උතුරු කොරියාව සම්බන්ධයෙන් රුසියාවේ පිළිවෙත කුමක්ද? | දිනමිණ

උතුරු කොරියාව සම්බන්ධයෙන් රුසියාවේ පිළිවෙත කුමක්ද?

උතුරු කොරියානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රුසියාව අනුගමනය කරන පිළිවෙත කුමක්ද ? යන්න බොහෝ දෙනාගේ අවධානය යොමු වෙමින් ඇති කරුණකි.

කිම් ජොන් අන් විසින් නායකත්වය දෙනු ලබන 'ප්යෝන්ග්යාන්' පාලනයට එරෙහිව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුදමය විසඳුමක් ඉදිරිපත් කරද්දී උතුරු කොරියානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින්ගෙන් ඉදිරිපත් කෙරුණේ වෙනත් විසඳුමකි.

"යුද මානසිකත්වයට" (military hysteria) එරෙහිව කීප වරක්ම අදහස් දැක්වූ ජනාධිපති පුතින් නව සම්බාධක පනවනු ලැබුණොත් උතුරු කොරියානුවන් ඔවුන්ගේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය අත්හැර දැමීම වෙනුවට "තණකොළ බුදීම" තෝරා ගනු ඇතැයි සඳහන් කළේය.

කෙසේවුවද, ජනාධිපති පුතින් උතුරු කොරියාව විසින් පසුගියදා සිදු කරන ලද න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම "කුපිතකාරී" ක්‍රියාවකැයි විග්‍රහ කරමින් හෙළා දුටුවේය.

"ප්යෝන්ග්යාන් පාලනයේ ඉලක්කය කිසිවකුට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම නොවේය කියල රුසියාව විශ්වාස කරනවා. උතුරු කොරියාවේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ දකුණු කොරියාවෙන් එල්ල විය හැකි ප්‍රහාරයක් අඩාල කිරීමේ බාධකයක් කියන එකයි රුසියාවේ විශ්වාසය" මොස්කව් නගරයේ කානගී මධ්‍යස්ථානයේ (Moscow Carnegie Centre) අලෙක්සන්දර් ගබුයෙෆ් පවසයි.

"උතුරු කොරියාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය නංවාලීම හුදෙක් මතිභ්‍රමයක් විතරක්ය කියල රුසියාව තේරුම් ගන්නවා" අලෙක්සන්දර් ගබුයෙෆ් වැඩිදුරටත් සඳහන් කළේය.

උතුරු කොරියාවට එරෙහිව පූර්ණ බල ශක්ති තහනමක් සහ එරට කම්කරුවන් සේවයේ යොදා ගැනීම තහනම් කරනු ලැබීම මගින් ජාත්‍යන්තර ප්‍රජාව දැඩි ආර්ථික බලපෑමක් සිදු කිරීම එක්සත් ජනපදයේ උවමනාවයි.

එහෙත් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අභිලාෂයන් නතර කිරීමේ අරමුණෙන් එරටට එරෙහිව තවත් දඬුවම් නියම කරනු ලැබීම සම්බන්ධයෙන් රුසියාව එරෙහි වීමට පෞද්ගලික අත්දැකීම්ද සමහර විට හේතු විය හැක.

"අපි මොනවද කරන්න යන්නේ? සියළු බල ශක්ති අපනයනය නතර කිරීම මගින් උතුරු කොරියානු ජනතාව සීතලේ ගල් කිරීමද? ගිලන් රථ වලට ඉන්ධන නැතිව ඔවුන්ට රෝගීන් කරා ලඟා විය නොහැකි තත්වයක් ඇති කිරීමද?" වසර ගණනාවක් උතුරු කොරියාවේ රැඳී සිටි රුසියානු තානාපති නිලධාරියකු වන ජෝජි තොලරායා (Georgy Toloraya) ප්‍රශ්න කරයි.

රුසියාවේ ස්ථාවරය වන්නේ "අහිමි වෙළෙඳාම වෙනුවෙන් ශෝක වීම නොව මූලධර්ම අනුව ක්‍රියාත්මක වීම" බවත් ජෝජි තොලරායා කියා සිටියි.

