ආර්ථිකයට දර්ශනයක් | දිනමිණ

ආර්ථිකයට දර්ශනයක්

වෙළෙඳපොළට සම්බන්ධ විය නොහැකි ජනයා සඳහා සුබ සාධනය මෙම ආර්ථික ක්‍රමයේ වැදගත් අංශයකි. වැඩිහිටි ජනයා, රැකියා විරහිතයින්, ආබාධිතයින්, දිළිඳු ජනයා ආදී කොටස් සඳහා ඉහළ සුබ සාධනයක් පවත්වාගෙන යා යුතුය.

යහපාලන ආණ්ඩුවේ ආර්ථික ඉදිරිදැක්ම පසුගිය සඳුදා එළිදක්වන ලද්දේ “පොහොසත් රටක්” යන තේමාව යටතේය. 2025 වසර දක්වා වන වැඩපිළිවෙළක් ලෙස ඉදිරිපත්කොට ඇති මෙම වැඩපිළිවෙළ මගින් වසර 2020 වනවිට නව රැකියා දස ලක්ෂයක් බිහි කිරීම මෙන්ම රටේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 5000ක් දක්වා ඉහළ නැංවීමද ඉලක්කකොට ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් විසින් එළිදක්වන ලද මෙම ආර්ථික ඉදිරි දැක්ම මගින් වෙළෙඳපොළ තරගකාරීත්වය මගින් ලබන ආර්ථික ජයග්‍රහණ සමාජ සාධාරණත්වය මත බෙදාහැරීම සිදුකරන බව ප්‍රකාශයට පත්කොට ඇත. සැමට නිවාස සැපයීම දිළිඳු ජනයාට සමෘද්ධි ඇතුළු සහනාධාර සැපයීම, සියලු සේවකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රම සකස්කිරීම ඇතුළු බොහෝ පියවර යෝජනාකොට තිබේ. මතුපිටින් බැලූවිට එය පෙනෙන්නේ තවත් පොරොන්දු මාලාවක් වශයෙනි. එසේ වුවද එය ඊට වැඩි ගැඹුරක් ඇති වැඩ පිළිවෙළක් බව පෙනී යන්නේ එමගින් ඉදිරිපත්වන සමස්ත දර්ශනය මගිනි.

රටේ මුල්‍ය කළමනාකරණය දුර්වල බවත්, දූෂණ ගැන පවතින්නේ බරපතළ තත්ත්වයක් බවත්, යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බවත්, නීති බොහොමයක් යල් පැනගොස් ඇති බවත් ආයතන ව්‍යූහය දුර්වල බවත් ජනාධිපති, අගමැති දෙදෙනා නව ආර්ථික වැඩ පිළිවෙළ ඉදිරිපත් කරමින් පිළිගත්හ. එය එක්තරා වැදගත් ඉදිරි දැක්මකි. එනම් මෙම සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රතිසංස්කරණ සිදුකිරීමට නියමිත බවයි.

මෙම ආර්ථික වැඩපිළිවෙළ යටතේ අඩු තරමින් පනත් දොළහක් සංශෝධනය කරමින් නව ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතු බව කියති. එනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවයි. එමෙන්ම සමෘද්ධි වැනි වැඩ සටහන්ද වඩා විධිමත් කිරීමට නියමිතය.

ඉහත කී සියලු ප්‍රතිපත්ති ඉදිරිපත්කොට ඇත්තේ එක් වැදගත් ආර්ථික දැක්මකට අනුවය. එනම් සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් යන දර්ශනයයි. එම දර්ශනය යටතේ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය විධිමත්ව ක්‍රියාත්මක කිරීම සිදුවන අතරම ඉහළ සමාජ සුබ සාධනයක් පවත්වාගෙන යෑම අදහස් කෙරෙයි. රජයේ නව ආර්ථික වැඩපිළිවෙළෙහි ඇති සමස්ත ක්‍රියාවලියම ඉදිරිපත්වන්නේ මෙම දර්ශනය අනුවය. එබැවින් වැදගත්ම කාරණය වන්නේ එම දර්ශනය හඳුනාගැනීමයි.

