සිල්රෙදි නඩුවේ තීන්දුව අද | දිනමිණ

සිල්රෙදි නඩුවේ තීන්දුව අද

කුමුදු හෙට්ටිආරච්චි

සිල්රෙදි බෙදාදීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් සාවද්‍ය පරිහරණය ඇතුළු අධිචෝදනා ලැබ සිටින හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අයට එරෙහි නඩුවේ තීන්දුව අද (07) ප්‍රකාශයට පත්කෙරේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කෙරේ.

මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වා නීතිපතිවරයා  කොළඹ මහාධිකරණය හමුවේ පැවරූ ප්‍රථම නඩුව මෙය වේ.

2014 ඔක්තෝබර් 30 හා 2015 ජනවාරි 15 අතර කාලයේදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ එක්ව ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලක් විදුලි සන්දේශ පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව සිල්රෙදි බෙදාදීමේ වැඩසටහනක් සඳහා ජනාධිපති ලේකම් නමින් වූ ගිණුමකට ප්‍රේෂණය කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් විත්තිකරුවන් සිදුකර ඇති ‍බවට නීතිපතිවරයා චෝදනා නගා ඇත.

එම චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල විසින් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, හිටපු ජනපති සම්බන්ධිකරණ ලේකම් (ආගමික කටයුතු) වටිනාපහ සෝමානන්ද හිමියන් ඇතුළු සාක්කිකරුවන් විස්සකට වැඩි පිරිසකගේ සාක්කි මෙහෙයවන ලදී.

විත්තිය වෙනුවෙන් විත්තිකාර අනුෂ පැල්පිට මහතා විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් ‍ලබාදුන් අතර සාක්කි කූඩුවට නැග සාක්කි දුන් ලලිත් වීරතුංග මහතා ලබාදුන් සාක්කිය පැමිණිල්ලේ හරස් ප්‍රශ්නවලටද ලක්විය.

පැමිණිල්ලේ සහ විත්තියේ වාචික දේශන අවසානයේ ලිඛිත දේශන ද ගොනුකිරීමෙන් පසු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම විනිසුරුවරයා අද දිනට නියම කළේය. 

අදහස් 1ක් ඇත

මැයිදින රැලි පාගමන් වලට කෝටිගණන් වැය කලයි කියන, තව බොහෝ මුල්‍ය අක්‍රමිකතා වුනයි කියන විදේසගත අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනියා කලයි කියන තැන් වල අයට නඩුකෝ? ඒවායේ තින්දුව කෝ?

නව අදහස දක්වන්න