විභාගේ අභාගේ | දිනමිණ

විභාගේ අභාගේ

බන්දුල පී දයා­රත්න

“අර මොකද අර ළමයා පාර දිගේ අඬ අඬා යන්නේ ටොම්සන් මහත්තයා?” උන්නැහේ ඇසුවේය. පාරේ අනිත් පැත්තට අත දිගු කරමිනි.

“ඒක ඉතින් මට ටක්කෙටම නං කියන්න බෑ... මොකද එක එක දේවලට ළමයි අඬනවා නේ.. ඕනැ නම් අපි ගිහිල්ලා අහලා බලමු..... සමහර වෙලාවට බඩගින්නට කන්න දෙයක් නැතිව වෙන්නත් බැරි නෑනේ...”

ටොම්සන් මහත්තයා උන්නැහේ සමඟ පාරෙන් එහා පැත්තට ගොස් අඬමින් යන ළමයාට කිට්ටු කළෝය.

“මොකද පුතා අඬන්නේ... බඩගින්නෙද නැතිනම් මොකක් හරි කරදරයක්ද? ’’

“ඔව්... කරදරයක් තමයි...” කියා ළමයා ඉකි ගහමින් අඬන්නට පටන් ගත්තේය.

“ඉතින් කියන්නකෝ ළමයා.. මොකක්ද කරදරේ... කවුරු හරි ගහන්න ආවාද නැතිනම් වෙන මොකක් හරි කරදරයක්ද ළඟ තිබුණු සල්ලි හොරකම් කළාද කවුරුහරි ” කියා ටොම්සන් මහත්තයා බොහොම කරුණාවෙන් ඇසුවේය.

“නෑ... එහෙම දෙයක් නෙවෙයි.. මං මේ නව තාක්ෂණය අත්හදා බැලුවා... ඒකට අනිත් අය කැමති නෑ.. ඒ ගොල්ලෝ මට කරදර කරනවා...”

”අපට තේරෙන්නේ නෑ පුතා.... මොකක්ද මේ කියන්නේ කියලා... ටිකක් පැහැදිලි කරලා කියන්නකෝ තේරුම් බේරුම් ඇතිව...” කියා උන්නැහේ බොහොම යාප්පුවෙන් කීවේ ළමයා අඬන එක ගැන බොහොම කනස්සල්ලෙනි.

“මේකනේ මාමා... ලෝකේ බොහොම අලුත් වෙලා නේ.. අලුත් අලුත් තාක්ෂණික උපකරණ එනවානේ.. ඉතින් ඒවා අත්හදා බලන එක අපි වාගේ ළමයි කරන්න ඕනෑ දෙයක් නේ...” කියා ළමයා ඇඬිල්ල නවතා බොහොම බරසාර විදිහට කීවේය.

“නැතුව.. නැතුව.. ළමයි නේන්නම් ඒවා කරන්න ඕනෑ.. ඉතින් මොකක්ද මේ ළමයා අත්හදා බැලූවේ...”

“මං අර විභාග ශාලාවට ගෙනිච්චා නේ බොහොම නවීන සන්නිවේදන උපකරණ... ඒවා යොදා ගෙන මං ප්‍රශ්න පත්‍රය ගෙදරට ඇරියා... ”

“ඒ කියන්නේ...ප්‍රශ්න පත්‍රය කාගේ අතේ හරි යැව්වා කියන එකද?”

“අපොයි නෑ.... මං ඒකේ ඡායාරූපයක් ගෙදරට යැව්වා... කවුරුවත් දන්නේ නෑ.. ඉතින් බලන්න මං කොච්චර දක්ෂද කියලා... ”

“ඇත්ත නේන්නම්.. කොච්චර දක්ෂ ළමයෙක්ද මට නම් හිතා ගන්නවත් බෑ.. කොහොමද විභාග ශාලාධිපතිගේ ඇස් වහලා එහෙම දෙයක් කළේ කියලා...”