පසුගිය කාලයේ මෙරට ආර්ථිකය හසුරුවන ලද්දේ කිසිදු ඉදිරි දර්ශනයකින් තොරවය. තිබුණේ ආකර්ෂණීය සටන් පාඨ පමණකි. ආසියාවේ ආශ්චර්යයට යන බව කීවද ඒ සඳහා රටේ නිෂ්පාදනය නැංවීමේ වැඩ සටහනක් නොතිබුණි. තිබුණු ආර්ථික සැලසුම ඉතාම සිල්ලර එකකි. කුකුළු පැටවුන් බෙදාදීම, කිරි හරකුන් බෙදාදීම, බීජ ඇට බෙදාදීම ආදිය කළේ එමගින් ආර්ථිකය වර්ධනය වන බව සිතාගෙනය. කුකුළු පැටවුන් බෙදාදීමෙන් සිදුවූයේ එම කර්මාන්තයේ අධි නිෂ්පාදනයක් ඇති වී බිඳ වැටෙන තත්ත්වයක් නිර්මාණය වීමය. එය නවතා ගත්තේ එහි නිෂ්පාදකයන් එක් වී ටික කලකට පැටවුන් නිෂ්පාදනය නවතා දැමීම මගිනි. කිරි හරකුන්ට ආහාර දීමේ අර්බුදයේ ප්‍රතිඵලය වූයේ උන්ගෙන් වැඩි දෙනෙකු මස් කඩයෙන් නතරවීමය. වගාවට බීජ ලැබුණද ඉඩම් නැතිකම නිසා වගාවේ වර්ධනයක්ද සිදු වූයේ නැත. සිදුවූයේ ව්‍යාජ ප්‍රචාරන දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාවට නැඟීම පමණකි. ආශ්චර්යයක් වන්නට තිබුණේ කිසිදු දර්ශනයකින් තොරව කළ මෙබඳු ක්‍රියා සාර්ථක වූයේනම් ය.

වාසිගන්න හැටි

මෛත්‍රි- රනිල් ආණ්ඩුව ඉදිරිපත්කොට ඇත්තේ නව දර්ශනයකි. එනම් සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් යන්නයි. මෙය මෑත කාලයේ රජය වරින් වර ප්‍රකාශ කළ ද එය දර්ශනයක් හා වැඩපිළිවෙළක් ලෙස ඉදිරිපත් වන්නේ මේ අවස්ථාවේදී ය. සමහරු හිතන්නට හා කියන්නට ඉඩ ඇත්තේ මෙය තවත් වචන හරඹයක් වශයෙනි. එසේ වුවද මෙය කිසිසේත්ම එවැන්නක් නොවේ. එමෙන්ම එය අපට අලුත් දර්ශනයක් වුවද ලොවට අලුත් නැති බවද කිව යුතුය.

සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය යන අදහස වර්ධනය වන්නේ නවසිය තිස් ගණන් හා හතළිස් ගණන්වලදී ජර්මනියේය. එය 1949 දී එරට ක්‍රියාවට නගන්නේ ඉහළ සමාජ සුබ සාධනයක් සහිත වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් වශයෙනි. එය අද දක්වාම ජර්මනිය තුළ අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මකය. ඇතැම්විට එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වශයෙන්ද සමාජ ධනවාදය වශයෙන්ද හඳුන්වනු ලබන අතර ලොව විවිධ රටවල ක්‍රියාත්මකය.

ඇතැමුන් හඳුන්වන්නේ මෙය නිදහස් ධනවාදය හා රාජ්‍යය මුල්කරගත් ධනවාදය අතර මැද මාවතක් වශයෙනි. එසේ වුවද මෙම මතවාදය තුළ රාජ්‍ය සැලසුම්කරණය යන්න නිවැරැදි දර්ශනයක් වශයෙන් පිළිගැනීමක් නැත. එසේම ධනවාදී ක්‍රමය යටතේ වෙළෙඳපොළට සම්පූර්ණ නිදහස දීමද සමාජ වෙළෙඳපොළ ක්‍රමය යටතේ අනුමත නොකෙරේ. මෙම මතවාදය පිළිගන්නවුන් කියන්නේ වෙළෙඳපොළ තරගයද හැමවිටම නිවැරදිව සිදුනොවන බවයි. එයට පිළිතුර වන්නේ රජය මගින් නිදහස් වෙළෙඳපොළ කළමනාකරණය කරමින් පවත්වාගෙන යාමයි. එනම් රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති, විනිමය ප්‍රතිපත්ති, බදු, ණය ක්‍රම, පොලී ආදිය පාලනය කරමින් වෙළෙඳපොළ තරගකාරිත්වය තහවුරු කළ යුතු බවයි. වෙළෙඳපොළ ඒකාධිකාරී තත්ත්වයන්ට ඉඩ නොතැබිය යුතු බවයි. වෙළෙඳපොළ තරගකාරීත්වයෙන් ආර්ථිකයට උපරිම වාසි ලබාගත හැකිවන්නේ එවිටය.

