කතා නොකි­යන අකුරු | දිනමිණ

කතා නොකි­යන අකුරු

දසුනි හෙට්ටි­ආ­රච්චි

එයා ලියන කෙනෙක්. නොලියන කෙනෙක් වෙලා දැන් ටිකක් කල්. එහෙම කිව්වට එයා නොලියම ඉන්නෙ නෑ. ලියනවා. හැබැයි ටිකක් වෙනස් විදිහට. එයාගෙ ඉස්සර අකුරු දැන් එයා ලියන අකුරුවලට වැඩිය වෙනස්. ඉස්සර අකුරු හීනි තුඩු තියෙන කිනිසිපාරක් වගේ හදවත පසාරු කරගෙන ගියානම් දැන් ලියන අකුරු වෙඩරු ආලේප කරන පිහියකින් හදවත පිරිමදිනවා වගේ හැඟීමක් ඇති කරනවා. ඒ කියන්නෙ කලින් අකුරු සැරයි රහයි. දැන් අකුරු සුමුදුයි, අවර්ණයි, වැඩිය නොදැනෙනෙ සුළුයි.

එයාව මම මුලින්ම කියෙව්වෙ අවුරුදු ගාණකට කලින්. කෙටිම කෙටි කතා, අඩුවචනවලින් වැඩිපුර හැඟීම් අවුලවන කවි එයා ලියුවෙ මූණුපොතේ. හරිම ටික කාලෙකින් මම එයාගෙ වචනවලට රහ වැටුණා. කන්තෝරු ඉවරවෙලා ඇවිත් එයාගෙ අකුරු මූණු පොතේ හොයන තරමටම ඒ වශීවීම දුර ගියා. එයාට තිබුනෙ කසුනි, සදුනි, නයනි වගේ අපේ කාලෙ නම් වෙනුවට ටිකක් වෙනස් නමක් 'ඇඩෙලි'. ඉංග්‍රීසි පන්නෙ නමක් එක්ක එයා ලිව්වෙ කැන්බරා නගරෙ හිම වැටෙන්නෙ නැති සීත සෘතුව ගැන. ඉඳලා හිටලා දවසක කොළඹ නගරෙ කාෂ්ඨක අව්ව ගැනත් එයා අකුරු කළා. වැඩිය වැදගත් වුණේ එයා ඒ අකුරු හැම එකක්ම ලිව්වෙ හිතට දැනෙන හැඩේට. ඒ කවියෙ එහෙම නැත්නම් කතාවෙ කොතැනක හරි තමුන් ඉන්නවා කියලා කියවන කෙනාට දැනෙන විදිහට. ඒ නිසා එයා ලියපු හුඟාක් සටහන් මම මගේම කරගත්තා.

ඒත් මම කවදාවත් එයාව පෞද්ගලිකව අඳුරගන්න උත්සාහ කළේ නෑ. අකුරුවලට ආදරය කරන කෙනක් ලියන කෙනාට ආදරය කරන එක සාමාන්‍ය අත්දැකීමක් වුණත්, එයාගෙ අකුරු එයාට වැඩිය සුන්දර වෙන්න ඕනෙ කියලා මම විශ්වාස කරපු නිසා එයාගෙ අකුරුවලට විතරක් ආදරේ කරන්න මම ඒ වෙනකොට තීරණය කරලයි තිබුණෙ.

ඇඩෙලිගෙ සමහර වියමන් හරිම රැඩිකල්. මම එයාගෙ අකුරුවලට හදවතින්ම බැ‍ඳෙන්න එක හේතුවක් ඒ. ගැහැනු කෙනෙක්ගෙ අකුරු ඒ තරම් රළු වෙනවට අපේ සමාජෙ මිනිස්සු කැමති නෑ කියලා මම දැනගෙන හිටියා. ඒත් එයා දිගටම රළු, රවුම් අකුරුවලින් දැනෙන නොදැනෙන ගානට සමාජයේ සම්මත අසම්මත විනිවිද දැක්කා.

