මම දරුවන්ගේ මනස පෝෂණය කරනවා | දිනමිණ

මම දරුවන්ගේ මනස පෝෂණය කරනවා

නාලක ස්වර්ණතිලක

අප රට තුළ පවතින කලා මාධ්‍ය හා ජනමාධ්‍ය බොහොමයක් ආමන්ත්‍රණය කරන්නෙ තරුණ පරපුරට හා මධ්‍යම, වැඩිහිටි පරපුරටයි. ළමා පරපුරට කලාව තුළින් ආමන්ත්‍රණය කරන නිර්මාණ ශිල්පීන් ඇත්නම් ඒ අතළොස්සක් පමණයි. ඒ පිරිස අතර ළමයා රටේ මිණිමුතු සේ සලකා ළමයින් වෙනුවෙන්ම තම නිර්මාණ කරන සොඳුරු හදවතක් ඇති ප්‍රතිභා පූර්ණ කලාකරුවකු අපට හමු වුණා. ජනමාධ්‍යවේදියෙක් වශයෙන් ක්ෂේත්‍රයේ මංපෙත් විවර කරගත් ඔහු පසුව ළමා පරපුර වෙනුවෙන් තම දක්ෂතා කැප කළා. මේ ඔහු ගැනයි කතාබහ. හේ නමින් නාලක ස්වර්ණතිලකය.

1998 වසරේ රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදියෙක් විදියට වසරක පමණ කාලයක් සේවය කළ ඔහු, පසුව ලක්හඬ ගුවන්විදුලියට සම්බන්ධ වුණා. T.N.L. රූපවාහිනිය සේවයේ ‘Always Braek Down’ හාස්‍යමය දේශපාලන ‘පපට්’(puppet) වැඩසටහනේ සම්බන්ධීකරණ (Coordination) ශිල්පියා විදියටත් කටයුතු කළා. නාලකට ‘ලකහඬ’ ගුවන් විදුලියේ සේවය කරන්න වු‍ණේ ප්‍රවෘත්ති අංශයේමයි. ඒ අතරතුර නිවේදකයෙක් විදියටත් කටයුතු කළා. වැඩසටහන් නිෂ්පාදකවරයෙක් වශයෙනුත් ඔහු සේවාව ඉටු කළා. ඔය අතරේ තමයි ‘ලක්හඬ’ ගුවන් විදුලිය හරහා ළමා වැඩසටහන් ඉදිරිපත් කරන්න අවස්ථාව උදා වුණේ. “ශිල්ප යාත්‍රා” නමින් ඇරඹූ මේ ළමා වැඩසටහනට දිවයිනේ පාසල් 50 ක පමණ දක්ෂතා තිබෙන ළමුන් පිරිසක් එකතු කර මාධ්‍ය සංසදයක් ස්ථාපිත කළේත් නාලකගේ නිර්මාණශීලිත්වයෙන්. මාධ්‍ය ආයතනයක් මඟින් පාසල් ළමා මාධ්‍ය සංසදයක් ආරම්භ කළේ පළමු වතාවටයි. එම සංසදයේ දරුවන් විසින්ම ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචනා කර ඔවුන් විසින්ම එය ඉදිරිපත් කිරීම මෙහි විශේෂත්වයක් වුණා. නාලකට අවශ්‍යවී ති‍බුණේ දරුවන් අතර සැඟවී තිබෙන දක්ෂතා ඔප මට්ටම් කර ගැනීමත් කලාව අගයන කලාකාමී සිත් ඇති පිරිසක් අනාගතයට උරුම කිරීමයි.