අනෙක් අතට වෙළෙඳපොළට සම්බන්ධ විය නොහැකි ජනයා සඳහා සුබ සාධනය මෙම ආර්ථික ක්‍රමයේ වැදගත් අංශයකි. වැඩිහිටි ජනයා, රැකියා විරහිතයින්, ආබාධිතයින්, දිළිඳු ජනයා ආදී කොටස් සඳහා ඉහළ සුබ සාධනයක් පවත්වාගෙන යා යුතුය. එමෙන්ම මෙම ජනයා සඳහා රජයෙන් පවත්වාගෙන යා යුතු සේවා පිළිබඳවද මෙම දර්ශනය තුළ අවධාරණය කෙරෙයි. එනම් නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය ආදී සේවාවන් පවත්වාගෙන යා යුතු බවයි.

මෙය නව ලිබරල්වාදය යන්නට වෙනස් දර්ශනයකි. සියල්ල වෙළෙඳපොළට පවරමින් රජය ඉවත්වීමත්, ආර්ථිකයේ ප්‍රතිලාභ පහළට ගලා යනතෙක් බලා සිටීමත් මෙම දර්ශනය මගින් අනුමත කෙරෙන්නේ නැත. වෘත්තීය සමිති ශක්තිමත් කිරීම හා ව්‍යවසායකයින් හා කම්කරුවන් අතර සහභාගිත්ව ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය යන්නද සමාජ වෙළෙඳපොළ ආර්ථික දර්ශනයේ ඇතුළත්ය.

මෙම දර්ශනය ඇතැම්විට හඳුන්වන්නේ ‘සමාජ ධනවාදය’ වශයෙනි. එමෙන්ම ස්කැන්ඩිනේවියානු රටවල් වන නෝර්වේ, ස්විඩන්, ඩෙන්මාර්ක් සහ අයිස්ලන්තය වැනි රටවල ක්‍රියාත්මක වන මීට සමාන ක්‍රමය හඳුන්වනු ලබන්නේ ‘සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ‘ ක්‍රම වශයෙනි. වෙළෙඳපොළ ආර්ථිකය සමග වඩා ඉහළ සමාජ සුබසාධනයක් හා ශක්තිමත් වෘත්තීය සමිති ව්‍යාපාරයක්ද පවත්වාගෙන යාමට එම රටවලට හැකියාව ලැබී ඇත. බ්‍රිතාන්‍යය, කැනඩාව , ඕස්ට්‍රේලියාව හා නවසීලන්තයේ පවතින ක්‍රමය හඳුන්වනු ලබන්නේ ඇන්ග්ලෝ සැක්සන් ක්‍රම වශයෙනි. එම රටවලද සුබ සාධන ක්‍රම හා වෙළෙඳපොළ පවත්වාගෙන යනු ලබයි.

අන්තවාදීන්ගේ දැක්ම

දෙවන ලෝක යුද්ධයෙන් පසුව බිහි වූ මෙබඳු රාජ්‍යයන් පොදුවේ හඳුන්වනු ලබන්නේ සුබසාධන රාජ්‍යයන් වශයෙනි. වර්තමානයේ ප්‍රකට මාක්ස්වාදී දාර්ශනිකයකු වන සැවෝජ් ශිසෙක් මෙය දකින්නේ සෝවියට් දේශයෙන් එල්ල වූ තර්ජනයට ධනපති ක්‍රමයේ ප්‍රතිචාරය වශයෙනි. එය සාර්ථක ක්‍රමවේදයක් බවටද පිළිගැනීමක් ඇත. කෙසේ වෙතත් මෙම ක්‍රමයට අන්ත දෙකකින් විරෝධතා මතුවිය හැකිය. එකක් නම් ඉහළ සුබ සාධනයක් සඳහා මුදල් වැය කිරීම සම්බන්ධයෙනි. එය අන්ත ලිබරල්වාදයේ විවේචනයයි. මෙම මතය ශ්‍රී ලංකාව තුළ එතරම් ශක්තිමත් නොවීම වාසනාවකි.

