කතොත් මෙන්න කෑම | දිනමිණ

කතොත් මෙන්න කෑම

එදිනෙදා අප අනුභවයට ගන්නා ආහාර වර්ගවල සුපිරි ආදර්ශ, අප නොසිතන අන්දමේ අමුද්‍රව්‍ය යොදාගෙන සකස් කර, අප නොසිතන මිල ගණන්වලට අලෙවි කෙරේ. මේ එවැනි ආහාර දහයක් පිළිබඳ තොරතුරු ය.

1. මිලෙන් අධිකතම බර්ගර් වර්ගය

ඉහළ ම මිලකට අලෙවි වන බර්ගර් වර්ගය ලෙස හැඳින්වෙන්නේ 'ලී බර්ගර් එක්ස්ට්‍රාවැජන්ට්' යනුවෙනි. මේ වර්ගයේ බර්ගර් සකසන්නේ, අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි සෙරෙඩිපිටි - 3 යනුවෙන් නම් කර තිබෙන ආපනශාලවකි. බර්ගර් එකක මිල අමෙරිකා ඩොලර් 295ක් පමණ වන බව සඳහන් වේ. මේ වර්ගයේ බර්ගර් සකසන්නට යොදා ගන්නේ ජපන් වග්‍යු එළදෙනුන්ගේ මස් ය. ජපන් වග්‍යු එළදෙනුන්ගේ මස් සුවිශේෂ ආකාරයක් ලෙසසකස් කර යොදා ගැනේ. ඒ හැරුණු විට ජේම්ස් මොන්ට්ගෝමරි චීස්, බදින ලද බිත්තරයක් සහ තවත් රසකාරක වර්ග රැසක් බර්ගර් එකක් සැකසීමේදී යොදා ගන්නා බව සඳහන් වේ.

2.මිලෙන් අධිකතම

අතුරු පස වර්ගය

ඉහළ ම මිලකට අලෙවි වන අතුරු පස වර්ගය හැඳින්වෙන්නේ "Frrrozen Haute Chocolate" යනුවෙනි. මේ වර්ගයේ අතුරුපසවලින් එක් පුද්ගලයකුගේ අනුභවයට සෑහෙන තරමේ ප්‍රමාණයක් අලෙවි වන්නේ, අමෙරිකා ඩොලර් 25,000කට බව වාර්තා වේ. මේ සුවිශේෂ අතුරුපස වර්ගය සකසන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර පිහිටි සෙරෙඩිපිටි - 3 ආපන ශාලාව ය. යට කී අතුරුපස වර්ගය ඒ තරම් ඉහළ මිලකට අලෙවි වන්නේ, ආහාරයට ගත හැකි රත්‍රං සහ දියමන්ති ස්වල්පය බැගින් ඊට යොදා ඇති නිසා ය. මේ අතුරුපස වර්ගය අනුභවය පිණිස ආපනශාලාවෙන් ලබා දෙන්නේ, රනින් කරන ලද හැන්දකි.

3. ඉහළ ම මිලකට

අලෙවි වෑංජනය

'සමුන්දරී ඛසානා' නමින් හැඳින්වෙන වෑංජනය ඉහළ ම මිලකට අලෙවි වන වෑංජනය ලෙස සැලකේ. වෑංජන දීසියක් අමෙරිකා ඩොලර් 3200කට මිල කර ඇත. ‍මේ වෑංජනය මිලදී ගත හැක්කේ, එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පිහිටි බොම්බේ බ්‍රසීරි ආපන ශාලාවෙනි. 'සමුන්දාරී ඛසානා' යන වදනෙහි අරුත 'මුහුදු ආහාර නිධානය' යන්නයි. එකී අරුතට ගැළපෙන පරිදි මේ වෑංජනය සකස් කර ඇත. මුහුදු ගොලුබෙල්ලන්, පොකිස්රිස්සන්, කකුළුවන්, සුදු සුවඳ හතු, බිත්තර මෙන් ම, ආහාරයට ගත හැකි රත්‍රං ද යොදාගෙන එය පිළියෙළ කෙරේ.