“ඒක තමයි මං කියන්නේ... ඒ වුණාට ඒක අහු වුණා...”

“ඒ කොහොමද අහු වුණේ...”

“ඇයි අපේ ගෙදර අය අනිත් අයටත් පෙන්නලා නේ.. ඉතින් මං රහසින් කරපු දේ අනිත් අයත් දැන ගත්තා.. ඒකෙන් සිද්ධ වුණේ මට විභාග ලියන්න තහනම් කරපු එක නේ.. ඉතින් මං වගේ දක්ෂයකුට එහෙම කරන එක හොඳයිද මං අහන්නේ...”

ටොම්සන් මහත්තයා උන්නැහේගේ මුහුණ දිහා බැලුවේය.

“ඒක තමයි මං කල්පනා කළේ.. මේ ළමයා බොහොම දක්ෂ විදිහට ඒ වැඩේ කළා... ඒක අගය කරන්නේ නැතිව මේ ළමයට විභාග ලියන එක තහනම් කළා... ඒක නම් වැරදි වැඩක් තමයි. ”කියා උන්නැහේ හිස වැනුවේය.

“ඒ කියන්නේ විභාගේ හොරට ලියාපු එකද... විභාග ලියන එක තහනම් කරපු එකද ” කියා ටොම්සන් මහත්තයා ඇසුවේ පුදුමයෙනි.

“නෑ.. මං කිව්වේ ටොම්සන් මහත්තයා... හොරට විභාගේ ලියපු එක තමයි මං කිව්වේ වැරදි වැඩක් කියලා... ඉතින් මේ ළමයා වැරදි වැඩක් කළා නම් ඒකට දඬුවම් විඳින්නත් ඕනෑ.. මොකද විභාග ශාලාවලදී වංචා කරන අයට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරනවා කියලා මේ රටේ කවුරුත් දන්නවානේ..”

“අපොයි නෑ.. මං දන්නේ නෑ.. අපේ තාත්තත් දන්නේ නෑ.. තාත්තා තමයි ඒ අත්හදා බැලීම කරන්න උපකරණ අරන් දුන්නේ... ”

“එහෙනං තාත්තටත් දඬුවම් කරන්න ඕනෑ... අන්න ඒක නොකරපු එක තමයි වැරැද්ද මං නං හිතන්නේ...”

“ඇයි මේ මාමා එහෙම කියන්නේ... දරුවකුට උදව් කරන එක තාත්තා කෙනෙක් කරන්න ඕනැ නේ.. මොකක්ද ඒකේ තියෙන වැරැද්ද...” කියා ළමයා ඇසුවේය.

“ඔව්.. තාත්තා කෙනෙක් විතරක් නෙවෙයි වැඩිහිටියන් උදව් කරන්න ඕනෑ ළමයින්ට හරි දේ කරන්න මිසක් වැරදි දේ කරන්න නෙවෙයි නේ.. දැන් මේ ළමයා කියන විදිහට විභාග ශාලාවකදී වංචාවක් කරන එක වැරදි දෙයක්... එතකොට තමන්ගේ දරුවාට එහෙම වංචාවක් කරන්න උදව් උපකාර කරන එක නෙවෙයි නේ තාත්තා කෙනෙක් කරන්න ඕනෑ... ” කියමින් ටොම්සන් මහත්තයා උන්නැහේ දිහාවට හැරුණේය.

”මං මේ කල්පනා කළේ උන්නැහේ මේ රටේ සදාචාරයට මොනවද වෙලා තියෙන්නේ කියලා.. මේ විදිහට තමන්ගේ දරුවන්ට වැරදි වැඩ කරන්න මවුපියන් උදව් කරන තැනට මේ සමාජය වැටිලා.. ඉතින් අපි කාගෙන්ද දරුවන් රැක බලා ගන්නේ.. මේක නම් හරිම ඛෙදවාචකයක්... ” කියා ටොම්සන් මහත්තයා බොහොම දුක්මුසුව කීවේය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...