අනෙක් විරෝධය මතුවිය හැක්කේ වාම අන්තවාදයෙනි. ඔවුන්ට අනුව වෙළෙඳපොළ ආර්ථිකය යනු ධනවාදයයි. ධනවාදය පිළිබඳවද මොවුන්ට ඇත්තේ අල්ප වැටහීමකි. එබඳු පිරිස් හිතන්නේ ධනවාදය යනු ධනපතියන් ලෙස සිටින සුළුතර දුෂ්ට පිරිසක් රාජ්‍ය බලය යන මර්දනකාරී හස්තය උපයෝගීකොටගෙන මහජනයා කොල්ලකමින් සිටීමක් බවයි. අඩු වැටුප් ගෙවීම, වැඩි මිලට බඩු විකිණීම කරන බවයි. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලය මහජනයා වඩ වඩා දුප්පත්වීම බවයි. ඒ නිසා වහාම මෙම ක්‍රමය වෙනස්කොට සමාජවාදය යැයි ඔවුන් කියන රාජ්‍ය ධනවාදී ක්‍රමය ස්ථාපිත කළ යුතුය යන්න ඔවුන්ගේ දර්ශනයයි.

මෙම අන්තවාදී පිරිස් තම දර්ශනය ඉදිරිපත් කරනු ලබන්නේ කාල් මාක්ස්ගේ, ෆෙඩ්රික් එංගල්ස්ගේ හා වී අයි. ලෙනින්ගේ ඉගැන්වීම් වශයෙනි. එසේ වුවද හොඳින් සොයා බලන විට පෙනෙන්නේ ඉහත කී අන්තවාදය හා මාක්ස්වාදය අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි.

ධනවාදය යනු ධනපතියන්ගේ සිතැඟි පරිදි ලෝකය මෙහෙයවන ක්‍රමයක් නම් මෙම ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන න්‍යාමයන් ගැන ප්‍රාග්ධනය කෘතියේ වෙළුම් තුනකින් පිටු තුන්දහස් ගණනකින් විස්තර කරන්නට කාල් මාක්ස්ට සිදුවන්නේ නැත. එහිදී මාක්ස් විස්තර කරන්නේ ධනවාදය ක්‍රියාත්මක වන ආකාරයයි. කම්කරුවාගේ වැටුප නියම වන්නේ ශ්‍රමයේ ප්‍රතිනිෂ්පාදන වියදම මත බව මාක්ස් කියයි. එනම් පවතින සමාජ තත්ත්වය යටතේ ජීවත්වීමට කම්කරුවාට හා ඔහුගේ පවුලට යන වියදමයි. භාණ්ඩයක වටිනාකම යනු එය නිෂ්පාදනයට සමාජමය වශයෙන් අවශ්‍ය ශ්‍රමයේ වටිනාකමයි. අතිරික්ත නිෂ්පාදනය යනු ඒ වටිනාකම් දෙකෙහි වෙනසයි. මේ ආදී වශයෙන් ධනපති නිෂ්පාදනයේ නියාමයක් කාල් මාක්ස් විස්තර කරයි.

මාක්ස් කියන්නේ ධනපතියන්ට තමන්ගේ අභිමතය අනුව කටයුතු කිරීමේ හැකියාවක් නැති බවයි. ඔවුන්ට ක්‍රියා කිරීමට සිදුවන්නේ තරගය යන බලහත්කාරී නීතියට යටත්වය. එනම් ධනපතියන් අතර තරගයේ කොන්දේසි යටතේය.

ධනපති ක්‍රමයෙන් දුප්පත්කම වැඩිකරන බව ඉහත කී අන්තවාදී මාක්ස්වාදීහු කියති. මාක්ස්වාද විරෝධීන් කියන්නේ එවැන්නක් ලෝකයේ සිදුවී නැති නිසා මාක්ස් වැරදි බවයි. දෙගොල්ලොම මේ කතාව කියන්නේ මාක්ස්ගේ න්‍යායික විග්‍රහයක් වරදවා වටහා ගැනීමෙනි. ප්‍රාග්ධනය කෘතියේ මාක්ස් කියන්නේ කම්කරු පංතියට අමතරව අතිරේක ශ්‍රම හමුදාවක් පවත්වාගෙන යන්නේ නැතිව ධනවාදයට පැවැත්මක් නැති බවයි. එනම් රැකියා විරහිතයින් හා නන්නත්තාර පිරිස් සම්බන්ධයෙනි. ඒ සමග මාක්ස් කියන්නේ මෙයින් සමාජයේ එක් පසක ධනය ගොඩගැසෙන අතර අනෙක් අන්තයේ දුර්භාග්‍යය ගොඩගැසෙන බවයි. වඩ වඩා දුප්පත් කිරීමක් එයින් අදහස් වන්නේ නැත.