2000 වසරෙදි නාලක තවත් අලුත් වැඩකට අත ගැසුවා. ඒ තමයි ‘හරි පුදුම ඉස්කෝලෙ’ නමින් තවත් ගුවන් විදුලි ළමා නාට්‍යයක් නිර්මාණය කිරීම. ඒක ජපන් කතාවක්. සිංහලට පරිවර්තනය කළේ ලීලානන්ද ගමආරච්චියි. එම වැඩසටහනට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. ඒ නිසාම නාලක ඔහුගෙ දෙවන ගුවන් විදුලි ළමා නාට්‍ය නිර්මාණය කළා. ඒ ‘දඟ මල්ල’ කියන ප්‍රසාංගික ළමා නාට්‍යයි. එහි විශේෂත්වයක් වුණේ අනිත් ගුවන් විදුලි නාට්‍යවලට වඩා වෙනස් ආරක එකක් වූ නිසයි. නාට්‍ය විකාශයවන අතරතුර මේ නාට්‍යයෙන් සමාජයට ගතයුත්තේ කුමක්ද යන කාරණය අත්තනායක එම්.හේරත් මහතා සමඟ විචාරාත්මක සංවාදයක් ඇතිවෙනවා. නැවතත් නාට්‍ය විකාශය වෙනවා.

ඒ ක්‍රමය ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසයට නැවුම් බවක් ගෙනාවා. ඒ නිසාම ‘දඟමල්ල’ නාට්‍යමය වැඩසටහන ළමා පරපුර අතර පමණක් නොවෙයි, වැඩිහිටියන් අතරත් ජනප්‍රිය වුණා. ඔවුන් ඒ වෙනස් වූ හරවත් අත්දැකීමට බෙහෙවින් කැමති වුණා. මෙතනින් ඉදිරියට තමයි නාලක ස්වර්ණතිලක නමැත්තාගේ නිර්මාණකරණයේ ස්වර්ණමය යුගය ඇරඹෙන්නේ, ඒ අත්දැකීම් ඔහු ආවර්ජනය කරන්නේ මෙහෙමයි.

‘2003 වසරෙදි මට ස්වර්ණවාහිනි රූපවාහිනී නාලිකාවේ Live at 8 ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ වී වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එහි සේවය කරන අතරතුර තමයි මම මගේ පළමු ළමා වේදිකා නාට්‍ය නිර්මාණය ක‍ළේ. ‘මම වෙනම මලක්’ කියන ළමා වේදිකා නාට්‍යයේ විශේෂත්වය වුණේ මෙම නාට්‍යයේ රංගන දායකත්වය සැපයූයේ ළමුන් විසින්ම වීම. මොකද ළමා නාට්‍ය කියල වෙනත් වේදිකා නාට්‍යවල රඟපෑවේ වැඩිහිටි අය, නැත්නම් තරුණ අය. ‘මම වෙනම මලක්’ නාට්‍ය ළමුන් විසින්ම ළමුන්ට ඉදිරිපත් කළා. ළමා නළු නිළියන් යොදා නාට්‍යයක් පවත්වාගෙන යාම හරිම අපහසු වැඩක්. මොකද ළමුන් වසර තුන හතරක් වෙනකොට ශාරීරිකව විශාල වෙනසකට පත්වෙන නිසා. ඒත් එම නාට්‍යයේ පළමු කණ්ඩායමත් එක්ක දර්ශන 40ක් පමණ පැවැත්වූවා.

2006 වනවිට ස්වර්ණවාහිනි රූපවාහිනි සේවයේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා විදියට වැඩ ක‍ළේ එච්.ඩී.ප්‍රේමරත්න මහතායි.එතුමා මගේ නාට්‍යයේ කොටසක් නරඹලා ස්වර්ණවාහිනියෙ ළමා ටෙලි නාට්‍යයක් කරන්න අවස්ථාව දුන්නා. ඒ අනුව මගේ ‘දඟමල්ල’ ගුවන් විදුලි නාට්‍ය ටෙලි නාට්‍යයක් විදියට නිර්මාණය කර ප්‍රදර්ශනය කළා. ‘අඹ යහළුවෝ’ මා ටෙලි නාට්‍යයට පසුව ජනප්‍රිය වුණ ළමා ටෙලි නාට්‍ය තමයි ‘දඟමල්ල’. ඒ නිසාම ‘දඟමල්ල’ ටෙලි නාට්‍ය කෙටි කාලයක් තුළ දෙතුන් වතාවක්ම නැවත විකාශය වුණා.