4.වැඩි ම වටිනාකමක් ඇති

පීසා වර්ගය

ලොව මිල අධිකම පීසා වර්ගය නිපදවන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ඇති ඉන්ඩස්ට්‍රීස් කිචන් නමැති ආයතනයයි. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඉහළ ම වර්ගයේ චීස් වර්ග, ප්‍රංශයේ නිෂ්පාදිත රසකාරක ආදිය ද ආහාරයට ගත හැකි රත්‍රං ද යොදාගෙන, මේ පීසා වර්ගය සකස් කර තිබේ. පීසා එකක මිල අමෙරිකා ඩොලර් 2700ක් බැව් ගිනස් වාර්තාවල සඳහන් වේ. පසුගිය අප්‍රේල් මාසයේදී මේ පීසා වර්ගය හඳුන්වා දී ඇත.

5. මිලෙන් අධිකම හොට් ඩෝග්

අමෙරිකාවේ වොෂිංටන් නුවර ටෝකියෝ ඩෝග් ටුක් ඉන් සියැට්ල් ආපනශාලාව මිලෙන් අධිකම හොට් ඩෝග් වර්ගය නිපදවා තිබේ. එකී වර්ගයේ හොට් ඩෝග් එකක් අමෙරිකා ඩොලර් 169කට අලෙවි වේ. මිලෙන් අධිකම අමුද්‍රව්‍ය යොදාගෙන මේ හොට් ඩෝග් සකස් කෙරේ. මිල අධික වුවත් හඳුන්වා දුන් පළමු දිනයේදීම මේ වර්ගයේ හොට් ඩෝග් 6ක් පමණ අලෙවි වුණු බව වාර්තාවල දැක්වේ.

6. මිලෙන් අධිකම සුප් වර්ගය

මිලෙන් අධිකම සුප් වර්ගය සකස් කරන්නේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර කයි මේෆෙයාර් ආපනශාලාව ය. සුප් බඳුනක මිල අමෙරිකා ඩොලර් 190ක් පමණ වේ. මෝර වරල්, ජපානයේ නිෂ්පාදිත හතු, මුහුදු කැකිරි, කකුළුවන්, කුකුළු මස්, ඌරු මස් සහ තවත් බොහෝ දේ යොදාගෙන මේ සුප් වර්ගය සකස් කෙරේ. ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන, ස්වභාවික තත්ත්ව යටතේ සුප් වර්ගය පිළියෙළ කෙරෙන බැවින්, ආපනශාලාවට ගොඩවැදුනු සැණෙකින්ම ඇනවුම් කර, සුප් බඳුනක් ලබා ගන්නට ගනුදෙනුකරුවන්ට ඉඩක් නැත. පරිහරණයට ගන්නා දිනට, දින පහකට පමණ පෙර ආපනශාලාවට මේ සුප් ඇනවුම බාර දිය යුතු වේ.

7. මිලෙන් අධිකම සුෂී වර්ගය

සුෂී සකස් කරන්නේ සහ ආහාරයට ගන්නේ සාමාන්‍යයෙන් ජපනුන් ය. එසේ වුවත්, සුෂී රසය භුක්ති විඳින්නට කැමැති තවත් බොහෝ පිරිසක් ලෝ පුරා වෙසෙති. ඒ නිසා, සුෂී පිළියෙළ කිරීම සඳහාම කැප වී ක්‍රියාකරන සූපවේදීන්ට විවිධ ආකාරයේ සුෂී වර්ග සකසන්නට සිදුව තිබේ. ලොව මිලෙන් අධිකම සුෂී වර්ගය පිළියෙළ කර තිබෙන්නේ ඇන්ජෙලිටෝ අරනෙටා නමැති පිලිපීන ජාතික සුෂී සූපවේදියා ය. මේ සුෂී වර්ගයෙන් එක කොටසක් අමෙරිකා ඩොලර් 1978කට මිල කර ඇත. ආහාරයට ගත හැකි රත්‍රං, දියමන්ති මෙන් ම මුතු ද මෙකී සුෂී වර්ගය පිළියෙළ කිරීමේදී යොදාගෙන ඇත.

