අල විකුණයි දිවිය දිනයි | දිනමිණ

අල විකුණයි දිවිය දිනයි

'අල'යනු, සොබාදම් මාතාව අපට උරුම කර දුන් අගනා දායාදයකි. ලෝකයේ විවිධ දේශගුණික තත්ත්ව යටතේ පොළොව යට බහින අල වර්ග බොහෝ ප්‍රමාණයක් දැකිය හැකි ය. එයින්, මනුෂ්‍යයාට ආහාරයට ගතහැකි අල වර්ග මෙන් ම, හලාහල විෂ සහිත අල වර්ග ද හඳුනාගෙන තිබේ.'නියඟලා' ඉන් එක් ප්‍රධාන විෂ සහිත අල වර්ගයකි.ඒ වගේම, අනුභව කළ විට තමන් කවුද? අනෙකා කවුද? කියා හඳුනාගත නොහැකි ලෙස සිහිය විකල් වන බව කියන 'නගා මැරූ අල' නමින් ද අල වර්ගයක් තිබේ.

අල වර්ග අතරින් ලොව පුරාම වැඩියෙන්ම ජන පරිභෝජනය සඳහා වගා කරන්නේ, 'අර්තාපල්' නමැති අප කවුරුත් රස බලන අල ය.

වනචාරී ගෝත්‍රිකයන් මෙන් ම, අප රටේ වැදි ජනයාත් වැඩියෙන් ම ආහාරයට ගන්නේ 'කටුවල' නොහොත් 'කටුඅල' නමැති, ඇතැම් විට එක අල වැලක ගෝනියක ඇසිරිය හැකි තරම් විශාල තනි අලයක් බහින බව කියැවෙන ඉතා රසවත් පෝෂණීය අල වර්ගයයි.

අපේ රටේ ආහාරයට ගන්නා අල වර්ග අතර සුදු සහ දම් යන පාට දෙකක් සහිත ප්‍රභේධ දෙකක් ඇති 'රාජල' වඩාත් ජනප්‍රිය ය.

ගර්භණී මාතාවන්ට මුල් අවධියේදී පරිභෝජනයට සුදුසු බවට ගැමි ජනතාව විශ්වාස කරන 'හිඟුරල' ද රසවත් අල වෙසෙසකි.මේ හැරුණුවිට මෙරට ආහාරයට ගන්නා අල වර්ග අතර කිරිඅල,බතල,සුදු සහ රතු බුත්සරණ අල,කිරි කොඬොල්,ඉසුරු දේසාල,ඉන්නල ,මඤ්ඤොක්කා,රාබු,කැරට්,බීට්රූට්,හොඬල,තුන්මස් අල මෙන් ම, බිත්තර වැනි රසැති ගුණැති'ආටිචෝක්' ද වේ.

ලෝකයේ වඩාත් ම පෝෂණීය අල වර්ගයක් ලෙස සැලකෙනුයේ 'ජින්සෙන්' හෙවත් 'මෑන්රූට්' නම් වූ අල වර්ගයයි.මේවා අධික ලෙස වාජීකරණ ගුණයෙන් යුතු බව ප්‍රකට ය.

පොළොව තුළ නොව, ගස් උඩ දුවන වැල්වල හට ගන්නා 'උඩල' නම් වූ අල වර්ගයක් ද තිබේ.මේවා රසින් අනූන ය.අල වර්ගවල පෝෂණ ද්‍රව්‍ය රැසක් අඩංගු අතර ,එය ශක්තිජනක ආහාරයක් ලෙස ද සැලකේ.

වසර පුරාම අල වර්ග අලෙවි කරන කුඩා වෙළෙඳ කුටියක්, කොළඹ - අවිස්සාවේල්ල මහා මාර්ගයේ කළුඅග්ගල පාලමට නුදුරින් පිහිටා තිබේ.මෙය පවත්වාගෙන යන්නේ, පුෂ්පිකා නයනී ය.ඇයට ඇගේ සැමියා වන චතුරංගගෙන් මේ සඳහා ඉමහත් උදව් උපකාර ලැබේ.

"අපි මේ අල වර්ග ගේන්නේ ඉතා ඈත පළාත්වලින්. ඒ ඒ කාලවලදී විවිධ අලවර්ග ගෙනැවිත් සුරැකිව තබාගෙන අලෙවි කරනවා.මේ දිනවල වැඩියෙන් ම අලෙවියට තියලා තියෙන්නේ අර්ශස් අමාරුවට ගුණදායක බව සැලකෙන 'කිඩාරම්' නමැති අල වර්ගය.මේ සෑම අල වර්ගයක්ම ඉතාමත්ම රසවත්. ඒ වගේ ම ගුණවත්.

අපේ සිරුරේ බොහෝ ලෙඩ රෝගවලට මේවා ආහාරයට ගැනීමෙන් ගුණයක් ලැබෙනවා. මේ මඟින් හොඳ ආදායමක් ලබන්න පුළුවන්. බොහෝදෙනා මේ ස්ථානයට ඇවිත් අල වර්ග අරගෙන යන එක පුරුද්දක් කරගෙන තිබෙනවා.මේ වගේ වෙළෙඳාම් බොහෝදෙනා කරන්නේ නෑ.ඒ නිසා ම අපට වෙළෙඳාම් තිබෙනවා." ඇය පවසන්නී ය.

 

සටහන සහ සේයාරූ
නිමල් විජයතුංග
ඇහැලියගොඩ විශේෂ

නව අදහස දක්වන්න