අෑවර කිරී­මට නියමිතව තිබූ රාජ්‍ය වැවිලි සංස්ථාව යළි ලාභ ලබයි | දිනමිණ

අෑවර කිරී­මට නියමිතව තිබූ රාජ්‍ය වැවිලි සංස්ථාව යළි ලාභ ලබයි

ජනප්‍රිය සමරදිවාකර

රාජ්‍ය වැවිලි සංස්ථාව ආරම්භවී ඇත්තේ 1958දී ය. මෙය පසුව ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව ලෙසට විකාශනය විය. කාලයාගේ ඇවෑමෙන් විවිධ පාලන වකවානුවල ගත් දේශපාලන තීන්දු තීරණ මත මේ ආයතනය වියැකෙමින් ජනතා මතකයෙන් ඈත්වී තිබේ. එහි වත්මන් සභාපති තිලක් මහනාම මහතා සමඟ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව පිළිබඳව කළ කථාබහකි මෙය.

Q කෙළින්ම කථාවට බහිමු. “සංස්ථා තේ” නමින් ඔබ ආයතනය දැන් තේ විකුණනවා. ඇත්තටම මෙය සංස්ථාවේ පණ නල රැකගන්න වෙන ක්‍රමයක් නැතිම නිසා කරන වැඩක් ද?

පිළිතුර - වයස 60කට ආසන්න කාලයක් විවිධ අය අඩපණ කරපු ආයතනයක් තේ විකුණලා හෝ ගොඩගන්නවානම් ඒක වැරදි ද? ඇත්ත කථාව මේකයි, “සංස්ථා තේ” වෙළෙඳ පොළට නිකුත් වුණේ සංස්ථාවේ ජවසම්පන්න කාලයේ. “පාරිභෝගික තේ” නමින් වෙළෙඳ පොළට පැමිණි “සංස්ථා තේ” හරහා දේශිය පාරිභෝගිකයා පමණක් නොව බ්‍රිතාන්‍ය පාරිභෝගිකයා පවා ජයගැනීමට හැකිවූ ඉතිහාසයක් අපට තිබෙනවා. අතීතයේ වෙනම තේ අලෙවි අංශයක් සංස්ථාවේ ක්‍රියාත්මක වී තිබෙනවා. නමුත්, 1992දී රජයේ වතු පෞද්ගලීකරණය යටතේ එය නැවතී තිබෙනවා. ඒ නැවතුනු තැනින් පටන්ගැනීම තමයි මගේ ඉලක්කය වුණේ. ඒ සඳහා රාජ්‍ය විශ්වාසයත් සමඟ මුසුකළ වස විස නැති ස්වභාවික තේ පැකට්ටුවක් ජනතාව අතට පත්කිරීම තුළින් තේ පාරිභෝගිකයාගේ සෞඛ්‍යය රැකගැනීමත් සංස්ථාවේ ආර්ථිකය රැකගැනීමත් යන දෙකම ම‍ාගේ අපේක්ෂාව වුණා.

 

Q වැවිලි සංස්ථාවේ පසුබෑම සිදුවන්නේ 1992දී වතු පෞද්ගලීකරණය කිරීමෙන් පසුව බව ද ඔබ පවසන්නේ?

වතු පෞද්ගලීකරණය කළ පමණින් ලංකාවේ වතු සියල්ලේම තේ ගස්ටික ගලවලා දැම්මෙත් නැහැ. සංස්ථාව වහලා දැම්මේත් නැහැ. එහෙම නම්, 1994 සිට 2015 දක්වා වසර දෙකක් හැර ඉතිරි කාලය රට පාලනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයන්. ඒ කාලේ හිටිය අයට තිබුණේ නැද්ද වසාදැමුණු තේ අලෙවි අංශය නැවත විවෘත කරලා සංස්ථාවට ආදායමක් උපයන්න.

 

Q ඔබතුමා කියන විදියට ඒ අය තේ විකුණනවා වෙනුවට වෙන මොනවහරි විකුණලා ද?

