අනුන්ගේ කුඹුරු හාන්නට අං තට්ටු­වක් දමා ගැනීම | දිනමිණ

අනුන්ගේ කුඹුරු හාන්නට අං තට්ටු­වක් දමා ගැනීම

හිමාලි එන්. ලියනගේ

ත්‍රස්තවාදයට රටක්, ජාතියක් හෝ ආගමක් නැත. ත්‍රස්තවාදයට ඇත්තේ රටක් ජාතියක් ආගමක් නැතිකමයි. විනාශයට, සංහාරයට ගිජුවූ, අපරාධකාරී පිරිසක් එකතුකර ගැනීමෙන් පහසුවෙන් ඕනෑම කෙනකුට විනාශකාරී කල්ලියක් සූදානම් කරගැනීමට අපහසුවක් නැත. එසේ කිරීමට ඔවුන් ඔසවන්නේ, සුදු කොඩියක්ද, කළු කොඩියක්ද; ඔවුන් ඇඳින්නේ පඬු පැහැ ලෝගුද, සුදු පැහැ ලෝගුද යන්නේ වෙනසක් නැත. පිරිසක් එකතුව අවි දරා, විනාශය කරන්නේ නම් ඔවුහූ අපරාධකාරී ත්‍රස්තවාදීන්ම වේ. මෙලොව කිසි කෙනෙක් මොනම ආගමක්, ජාතියක්, රටක් වෙනුවෙන් හිංසාවෙන් කිසිදු ජයක් ලබා නැත. අවි ගත් සියල්ලන් අවියෙන් නැසෙනු ඇත යන්න මෑත ඉතිහාසයේ සියලුම තැන්වලදී සනාථ විය. නමුත් අඥාන මිනිසුන්ව හරිහැටි නොතේරුම් ගත් ආගමික, ජාතික, දේශප්‍රේමික මුග්ධබවකින් ඉතා පහසුවෙන් නොමඟ යැවීමට හැකි බව සත්‍යකි.

මිනිසුන්ගේ අධ්‍යාත්මය ඉහළ තැනකට නංවමින්, මිනිසුන් අතර කරුණාව, දයාව, සාමය වර්ධනය කිරීම වෙනුවෙන් අප විසින් තනාගත්, විශේෂයෙන්ම ආගම යන සංකල්පය, අපවම පෙළීමට පාවිච්චි කළ හැකි දෙපැත්ත කැපෙන ආයුධයක් කරගැනීමට වංචාකාරී බලවතුන්ට ඉඩ ලබා දුන්නේ, තවමත් ඉඩ ලබාදෙන්නේ ගැල බැඳි ගොනුන් වැනි සිතන්නට නොදන්නා බහුතරයක් ඕනෑම සංස්කෘතියක, ඕනෑම රටක ඇති බැවිනි. කෙවිටෙන් තලමින් නොපෙනෙන, මරණින් මතුව යන තැනැක් ගැන කියමින් දක්කමින් අනුන්ගෙන් කොල්ලකාගෙන තමන්ගේ කරගත් කුඹුරු හාන්නට වංචාකාරී ආගමික බලවේග මිනිසුන් දක්කන බව සොයා බලා තේරුම් ගැනීමට හැකියාව ඇත්තේ කීයෙන් කී දෙනෙකුට ද? ආර්ථික, දේශපාලනික හේතු මත එකිනෙකා හා පරස්පර වීමට දෙරටකට ඉඩක් ඇති වීම හිතා ගැනීමට හැකි තත්වයක් වූවත්, එකම රටක, තමන් කාගේ කවුදැයි කියාවත් හරිහැටි නොදන්නා මිනිසුන්, ආගම වෙනුවෙන් එකිනෙකා කපා කොටා, මරා නොමරා පුළුස්සන්නේ තමන්ගේ පහත්, හීනමානී නොදියුණු ගතිය නිසා නොවේද?

අධ්‍යාත්මය දියුණු කරගැනීමට, මනුෂ්‍යත්වය වගා කිරීමට උපදෙස් දෙනවා වෙනුවට, කෙනෙකු අඳින පලඳින හැටි, කන බොන හැටි, යන එන හැටි, විවේචනය කරමින් මෝඩ බැතිමතුන්, සැදැහැවතුන්ගේ ආධාරවලින් ලාබ ලබන ආදායම් ඇති වංචාකාරී, ආගමික ස්ථාන පවත්වාගෙන යන කළුකඩ පූජක පිරිසකට අසුවන්නේ සාමාන්‍ය බුද්ධිය අඩු අය සහ වෙනත් කපටි අරමුණු ඇති අය පමණකි. ඔවුහු එකට එකතු වී සතුටෙන් සැදැහැ සිතින් දුකකින් ලබාගන්නේ යැයි කියනා, නො එසේ නම් වරක් පමණක් ලැබේ යැයි කියනා මනුෂ්‍යත්වය සැහැසි ලෙස විනාශ කර දමති. උම්බලකඩ කැබැල්ලක් සපන්නට විවර නොකරන ඔබේ මුව, වෙනත් ආගමක මනුෂ්‍යයකු විනාස කරන්නට එකඟ වීමට විවර වෙන්නේ කෙසේද? ඔබ උම්බලකඩ නොකන මුත් මිනිසුන් කන කෙනෙකි.