එක දවසක් හිටි හැටියෙම එයා අතුරුදන් වුණා. මූණු පොතේ ඊට පස්සෙ එයාගෙ අකුරු තිබුණෙ නෑ. ඇඩෙලිව නොදැන එයාගෙ අකුරු විතරක් අඳුනගෙන හිටපු එක ගැන මට දුක හිතුණා. මගේ ජීවිතේ ඇතුළෙත් සුළි කුනාටු හමපු කාලයක් හින්දා මට අැඩෙලි ගැන හොයන්න ඉස්පාසුවක් තිබුණෙ නෑ. එයාගෙ අකුරු මතක තිබුණත් කාලෙත් එක්ක එයාගෙ මතක මගේ හිතෙන් මැකිලා ගියා.

ළඟදි දවසක මම ආපහු කොහේදෝ තිබිලා එයාගෙ අකුරු දැක්කා. කොහේදෝ කිව්වට හිත් ගත්ත කවි පොඩි පත්තරෙන් කපලා අලවලා තිබුනු පරණ පොතක තිබිලා අැඩෙලිගෙ අකුරු ආයෙමත් මට මුණ ගැහුණා.

ඒ නින්ද යන්නෙ නැති හන්දා මුළු රෑම ඇහැඇරලා හිටපු දවසක. ඊට පස්සෙ මම එයා ගැන කවියක් ලියලා මූණු පොතේ ඇලෙව්වා. හිත කොනිත්තපු අය ගැන කවි ලියන්න මහන්සි වෙන්න ඕනේ නෑ. පෑනක් එක්කලා සුදු කොලයක් තිබුණාම අකුරු ඉබේම ගලනවා. ඇඩෙලි යන්නම ගිහින් හින්දා එයා කවදාවත් ඒ කවිය දකියි කියලා මම හිතුවෙ නෑ.

පහුවෙනිදා ඇඩෙලි මට පණිවිඩයක් තියලා තිබුණා. එයා කවිය කියවලා ඇඩුවා කියලත්, එයාට මාත් එක්ක කතා කරන්න පුළුවන්ද කියලත් එයා අහලා තිබුණා. ඊට පස්සෙ අපි කතා කළා.

ටික වෙලාවක් ගිහින් එයා ඇඩෙලි නෙමෙයි කියලා කිව්වා. එයාට තිබුණෙ නිර්මලා වගේ අපේ කාලේ තාලේ නමක්. එයා තාමත් ලියනවා කියලත් ඉස්සර අකුරුවලට වැඩිය දැන් අකුරු වෙනස් කියලත් එයා කිව්වා. නිර්මලා මූණු පොතේ ලියලා තිබුණු අකුරු හරි සුමුදුයි. කියෙව්වම රිදෙන්නෙ නෑ. ඇඩෙලි යන්නම ගිහින් කියලා මට තේරුණෙ අලුත් අකුරු කියෙව්වට පස්සෙ. ඊට පස්සෙ මගේ ඇස් යාන්තමට තෙත්වෙනවා මට දැනුණා.

ඇඩෙලි යන්නම ගිහින් නිර්මලා ආවෙ ඇයි?

"ගෑනු අපි සැර අකුරු ලියනවට ලෝකෙ මිනිස්සු කැමති නෑ. ඊටත් වැඩිය දුවලා දෙන්නට හොඳ නෑ. මං හිතන්නෙ මහත්තයා තේරුම් ගන්න එකකුත් නෑ. මම ඇඩෙලි කියලා එයා දන්නෙ නෑ. එයා මාව දන්නෙ නිර්මලා හැටියට විතරයි" ඒ නිර්මලාගෙ වචන.

මේ කතාව කියවලා නිර්මලා මාත් එක්ක තරහ වෙන එකක් නෑ. නම් ගම් මනඃකල්පිත හින්දා කවුරුවත් ඔයාව අඳුරගන්න එකක් නෑ. ඇරත් නිර්මලා වෙච්ච එකම ඇඩෙලි ඔයා නෙමෙයි.

ජේ.කේ රෝලිංග්, හැරී පෝටර් ලියුවෙත් පිරිමි නමකින්. ගෑනු අය වීර කතා ලියනවට පොඩි පිරිමි ළමයි කැමති වෙන එකක් නෑ කියලා එයාගෙ පළවෙනි ප්‍රකාශකයා කියලා තිබුණා. කොටින්ම ගැහැනු උදවියට වීර කතා ලියන්න බෑ.

සමහර වෙලාවට අකුරු ගොළු කරගත්තාම ගැහැනු උදවියට ජීවත් වෙන්න ලේසියි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...