8. මිලෙන් අධික හැම්

මිලෙන් අධිකතම හැම් වර්ගය නිෂ්පාදනය කරන්නේ ස්පාඤ්ඤයේ ඩෙහෙසා මලඩුවා ආයතනයයි. මේ හැම් නිෂ්පාදනය කෙරෙන්නේ විශේෂයෙන්ම ඇතිදැඩි කරන ලද ඌරන්ගේ මස්වලිනි. වසර තුනකට ආසන්න කාලයක් ඌරන් ඉතා සෞඛ්‍යසම්පන්නව ඇති දැඩි කෙරෙන බව සඳහන් වේ. ඔවුන්ට කෑමට ලබා දෙන්නේ ඕක් ගස්වල ගෙඩි සහ මුල් පමණි. එසේ ඇති දැඩි කෙරෙන ඌරන්ගෙන් ලබා ගන්නා මස්, වසර හයක් පමණ පදම් කෙරෙ. මේ අන්දමට සකස් කෙරුණු මස්වලින් සැකසෙන හැම් රාත්තලක්, අමෙරිකා ඩොලර් 180ක් වැනි මුදලකට අලෙවි කෙරේ.

9.මිලෙන් අධිකම

සැන්ඩ්විච් වර්ගය

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර සෙරෙඩිපිටි - 3 ආපන ශාලාව සකසන සැන්ඩ්විච් වර්ගයක්, ලොව මිලෙන් අධිකම සැන්ඩ්විච් වර්ගය ලෙස සැලකේ. එයින් සැන්ඩ්විච් පෙත්තක් අමෙරිකා ඩොලර් 214ක් පමණ වන බැව් පැවසේ. චීස් , රත්‍රන් ආදිය යොදා සකසා ඇති මේ සැන්ඩ්විච් අනුභව කරන්නට කැමැති කෙනකු, පැය 48කට පෙර ඇනවුම ආපනශාලාව වෙත ලබා දිය යුතු ය. මේ වර්ගයේ සැන්ඩ්විච් සැකසීමේදී අතුරන්නේ බෙහෙවින් ම දුර්ලභ ගණයේ චීස් වර්ගයක් ය.

10.මිලෙන් අධික ම පලතුරු

කේක් ගෙඩිය

මිලෙන් අධික ම පලතුරු කේක් ගෙඩිය සකස් කර තිබෙන්නේ ජපානයේ සූපවේදියෙකි. මේ කේක් ගෙඩිය සකස් කිරීමේ සැලසුම මාස හයක කාලයක් පුරා ගොඩ නැගූ බව කියැවේ. කේක් ගෙඩිය සකසන්නට තවත් මාසයක පමණ කාලයක් ගත වී තිබේ. මේ කේක් ගෙඩිය දියමන්ති 223ක් යොදා අලංකාර කර ඇත. එහෙත්, කේක් ගෙඩිය සකසන්නට යොදාගත්තේ කවර ආකාරයේ වට්ටෝරුවක් ද යන්න හෙළි කිරීම සූපවේදියා ප්‍රතික්ෂේප කර ඇත. එනිසා, කේක් ගෙඩිය සකසා ගත්තේ කවර ආකාරයේ පලතුරු යෙදීමෙන්ද යන්න අනාවරණය නොවේ. කෙසේ වුවත්, මේ කේක් ගෙඩිය අමෙරිකා ඩොලර් මිලියන 1.65කට 2005 වසරේ නත්තල් සමයේදී අලෙවි විය.

මංජුලා විජයරත්න 

නව අදහස දක්වන්න