මම කාටවත් පෞද්ගලිකව චෝදනා කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම අපේ වතුවල ඇති අනිකුත් සම්පත්වලින් උපරිම ඵල නෙළාගත යුතුයි. ඒක මම බැහැර කරන්නෙත් නැහැ. මොනවා කළත්... අපි පළමුව කළයුතු දේ පළමුව කළයුතුයි. දෙවනුවට කළයුතු දේ පළමුවෙන් කළොත් අර්බුධ මතුවෙනවා. අමු දළු පිටට විකිණීමෙන් ලැබෙන වාසියට වඩා වාසියක් නිමි තේ විකිණීමෙන් ලැබෙන බව දැනට අප ඔප්පුකරමින් සිටිනවා. ඒ අනුව 2017 ජනවාරි සිට මේ දක්වා රුපියල් මිලියන 5කට ආසන්නව සංස්ථා තේ අලෙවි කර එමඟින් රු. මි. 2කට ආසන්නව ලාභ උපයාගෙන තිබෙනවා. ඉදිරියේදී විකිණෙන “සංස්ථා තේ” පැකට් ප්‍රමාණය ඉහළ යනවිට ඊට සාපේක්ෂව අපගේ ලාභාංශයන් ඉහළ යනවා නිසැකයි.

ඒ වගේම 2016 අගෝස්තු වනවිට අමු දළු කිලෝවක් සඳහා සංස්ථාවට ලැබුණු රු. 55ක මුදල මේ වනවිට රු. 75ක් 80ක් දක්වා වැඩිකර ගැනීමට හැකිවී තිබෙනවා. ඒ වගේම 2015 මාර්තුවලින් පසුව වැඩිම අමු දළු ප්‍රමාණය වන කිලෝ 9,45898ක් නෙළා ගැනීමට අපට 2016 දෙසැම්බර්වලදී හැකිවුණා. ඒ අනුව රුපියල් මිලියන 46.76ක අතිරික්ත ආදායමක් ද අපි ලබාගත්තා.

 

Q ඒ කියන්නේ දැන් සංස්ථාව ලාභදායි ද?

පිළිතුර - ඔව්.

ඔබ ආයතනයෙන් කෙරෙන්නේ “සංස්ථා තේ” විකුණනවා විතරම ද?

නැහැ. ඊට වඩා බොහෝ දේ ගතවූ වසර තුළ ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබාගත්තා. ඒ අතර ගිනිබත්වූ කම්හල් දෙකක දිරමින් තිබූ යකඩ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමෙන් රු. ලක්ෂ 53ක් උපයාගත්තා. ඒ වගේම පෞරාණික වටිනාකම්වලින් යුත් වතු බංගලා සංචාරක ව්‍යාපාරයට යොමුකරමින් බංගලා නඩත්තුවට මුදල් උපයා ගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කළා. මේ වනවිට වියදම් හැර රුපියල් ලක්ෂයක් පමණ උපයාගැනීමට හැකිවුණා.

 

Q වැවිලි සමාගම් ඇතුළු බාහිර පාර්ශවයන් වෙත සංස්ථා ඉඩම් බදු දුන් පසු සංස්ථාවට කිසිදු බැඳීමක් ඇත්තේම නැති ද?

ඇයි නැත්තෙ? මේ ලෙසට බදු ගිවිසුම්වලින් පසුව සංස්ථාවට වාර්ෂිකව ලැබිය යුතු බදු මුදල් පැහැරහැරීම් සිදුවෙලා තියෙනවා. ඒ අනුව මේ වනවිට රජයේ සහ පෞද්ගලික රූපවාහිනී ආයතන ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සමාගම්වල සම්ප්‍රේක්ෂණ කුලුනු ඉදිකිරීම් සහ වෙනත් කටයුතු වෙනුවෙන් බදු දී ඇති අක්කර 3700ක් සඳහා ලැබීමට තිබෙන හිඟ ආදායම රුපියල් මිලියන 100ක් පමණ වෙනවා. වැදගත්ම කාරණාව වන්නේ මේසා විශාල මුදලක් ගොඩගැසෙන තෙක් කිසිදු පාලකයකු සංස්ථාවට අයකරගැනීමට උනන්දුවක් දක්වා නැහැ. අපි එම මුදල වහාම අයකරගැනීම උදෙසා මේවනවිට ක්‍රියාකරමින් සිටිනවා. ඒ අනුව රුපියල් මිලියන 16.68ක් ලබා ගැනීමට කටයුතු කළා. ඒ විතරක් නොවෙයි, වසර 30ක් සඳහා බදු දී තිබූ දෙමටගොඩ ගබඩාව, ඇමසන් ට්‍රේඩින් සමාගම සමඟ එකඟතාවයෙන් වසර 05ක් සඳහා කාලය කෙටිකර ගැනීමත්, ලක්ෂ 04, 05ක් වූ මාසික බදු කුලිය රුපියල් ලක්ෂ 10.5 දක්වා වැඩිකර ගැනීම අපි ලැබූ ජයග්‍රහණයක්.

