දියුණුව හා සැප පහසුව, සැනසුම හා සරල බව තරමට ම ඔවුහු අගය කරති. සාමය ඇත්තේ සෙවිලි කළ පිදුරුවල හෝ පැදුරු කඩමාළුවල නොව අපේ සිත් තුළ බව විශ්වාස කෙරේ. ඒ නිසා පිදුරු ඉවත් කොට උළු හෙවිල්ලා ගැනීමට හෝ පැදුරු ඉවත් කර සුවපහසු ඇඳක් ලබා ගැනීම ගැන හෝ දෙවරක් සිතන්නට මිනිසුන්ට සිදු වන්නේ නැත.

එහෙව් රටකට මේ දේශය අවදිවනු දැකීම මේ සිහින දකින්නාගේ අභිලාෂය ය.

නිශාන්ත කමලදාස


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...