තිස් දහසක් පමණ උතුරු කොරියානුවන් රුසියාවේ ඈත පෙරදිග දැව සහ ඉදි කිරීම් අංශයේ රැකියාවන්හි නිරතව සිටින නමුත් සිය අසල්වැසියාට බලශක්ති අපනයනය ප්‍රායෝගික වශයෙන් ලාභයක් නොමැති ක්‍රියාවක් හැටියට ජනාධිපති පුතින් විසින් විග්‍රහ කරනු ලැබ ඇත.

"මෙය රුසියාවට බලපෑමක් කරන්න පුළුවන්ද? බැරිද? කියන කාරණේ නොවෙයි. ප්‍රශ්නය වෙන්නේ අපි මේක කරන්නේ කුමක් නිසාද? කියන එකයි" තානාපති නිලධාරී ජෝජි තොලරායා (Georgy Toloraya) විමසයි.

" කිම් ජොන් අන් පාලනය දුර්වල කිරීමට සහ උතුරු කොරියාව හුදෙකලා කරලා හිර කර තැබීමට අපේ සමස්ත ප්‍රතිපත්තිය මගින් ඉඩක් ලැබෙන්නේ නැහැ" ඔහු රුසියාවේ පිළිවෙත තව දුරටත් විශ්ලේෂණය කරයි.

චීනය මෙන්ම රුසියාවත් උතුරු කොරියානු දේශසීමාවේ පිහිටි අසල්වැසි රාජ්‍යයකි.

එසේම, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ දකුණු කොරියාවේ දේශපාලන සහ යුද සගයා වන දකුණු කොරියාවට එරෙහි 'ආරක්ෂක බෆරයක්' ලෙස ඔවුහු උතුරු කොරියාව සලකති.

මේ අතර උද්ගතව පවතින අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා මොස්කව් සහ බේජිං බලධාරීන් විසින් ඔවුන්ගේ මාර්ග සිතියමක් පෙරට තබා ඇත.

ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ පළමු වැන්න, කිම් ජොන් අන් පාලනය විසින් සිදු කරනු ලබන න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ ඇමෙරිකානු-දකුණු කොරියානු යුද අභ්‍යාස නතර කිරීමයි.

මොස්කව් සහ බේජිං නායකයන්ගේ ඊලඟ පියවර, සියලු පාර්ශවයන් සාකච්ඡා මේසයට ගැනීමයි.

එහෙත් ඇතැමුන් දකින ආකාරයට මෙය සාමය නොව වෙනත් අරමුණක් සැඟවුණ උපායකි. එම අදහස් දරන්නන්ට අනුව තවත් ලෝක අර්බුදයකට ඇතුල් වීමට රුසියාවේ උවමනාවයි.

"රුසියාව දන්නවා ඒ සැලැස්ම පෙරට යන්නේ නැහැයි කියල. නමුත් ඒ සැලැස්ම ඇමෙරිකාවට නරකයි. අඩු තරමින් රුසියාවට සහ චීනයට සාමකාමී සැලැස්මක් තියෙනවා. ඒත් ඇමෙරිකාවේ ජනාධිපති කරන්නේ කෝපය අවුස්සමින් 'ට්විටර්' පණිවුඩ නිකුත් කරන එකයි" අලෙක්සන්දර් ගබුයෙෆ් පවසයි.

සෝවියට් පාලන සමයේ විශාල වශයෙන් ආධාර දීමේ ඉතිහාසයක් ඇතත්, ගබුයෙෆ් ගේ විශ්වාසය අනුව මේදිනවල 'ප්යෝන්ග්යාන්' පාලනය කෙරෙහි රුසියාවට කළ හැකි බලපෑම අවම වූවකි.