මා පෞද්ගලිකව ආගම හෙළා දකින්නකු නොවේ. කරුණාව, මෛත්‍රිය පෙරදැරි වූ බුදුන්ගේ වචනය, ප්‍රේමයම හදේ දැරූ කිතුනු වචනය, සාමකාමි අවනත බව දෙවියන්ගේ කැමැත්ත ලෙස දකිනා ඉස්ලාම් දැක්ම මට ප්‍රිය වේ. මේ සෑම දැක්මකම කරුණාව, දයාව, සාමය පණිවිඩය වේ නම්, ඒ ගැන නොසලකා ආගමේ නාමයෙන් යැයි කියා තක්කඩින් වැනි පූජකයන් මිනිසුන් අවුස්සා කලහ ඇති කරන්නේ, ඔවුන් වෙස්වලාගත් චණ්ඩින් නිසා වේ. මියන්මාරයේ (පැරණි බුරුමය) අහිංසක මුස්ලිම් මිනිසුන්, ගැහැනුන්, දරුවන් තලා පෙළා පුළුස්සා මරන්නට පඬු පැහැ ලෝගු දමා ගත් තක්කඩි හරකුන් වැනි මිනිසුන් දක්කති. ඒ ත්‍රස්තවාදයට ආගමක නමක් දෙති. අවබෝධයක් නැතිව රැලේ වැටෙනා තිරිසනුන් සේ අමනයන් ඒ වටා රොක් වෙති.

ඉස්ලාම් ආගමේ නාමයෙන් කියමින් කිසියම් කෙනකු ත්‍රස්තවාදීයකු වේ නම් ඔහුව හෝ ඇයව අප හෙලා දකින්නේ ත්‍රස්තවාදියකු ලෙස හඳුනාගෙන වේ. මෙලොව සෑම කොනකම ඉන්නා සෑම අහිංසක, නීති ගරුක මුසල්මානුවන් එම ත්‍රස්තවාදයට වගකිව යුතු නොවේ. එලෙසම බෞද්ධ යැයි කියා ලේබල් ගසා ගනිමින් පිළිකුල් සහගත හිංසාකාරී ත්‍රස්තවාදයක් ගෙනියන අපරාධකාරයන් අප හෙළාදැකිය යුතුය. ඔවුන්ට බුදු දහම ගැන අබමල් රේණුවක තරමින්වත් සබඳතාවක් නැත. ඔවුන් බුදුන්ගේ ධර්මය විනාස කිරීමට කිසියම් පිරිසක් විසින් කුලියට ගත් තක්කඩින් පිරිසකි.

මියන්මාරයේ සිට දැනට 160,000කට වඩා පිරිසක් ජීවිතය වෙනුවෙන් බංගලාදේශයට පලා ගොස් ඇත. ඉතා කුඩා රටක අවිගත් පිරිසක් මෙවැනි අපරාධයක් කරද්දී එක මොහොතින් ඔවුන් නවතා දැමීමට හැකි බලවත් රටවල් සිටිද්දීත් ඔවුන් ඒ නොකරන්නේ ඇයි? හිඟන්නාගේ තුවාලය සුව කිරීම හිඟන්නන් ලවා මුදල් එකතු කරගන්නා මුදලාලිලාගේ ක්‍රමය නොවේ. ආගමික ආරවුල, විසල් යුද්ධයකට වර්ධන වනු දැක්ම සමහරුන්ගේ පැතුම වේ. කොතෙක් කීවත් ඇති නොවන සත්‍ය වන්නේ නම් යුද්ධය කිහිප දෙනකුට ව්‍යාපාරයක්ම වන බවයි.

පර්සියානු/ආරාබි සම්භවයක් ඇති මිලියනයකටත් වඩා රෝහින්ග්‍යා ප්‍රජාව, මියැන්මාරයේම කොටසක්ව ඇත. ඔවුන්ගේ ආගම බෞද්ධ යැයි කියා ගන්න එක නොවුණත්, ඔවුන්ගේ බස මියන්මාරයේ බහුතරයට වඩා වෙනස් වූවත්, ඔවුන්ගේ සිරුරු තුළ ගලන ලේ අනෙක් අය වාගේම රතුපාට වේ. නමුත් ඒ අහිංසකයන් කපා කොටා මිස ත්‍රස්තවාදීන්ට ඒ දකින්නට නොහැකිය. ඉතින් ඔවුහු දරුවන් ගඟට විසි කරමින්, දැරියන් දූෂණය කරමින්, ගැහැනුන් මිනිසුන් පුළුස්සා දමමින්, කපමින් කොටමින් ගිනි තියමින් ජන සංහාරයක් කරති.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේත් ආගමේ නාමයෙන් තක්කඩින් මෙහෙයවන්නට එවැනි විනාශකාරී සංවිධාන අදෘෂමාන මුදල් ආධාරවලින් බිහිවිය. ඔබ හරකකු නොවේ නම් අනුන්ගේ කුඹුරු හාන්නට අංතට්ටුවක් දමාගන්නේ ඇයි? ඒ ඔබේ ආගම නොවේ. හැකි සෑම තැනකම එවැනි ත්‍රස්තවාදීන් තමන්ගේ ආගමේ අය නොවන බව පවසන්න. ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්න. ඔවුන්ට අපරාධකාරයන්ට සේ දඬුවම් කිරීමට සියලු කටයුතු කරන්න. අහිංසක මිනිසුන් ඔවුන්ගෙන් රැකගන්න. කොතෙක් කීවත් ඇති නොවන සත්‍ය වන්නේ නම් යුද්ධය කිහිප දෙනකුට ව්‍යාපාරයක්ම වන බවයි. හිංසනයට එරෙහි වන හිංසනයට එරෙහි වන දැහැමි වීර මිනිසෙක් වෙන්න. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...