අදෘෂ්‍යමාන හස්තයක්

ප්‍රාග්ධනය කෘතියේ දෙවන වෙළුමේදී මාක්ස් කියන්නේ වෙනත් කතාවකි. ඔහු කියන්නේ කම්කරුවා තම වැටුප ගෙන එළියට ගිය විට ඔහු පාරිභෝගිකයෙක් වන බවයි. එවිට ධනපතියා හා කම්කරුවා සම්බන්ධය විකුණුම්කරුවා හා ගැණුම්කරුවා බවට පත්වන බවයි. භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ඇති පිරිසක් නැතිව ධනවාදයට පැවතිය නොහැකිය යන්න එමගින් කියැවෙයි.

සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයකදී දිළිඳු ජනයාට ඉහළ සුබසාධනයක් සලසන්නේ හුදෙක් අනුකම්පාව නිසා හෝ ඡන්දය ලබාගැනීම සඳහා නොවේ. ධනපති වෙළෙඳපොළ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පාරිභෝගික ඉල්ලුම පවත්වාගෙන යාම සඳහා ය. සමාජ වෙළෙඳපොළ යන්න හුදු සටන්පාඨයක් නොව ඒකාග්‍ර දෘෂ්ටිමය පද්ධතියක් වන්නේ මේ නිසාය.

සියල්ල එසේ වුවද සමා‍ජයේ එක් පිරිසක් ධනවතුන් කරන ක්‍රමයක් පවත්වාගෙන යන්නේ මන්දැයි අන්තවාදීන් ප්‍රශ්න කරනු ඇත. එය ඇත්ත ප්‍රශ්නයකි. එසේ වුවද මෙය ලෝක ඉතිහාසයේ එක් අවදියකි. එයට උඩින් පැන යා නොහැකිය. මගහැරීම හෝ අතරමගින් බිඳ දැමීමේ සියලු උත්සාහයන්ගේ ප්‍රතිඵලය වී ඇත්තේ මහා ව්‍යසනයකි. සෝවියට් දේශයත් වෙනත් රටවලත් අත්දැකීම එයයි.

මේ මාක්ස්වාදීන් නොතකා හරින අදහසක් කොමියුනිස්ට් ප්‍රකාශනයේ හමුවෙයි. එයින් කියන්නේ ධනපතියන්ගේ පෞද්ගලික ධනය අවසානයේ සමාජීය ධනයක් බවට පත්වන බවයි. සරලව තේරුම් ගන්නේ නම් එම ධනය ආයෝජන හා තැන්පතු ලෙස සමාජයීය ලෙස භාවිතයට ගැනෙයි. කොමියුනිස්ට් ප්‍රකාශනයේ කියන්නේ පොදු දේපළ ක්‍රමයක් ඇතිවීමේදී සිදුවන්නේ මෙම සමාජයීය ධනය සමාජයීය පාලනයකට යටත් කිරීම බවයි. එනම් එහි පන්ති ස්වරූපය වෙනස් කිරීම පමණක් බවයි.

වෙළෙඳපොළ ක්‍රමය මගින් අදෘෂ්‍යමාන හස්තයකින් ආර්ථිකය හසුරුවා එය නිවැරදි කරන බව ආර්ථික විද්‍යාවේ පුරෝගාමි ඇඩම් ස්මිත්ගේ අදහසකි. කාල් මාක්ස් එයට අභියෝග කළේ නැත. මාක්ස් කීවේ එය එසේ වුවද සමාජ අසාධාරණයට එය විසඳුමක් නොවන බවයි.

දැන් අපට පෙනෙන්නේ වෙළෙඳපොළ ක්‍රමයේ මෙම අදෘෂ්‍යමාන හස්තයට ආර්ථිකය මෙහෙයැවීමට ඉඩදිය යුතු බවයි. එමෙන්ම එහි නියාමයන් හරියාකාරව ක්‍රියාත්මක වීම සහතික කිරීමට රජය මැදිහත්විය යුතු බවයි. එම ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සමාජ සාධාරණත්වය ඇතිවන පරිදි බෙදාහැරිය යුතු බවයි.

රජය දැන් ඉදිරිපත්කොට තිබෙන්නේ ඒ සඳහා වූ දර්ශනයයි. පොහොසත් රටක් නිර්මාණය කළ හැකි වන්නේ මෙම දර්ශනය කැපවීමෙන් යුතුව ක්‍රියාවට නැගීමෙනි. එයට එරෙහිවන සෑම අන්තවාදී ක්‍රියාවක්ම රටටත් සමාජයටත් විනාශය කැඳවීමකි. 

සී.ජේ.අමරතුංග

නව අදහස දක්වන්න