එහෙත් පසුගිය සතියේ චීනයේ සංචාරයක නිරත වූ ජනාධිපති පුතින් දකුණු කොරියාවේ සහ ජපානයේ නායකයන්ට නැගෙනහිර රුසියාවේ 'ව්ලදිවොස්තික්' නගරයේ පැවැත්වුන ආර්ථික සමුළුවකට ආරාධනා කළ අතර උතුරු කොරියානු දූත මණ්ඩලයක් ද ඊට සහභාගී විය.

'ව්ලදිවොස්තික්' පසුගියදා උතුරු කොරියාව විසින් පුපුරුවා හරින ලද න්‍යෂ්ටික බෝම්බයේ කම්පනය දැනුම නගරයකි.

"අපේ අභිලාෂය සාමයට ලැදි ශක්තිමත් අසල්වැසියෙක්"ජෝජි තලරායා තර්ක කරයි.

"මේ අර්බුදය විසඳන්න ඉදිරිපත් වුන සියලු බලවතුන් අතරින් රුසියාව ඔවුන්ගේ අවම සතුරා හැටියට උතුරු කොරියාව සළකනවා" ඓතිහාසික සම්බන්ධතා අවධාරණය කරමින් ඔහු කියා සිටියි.

ජනාධිපති පුතින් උතුරු කොරියාවට හොඳහිත පළ කරමින් සෝවියට් පාලන සමයේ දී තිබුණ ණය වලංගු කිරීමට මෙයින් වසර කීපයකට පෙර පියවර ගෙන තිබුණි.

රුසියාව මෑතදී ද්විපාර්ශ්වීය සබඳතා නංවා ලීමේ පියවරක් වශයෙන් කොරියානු අර්ධද්වීපය කරා පාරු සේවයක් (ferry service ) ආරම්භ කළ අතර උතුරු කොරියානු සංචාරක මධ්‍යස්ථානයක් මොස්කව් නගරයේ ආරම්භ කිරීමට ද පියවර ගත්තේය.

එහෙත් මගී ඉල්ලුම අඩුවීම නිසා එම පාරු සේවය අත්හැර දැමීමට සිදු විය.

ඉහත කී හැඩ ගැසීම් සිදු වෙමින් තිබුණේ ඇමෙරිකානු ජනාධිපතිවරණයට අත පෙවීමේ චෝදනා මධ්‍යයේ සම්බාධක සහ එකට එක කිරීමක් වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නෙරපා හැරීම නිසා මොස්කව් සහ වොෂින්ටනය අතර සබඳතා පිරිහෙමින් පැවති වාතාවරණයක් තුළයි.

එම තත්වය තුළ 'ප්යෝන්ග්යාන්' පාලනයට එරෙහිව එක්සත් ජනපදයට උදව් කිරීමේ විශාල උත්තේජනයක් මොස්කව් බලධාරීන් තුළ නොවුණි.

එහෙත් ඒ අතරම චීනය සහ රුසියාව අතර සබඳතා වැඩෙමින් පවතී.

එම තත්වය යටතේ කොරියානු අර්බුදය හදිසියේ උත්සන්නව බැරෑරුම් අර්බුදයක් වීම වළක්වා ලීම සඳහා ඇති හොඳම මාවත සාකච්ඡාව වන හෙයින් රුසියාව සහ චීනය ඒ සඳහා සෙසු පාර්ශ්වයන් යොමු කරමින් සිටිති.

"ඇමෙරිකාවට 'ප්යෝන්ග්යාන්' පාලනය සමඟ සම්බන්ධතා ඇති කර ගන්න අවශ්‍යයි. ඇමෙරිකාවට අවශ්‍ය නම් අපට තොරතුරු දෙන්න පුළුවන්" ජෝජි තොලරායා පවසයි.

"සාකච්ඡා අවුරුදු දහයක් නැත්නම් විස්සක් දිග් ගැසෙන්න ඉඩකඩ තියෙනවා. එහෙත් අපට අවශ්‍ය යුද්ධයක් දෙසට කුරගෑමක් නොවෙයි. අපට අවශ්‍ය කරන්නේ ස්ථාවරභාවයක්" රුසියාවේ නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

(උපුටා ගැනීම - බීබීසී පුවත් සේවය)

නව අදහස දක්වන්න