2007 වසර වන විට ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළේ හේමනලීන් කරුණාරත්න මහතායි. එතුමාගේ මඟ පෙන්වීම යටතේ මට තවත් ළමා ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා. ඒ අනුව තමයි ‘ඈන්’ ළමා ටෙලි නාට්‍ය බිහිවුණේ. ඒකත් සියලු වයස් කාණ්ඩවල පිරිස් අතර ජනප්‍රිය වුණා.

2007 අගදී මට ස්වර්ණවාහිනියෙ Live at 8 ප්‍රවෘත්ති සංස්කාරක වශයෙන් කටයුතු කරන්න වුණ නිසා වසර තුනක පමණ කාලයක් මට නාට්‍ය හා ටෙලි නාට්‍ය සේවයෙන් ඈත්වෙලා ඉන්න වුණා.

2011 වසරෙදි මම නැවතත් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරනවා. ඒ මගේ පළමු වේදිකා නාට්‍යය වූ ‘මම වෙනම ‍මලක්’ නාට්‍යමයි. එහි දෙවන කණ්ඩායමත් සමඟ දර්ශන වාර 50ක් ප්‍රදර්ශනය කළා. එවරනම් මම ළමුන් වගේම ප්‍රවීණ ශිල්පීන් කීප දෙනකුත් සම්බන්ධ කර ගත්තා. 2012 දී ‘දඟමල්ල’ නාට්‍යයේ දෙවැනි කණ්ඩායම යොදාගෙන වසර තුනක් පමණ කාලයක් වේදිකා ගත කළා.

ඊට පස්සෙ 2017 අගෝස්තු 16 වැනිදා මගේ අලුත්ම වේදිකා ළමානාට්‍ය ප්‍රදර්ශනය කරන්න ආරම්භ කළා. ඒක තමයි ‘පොත් ගුල්ලී’ නාට්‍ය. මේ නාට්‍යයේ ප්‍රවීණ රංගන ශිල්පීන්වන කුසුම් රේණු, ප්‍රියංකර රත්නායක, අමා විජේසේකර, සංකාරා විජේරත්න ඇතුළු ‘වයිට්ලීෆ්’ ප්‍රසංග කලා ඇකඩමියේ ළමා ශිල්පීන් 30 පමණ චරිත නිරූපණය කරනවා. සංගීත නිර්මාණය කරන්නෙ චින්තක ජයකොඩි. වේදිකා පසුතල හා රංග භාණ්ඩ නිර්මාණයෙන් චතුර දසනායක දායක වෙනවා. ‘පොත් ගුල්ලි’ හි ප්‍රධාන සංවිධාන කටයුතු කරන්නෙ ජූඩ් ශ්‍රීමාල් විසිනුයි.

නාලක ස්වර්ණතිලක තම මාධ්‍ය හා කලා දිවියේ අතීතාවර්ජනය එසේ සිදු කරද්දී මම ඔහුගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇසුවා. ඒ තමයි ඔහු කලා කුසලතාව තුළින් ළමාපරපුර පමණක් ආමන්ත්‍රණය කරන නිර්මාණ බිහි කරන්නේ ඇයි ද යන වග. ඒකට ඔහුගෙ පිළිතුර වුණේ...

“මම විශ්වාස කරනවා ලංකාව බොහොම සුන්දර රටක් විදියට. ඒ වගේම අසුන්දර අත්දැකීම් ලබන රටක් විදියටත් දකිනවා. ඒ තත්ත්වයට කාලයක් වකවානුවක් නැහැ. හැම කාලයක්ම එහෙම තමයි ගෙවුණෙ. ඒකට ප්‍රධාන හේතුව තමයි රසවින්දනය නොමැතිකමත්, පවතින අධ්‍යාපන රටාවත්. රටේ සාමය, සමගිය, සහජීවනය හා සංවර්ධනයට මොන ක්‍රම යෙදුවත් අර කාරණා දෙක වෙනස් නොකර ප්‍රතිඵලයක් ගන්න බැහැ. අඩුම තරමේ අද ඉඳලවත් ළමා මනසට කලාව හා රසවින්දනයත්, ආත්මාර්ථකාමීත්වය වර්ධනය වන පවතින අධ්‍යාපන රටාව වෙනස් කළොත් තව වසර 20කින්වත් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වේවි.

