සාක් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය 06 දා මුළු දෙයි | දිනමිණ

සාක් කර්මාන්ත හා වාණිජ මණ්ඩලය 06 දා මුළු දෙයි

සාක් කර්මාන්ත හා වානිජ මණ්ඩලය නියෝජනය කරමින් ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින, ඇෆ්ගනිස්ථාන ව්‍යාපාරික ප්‍රධානීන් රැසක් මෙරටට පැමිණීමට නියමිතය. මේ මස 06 දා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්වෙන සාක් කර්මාන්ත හා වානිජ මණ්ඩල නි‍‍යෝජිත සමුළුව සඳහා මේ නියෝජිතයන් සහභාගි වීමට නියමිත වේ. මේ සමුළුවේ මූලික අරමුණ සාක් කලාපය තුළ සිදු කෙරෙන වෙළෙඳ කටයුතු වඩාත් පුළුල් කිරීම බව ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රුවන් එදිරිසිංහ මහතා පවසයි.

සාක් කර්මාන්ත හා වානිජ මණ්ඩලය නියෝජනය කරන මෙරට ප්‍රමුඛතම ආයතනය වන්නේ ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩලයයි. රුවන් එදිරිසිංහ සාක් කර්මාන්ත හා වානිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන උප සභාපතිවරයාවේ. වසර 16 කට වරක් මෙරටට හිමි වීමට නියමිත සහාපති ධුරය සඳහා 2018 වසරේ දී පත්වීමට නියමිතව සිටින්නේ හෙතෙමයි.

සාක් රටවල තිබෙන ප්‍රධානතම ගැටලුව මේ රටවල් අතර කෙරෙන වෙළෙඳ ගනු- දෙනු ඉතාමත් සීමිත මට්ටමක පැවතීමයි. මේ රටවල කලාපයේ සමීපතමයන් සමඟ කෙරෙන වෙළෙඳාම 5%ක ප්‍රමාණයක් බවයි හඳුනාගෙන තිබෙන්නේ. සාක් නායකයන් 1992 දී මේ පිළිබඳ ගත් තීරණයක් වී තිබු‍ණේ කලාපයේ ආර්ථික තත්ත්වය දියුණු කිරීමට නම් කර්මාන්ත හා වෙ‍‍‍ළෙඳ සහයෝගීතාව වැඩි දියුණු කළ යුතු බවයි. ඒ අනුව, තීරුබදු සහන මෙන්ම රටවල් අතර, ආනයන, අපනයන, ආයෝජන සඳහා ප්‍රවේශවීමේ සහන රැසක් ලබාදීමට රාජ්‍ය නායකයන් විසින් ගිවිසුම් මඟින් එකඟවී ති‍බෙනවා. ඒ අනුව කලාපය තුළ ව්‍යාපාරික අවස්ථා පුළුල් කර ගැනීමෙන් මෙරට ආර්ථිකයට අත් කර ගත හැකි ප්‍රතිලාබ බොහෝමයි.

රටක් වශයෙන් අපගේ ප්‍රධාන අපනයන නිෂ්පාදනය වන්නේ ඇඟළුම්. එය ද අගය එකතු කිරීමක් පමණයි. අපි රෙදි ගෙන්වන්නේ ‍විදෙස් රටවලින්. තේ, රබර්, පොල් වැනි සාම්ප්‍රදායික කර්මාන්ත වෙතින් විශාල වශයෙන් ලාබදායී නොවන්නේ වැය වන පිරිවැය විශාල නිසයි. මේ නිසා රටක් වශයෙන් නව කර්මාන්ත නව ආයෝජන අවස්ථා වෙත ප්‍රවේශවීමට සිදුවෙනවා යනුවෙන් ඒ මහතා මාධ්‍ය සාකච්ඡාව හමුවේ වැඩි දුරටත් පැවැසීය.

06 දා දවස පුරා පැවැත්වීමට නියමිත මේ සාකච්ඡා මණ්ඩපය හමුවේ මහ නගර සංවර්ධන ඇමැති පාඨලී චමිපික රණවක මහතා විසින් මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දැක්වීමට නියමිත අතර, මෙරට සංචාරක ව්‍යාපාරය හා එහි ආයෝජන අවස්ථා පිළිබඳ ද විශේෂයෙන් විදේශිකයන්ගේ අවධානය යොමු කිරීමට සැලසුම් කොට තිබේ.

මීට සමගාමීව මේ මස 07, 08, 09 තෙදින ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී සාක් රටවල වෙළෙඳ නියෝජිතයන් විසින් වෙළෙඳ ප්‍රදර්ශනක් ද පැවැත්වේ. මේ ප්‍රදර්ශනය ද ආනයන, අපනයන අවස්ථා දියුණු කිරීමේ අරමුණින් සංවිධාන කළ බව කර්මාන්ත හා වානිජ මණ්ඩලයේ සහාපති සරත් කහපලආරච්චි මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. 

නව අදහස දක්වන්න