ක්‍රීඩක තහනම් උත්තේජක පරීක්ෂා ලබන වසරේ සිට රුධිර සාම්පලයෙන් | දිනමිණ

ක්‍රීඩක තහනම් උත්තේජක පරීක්ෂා ලබන වසරේ සිට රුධිර සාම්පලයෙන්

ප්‍රින්ස් ගුණසේකර

ඉදිරි වසර ආරම්භයේ සිට තහනම් උත්තේජක පරීක්ෂාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රුධිර සාම්පල මගින් සිදු කිරීමට ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය සූදානම් වෙයි. ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන දසිල්වා මහතා පවසන්නේ මෙතෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මුත්‍රා සාම්පල මගින් තහනම් උත්තේජක පරීක්ෂණ සිදුකළ ද ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සියේ දැනුම්දීම මත ඉදිරියේදී රුධිර සාම්පල පරීක්ෂාව මගින් සිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි.

නව ක්‍රමය අනුව සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් උත්තේජක භාවිතා කොට ක්‍රීඩා පිටියට පැමිණීමට කිසිදු ඉඩ කඩක් නොළැඹෙන බව ඒ මහතා පැවැසීය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තහනම් උත්තේජක පිළිබඳ හොද වැටහීමක් ලබාදී ඇති හෙයින් වර්තමානයේ තහනම් උත්තේජක භාවිතය අවමවී ඇතැයි ද මහාර්යවරයා පැවැසීය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රුධිර පරීක්ෂාව මගින් තහනම් උත්තේජක පරීක්ෂණ සිදු කිරීමේදී සියයට සියයක්ම නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවත්, කිසිදු අභියෝගයකින් තොරව තහනම් උත්තේජන භාවිතා කොට ඇත්ද? නැද්ද? යන්න තහවුරු කරගත හැකි බවත් ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපතිවරයා පැවැසීය.

තහනම් උත්තේජක භාවිතය තහවුරු කරගැනීමට සිදු කරන මූත්‍රා පරීක්ෂණය විදෙස් රටක රසායනාගාරයකදී සිදු කෙරෙන අතර ඒ සදහා රුපියල් 25000ක් පමණ වැය වේ. එහෙත් රුධිර සාම්පල පරීක්ෂණ මගින් තහනම් උත්තේජක පරීක්ෂණයක් සිදු කිරීමේදී මූත්‍රා සාම්පල පරීක්ෂාවට වඩා අධික මුදලක් වැය කිරීමට සිදුවනු ඇත. එහෙත් මුදල් ප්‍රමාණය අනුව නොව වඩාත් පහසුවෙන් තහනම් උත්තේජක ඇත්දැයි තහවුරු කර ගත හැකි ක්‍රමයක් ලෙස රුධිර සාම්පල පරීක්ෂාව සුදුසු බව ලෝක තහනම් උත්තේජක මර්දන ඒජන්සියයේ මතයවී තිබේ.

මේ වසරේ මේ දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කගේ පමණ තහනම් උත්තේජක පරීක්ෂා සිදුකොට ඇති අතර එයින් එක් මුත්‍රා සාම්පලයක තහනම් උත්තේජක ඇති බවට තහවුරු විය. ඒ මලල ක්‍රීඩා මීටර් 400 සහය දිවීමේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකුවන අතර ඔහු සම්බන්ධ ඉදිරි පියවර විනය කමිටුව වෙත භාරදී ඇත. එම තහනම් උත්තේජක චෝදනාවට ලක්ව සිටින මලල ක‍්‍රීඩකයා සහ ඔහුගේ සාක්‍ෂිය මත හෙළි වූයේ යැයි කියන තවත් මලල ක‍්‍රීඩකයන් 11 දෙනකු පිළිබඳවද පරීක්ෂණ පැවැත්වෙන බවද වාර්තා වේ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී තහනම් උත්තේජක භාවිතය පිලිබඳ පනතක් සම්මතකරගත් අතර එම පනතට අනුව ක්‍රීඩාවේදී උත්තේජනයක්‌ ලබාගැනීම පිණිස තහනම් ඔසු ලබාගැනීමක්‌ පිළිබඳ චෝදනා ඔප්පුවීමකදී ක්‍රීඩාවේ යෙදීම තහනම් කිරීමට අමතරව වසර දෙකකට නොවැඩි සිර දඬුවමක්‌ හෝ රුපියල් ලක්‍ෂ 5 කට නොඅඩු සහ රුපියල් ලක්‍ෂ 10 කට නොවැඩි දඩයකට ලක්‌වීමටද සිදුවනු ඇත.

නව අදහස දක්වන්න