ඒ නිසා තමයි මම මගේ නිර්මාණවලින් ළමා මනසට කලා රසවින්දනය,නායකත්වය, පෞර්ෂය වර්ධනය වන ආකාරයේ නිර්මාණ බිහි කරන්නෙ. මොකද කලාකරුවන්ට පුළුවන් සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න. මගේ නිර්මාණ හරහා අඩු තරමින් සුළු පිරිසක් හරි යහපත් අන්දමට ක්‍රියාත්මක වුණොත් ඒක මට විශාල සතුටක්. මොකද යමක් රස විඳින්න පුළුවන් සං‍වේදී හදවත් ඇත්තන්ට විතරයි. එවැනි අය තුළින් සමාජ දූෂණ, ආසාධාරණ, ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන්නෙ නැහැ. සං‍වේදී පුද්ගලයන් අවංකයි. නිහතමානීයි. අහිංසකයි. එවැනි පිරිසක් තුළින් පිරී ඉතිරෙන රටක් සැබවින්ම සාමය, සහජීවනය හා සමෘද්ධිය නඟා සිටිනවා ඒ කාන්තයි.”

ඔහු විවේචන හා විශ්ලේෂණ සමඟින් තම අදහස් ප්‍රකාශ කළේ හැඟීම්බරවයි. නාලක ඔහුගේ යුතුකම ඔහුට හැකි ආකාරයෙන් ඉටු කළ නිසාම හොඳ අගය කිරීමකටත් ඔහුගේ නිර්මාණ පාත්‍ර වුණා.

“මම නිර්මාණ කරන්නේ සම්මාන බලාගෙනනම් නෙවෙයි. ඒත් මම මගේ නාට්‍ය දෙකම ‘දඟමල්ල’ හා ‘මම වෙනම මලක්’ නාට්‍ය දෙක රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලට ඉදිරිපත් කළා. ඒ තවත් වරක් යම් පිරිසකට මේ නාට්‍ය දෙක දැක බලාගන්න අවස්ථාවක් ලැබෙනව කියන අරමුණ ඇතිව. ඒත් මගේ නාට්‍ය දෙකටම රාජ්‍ය සම්මාන ලැබුණා. ඒ නාට්‍ය දෙකේ ප්‍රධාන ළමා නිළියන් දෙපළට හොඳම නිළිය සහ අනිත් නිළියකට හොඳම සහය නිළියට හිමි සම්මාන ලැබුණා. නටාෂා පෙරේරා, තිසුරි හීන්තිලක හා නර්මදා තමයි ඒ සම්මාන ලබා ගත්තේ. ඊට අමතරව නාට්‍ය දෙකේ විශේෂාංග හා ඉදිරිපත් කළ ශිල්පීන් ඇගයීමකටත් ලක් වුණා. තවත් විශේෂ සිදුවීමක් තමයි 2003 වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හොඳම නිළිය හා 2007 වසරේ පළමු රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම ළමා නිළිය උනෙත් නටාෂා පෙරේරා දියණිය. එකම නිළිය වේදිකා හා ටෙලි සම්මානය දිනාගත් ප්‍රථම අවස්ථාව ඒක.”

ළමා නිර්මාණකරණය තුළින් රාජ්‍ය සම්මාන දිනාගත් නාලක ළඟ එන ලෝක ළමාදිනය වෙනුවෙන් අලුත් වැඩක් කරන්න හදන බවත් ආරංචි වූ නිසා ඔහුගෙන් ඒ ගැනත් අහන්න හිතුනා.