 

Q වතු විකුණන්නට රජය කටයුතු කරනවා කියන්නේ ඇත්තද?

කිසිසේත්ම නැහැ. 2002 වර්ෂයේ සිට පෞද්ගලීකරණය කර තිබූ හෙක්ටයාර් 1000කට ආසන්න වෛයිතලාව වත්ත නැවත පසුගිය ජූනි 22දා අපි පවරාගත්තා. ඒවා ගැන කථාකරන්න කවුරුවත් නැහැ. කම්කරුවාගේ ලයින් කාමරය වෙනුවට ලැබෙන පර්. 07ක ප්‍රමාණයට අමතරව අක්කර 01ක් වගාකටයුතු වෙනුවෙන් බදු පදනම යටතේ නිදහස් කිරීමටත්, ගම්වාසීන් වෙනුවෙන් බදු පදනම යටතේ වගා කටයුතු සඳහාත්, දේශීය ආ‍යෝජකයින් වෙත සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඉඩම් නිදහස් කිරීමටත්, රජය නව ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවා.

 

Q සංස්ථාවේ ඉදිරි ගමනට ගන්නා වූ වෙනත් ක්‍රියාමාර්ග මොනවා ද?

ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම තුළ වාණිජ දැව නිස්සාරණයෙන් පසුගිය වසර තුළ රුපියල් මිලියන 18ක පමණ ආදායමක් ලබාගැනීමට හැකිවුණා. විකිණීමේදී සිදුවන අපතේ යෑම වළක්වා ගැනීමට උපරිමයෙන් ක්‍රියාකරනවා වගේම නිසි අධීක්ෂණ කටයුතු සිදුකිරීම තුළින් එම ලාභ ඉපයීමට හැකිවුණා. එමෙන්ම වසර ගණනාවක සිට පොළවට දිරාපත්වන අබලි වාහන ඇතුළු අබලි කොටස්වලින් සැලකිය යුතු ආදායමක් ලබා ගැනීමට ද සැලසුම් තියෙනවා. ඒ වගේම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, විගණකාධිපති දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය වැනි ඉහළ ආයතනවලින් ලැබෙන නීත්‍යානුකූල නියෝග ක්‍රියාත්මක කරමින් රජය අපහසුතාවයට පත් නොවන ඕනෑම තීන්දුවක් ගැනීමට කිසිසේත්ම පසුබටවන්නේ නැහැ.

එපමණක් නෙමෙයි, 2006 වසරේ සිට බඳවාගැනීමේ කිසිම ක්‍රමවේදයක් තිබිලා නැහැ. නමුත් අපි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කර ගත්තා. ඒ අනුව වැටුප් කොමිසමේ ප්‍රසංශාවට පවා ලක්වුණා.

 

Q ආයතනයේ මූල්‍ය විනිවිධභාවය ගැන සෑහීමකට පත්විය හැකි ද?

වි‍ශේෂයක් අවශ්‍ය නැහැ. අභ්‍යන්තර විගණනය විධිමත්ව ශක්තිමත් කර තිබෙනවා. වංචාසහගත යමක් සිදුවෙනවා නම් ඒ තුළින් වැට බැ‍ඳෙනවා.

 

Q සංස්ථාවේ ඉදිරි ප්‍රතිසංස්කරණ මොනවා ද?

වසර 20ක් පමණ සේවක අර්ථසාධක, සේවක භාරකාර අරමුදල් මෙන්ම පාරි‍තෝෂික සඳහා ගෙවීම් අතපසුකර තිබෙනවා. රටට, ආර්ථිකයට දහදිය, කඳුළු හෙලූ මිනිසුන්ට පසුගිය පාලන කාලයන් තුළ කරපු විශාල වංචාවක් හැටියටයි මා මෙය දකින්නේ. රුපියල් මිලියන 181ක පාරිතෝෂික මුදල් පියවීමට තිබෙනවා. ඒත් සමඟ ආයතනයේ සමස්ත වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 1‍.2ක් වෙනවා. මේ ගැටලුව විසඳා නොගෙන සංස්ථාවට ඉදිරියට යන්න බැහැ. මගේ අරමුණ එය හැකි ඉක්මනින් භාණ්ඩාගාරයත් සමඟ එකඟතාවයෙන් නිමාකර ගැනීමයි.

රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක් නඩු ගාස්තු වශයෙන් මේ වසර තුළ පමණක් ගෙවීමට සිදුවෙලා තියෙනවා. පසුගිය පාලන කාලයන් තුළ ආයතනයෙන් පැහැර හැරුණු වගකීම් නිසා උසාවියේ වරෙන්තු නඩු 100කට අධිකව තියෙනවා. ආයතනය ඇදවැටී තිබෙන තත්ත්වය ගැන කියන්න මීට වඩා දේවල් අවශ්‍ය නැහැ. හිටපු පාලකයෝ කළ වැරදිවලට හිරේ යන්න වෙලා තියෙන්නේ අපිට. සේවක අර්ථසාධක (E.P.F), සේවක භාරකාර (E.T.F) ගෙවීම ආණ්ඩුවේ වගකීමක්. මම සභාපති හැටියට පත්වුන දවසේ පටන් ඒ සියල්ල අඩුවක් නැතිව ඉදිරියට ගෙවා ගෙන ආවා. නමුත් මගේ පුද්ගලික නමටත් උසාවියෙන් වරෙන්තු නිකුත් වෙලා. පොලිසිය අපිව ගෙනියන්න ගෙවල්වලට එනවා. මේවා නිසිපරිදි නොගෙවපු සභාපතිවරු ගෙවල්වල. ගෙවන සභාපතිගේ පුද්ගලික නමට නඩු.

 

Q ආයතනයේ මූල්‍ය කළමනාකරණය විදිමත් කළ බව ඔබ මුලින් සඳහන් කළා?

2013 රුපියල් මිලියන 25ක මූල්‍ය පිරිවැයක් දරා ඇති අතර 2015 එය රුපියල් මිලියන 10ක් ලෙසට පහත බැස තිබෙනවා. නමුත් අපගේ පාලනය යටතේ එය 2016 වසරේ රුපියල් මිලියන 07ක් ද, 2017 වසරේ මේ වනවිට රුපියල් මිලියන 3.5ක් වශයෙන් ද සමස්ත වියදම සටහන් වෙනවා. එය අපගේ උපදෙස් මත ආයතනයේ මූල්‍ය අංශයේ දක්ෂතාවය නිසාම බව සඳහන් කළ යුතුයි.

 

Q පාඩු ලබන ආයතනයක් ලෙස ලේඛනගත වී ඇති මේ ආයතනයේ පාඩුව හඳුනාගෙන තිබෙනවා ද?

2015 නොවැම්බර් අවසානයට සමස්ත පාඩුව රුපියල් මිලියන 184ක් ලෙස සටහන් වී තිබුණා. එය 2016 දෙසැම්බර් වනවිට මිලියන 90.45ක් දක්වා කළමනාකරණය කිරීමට හැකි වුණා. 2017 මේ වනවිට රුපියල් මිලියන 6.86ක් දක්වා අවමකරගෙන තියෙනවා. පසුගිය මැයි මාසයේ පමණක් රුපියල් මිලියන 1.4ක ලාභයක් ඉපයීමට පවා හැකි වුණා. එයින් රුපියල් මිලියන 0.7ක ලාභය ලැබුණේ තේවලින්. එය අප ලැබූ විශාල ජයග්‍රහණයක්. මේ තත්ත්වය මත ඉදිරි දෙසැම්බර් වනවිට අලාභය ශුන්‍ය කිරීමට හැකියාව පවතිනවා.

 

Q ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් තියේ ද?

ජීවත්වීමට කෑම ඕනෑනෙ. වත්තටත් ඒ වගේම පොහොර ඕනෑ. වත්තට හොඳට පොහොර දැම්මොත් ආදායම නැතිවෙන්නේ කොහොම ද? මේ වනවිට රුපියල් මිලියන 41.6ක් වැයකර මෙට්‍රික්ටොන් 110ක් පොහොර දුන්නා. ඉතුරු ටිකත් දෙනවා. එතකොට බලන්නකෝ වතු පාඩු වෙනවද කියලා. 

 

නව අදහස දක්වන්න