“කොළඹ තට්ටු නිවාසවල හිරවෙලා කොටුවෙලා ඉන්න ළමයි පිරිස් සහභාගී කරගෙන ඔක්තෝබර් 01 වෙනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ විවිධ ප්‍රසංගයක් පවත්වන්න සූදානමින් ඉන්නවා. ඒක එක්තරා ආකාරයක දැවැන්ත ව්‍යාපෘතියක්. මේක සංවිධානය කරන්නෙ නාගරික සංවර්ධන අධිකාරියත් බස්නාහිර සංවර්ධන හා මෙගා පොලිස් අමාත්‍යාංශයත් එකතු වෙලා.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සංකල්පයක් අනුව තමයි කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් ඒකරාශී කරගෙන සියලු ජාති, ආගම්වල දරුවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මේ ප්‍රසංගයට සහභාගී කර ගන්නෙ. මේ වැඩසටහනේ කලා අංශය හා නායකත්ව පුහුණුව භාරව කටයුතු කරන්නෙ මමයි. හෙට ලොවට සාරවත් දරුවකු බිහි කරන දැවැන්ත වැඩසටහනේ එක් පියවරක් තමයි මේ ප්‍රසංගය. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි උත්සවය ආරම්භ වෙන්නෙ. මේකත් ළමා පරපුරට අලුත්ම අත්දැකීමක් වේවි. නාලකගේ සමාජ සේවා කටයුත්ත පිළිබඳ එසේ සිහිපත් කරද්දී ඔහුගේ අලුත්ම ළමා නාට්‍ය නිර්මාණය වන ‘පොත් ගුල්ලී’ ගැනත් කතා කරන්න හිතුණා.

“‍පොත් ගුල්ලි කියන්නෙ රෝබල් ඩාල් ඉංග්‍රීසි ජාතික ලේඛකයාගේ ‘මැටිල්ඩා’ කියන නව කතාවයි. එය සිනමාපටයක් ලෙසත් වේදිකා නාට්‍යයක් ලෙසත් නිර්මාණය වී තිබෙනවා. මටත් කලක ඉඳල ආශාවක් තිබුණ ‘මැටිල්ඩා’ තුළින් වේදිකා නාට්‍යයක් කරන්න. ඒ අනුව තමයි ‘පොත් ගුල්ලී’ හැදෙන්නෙ. පොත් කියවන්න ඉතාම ගිජු වූ දැරියක් කියවීම තුළින් දියුණු කරගත් පරිකල්පනය නිසා තමන්ට මුහුණ දීමට සිදුවන ගැටලු වලදී එය නිරාකරණය කරගන්නෙ කොහොමද? අන් පුද්ගලයන් ඇය දෙස බලන ආකාරය තමයි මෙහි තේමාව වෙලා තියෙන්නෙ. ඇත්තටම අද අප සමාජයේ දරුවො කියවීමට දක්වන්නෙ අලස කමක්. කියවීම තුළින් ලබන දැනුම ඉතා වටිනවා. ඒ පණිවුඩය තමයි ‘පොත් ගුල්ලී’ තුළින් කියවෙන්නෙ.”

‘පොත් ගුල්ලී’ ගෙන් පස්සෙ ඔහු මොනවද කරන්නෙ කියල ඇහුවම ඔහු දුන්නෙ අමුතුම උත්තරයක්.

“කීප දෙනෙක් මට කිව්වා ‘පොත් ගුල්ලී’ ටෙලි නාට්‍යයක් කරන්න කියල. ඒත් පවතින තත්ත්ය අනුව මට හිතාගන්න බැහැ මොන නාලිකාවද, මොන කාලයද ඒකට සුදුසු කියල. හැබැයි මෙගා රැල්ලට නම් මම කොහෙත්ම නතු වෙන්නෙ නැහැ. අපි බලමු හොඳ අවස්ථාවක් උදා වුණොත්...”

ඇත්තටම නාලකගෙ කතාවේ ඇත්තකුත් තියෙනවා කියල මටත් හිතුණා. දැන් තියෙන්නෙ හොඳ නිර්මාණ කරන රැල්ලක් නෙවෙයි. නිර්මාණ ඇදගෙන දුවන රැල්ලක්.

සටහන - නිශාන් මෙන්ඩිස්


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...