ශ්‍රීලනිපයේ මෛත්‍රී යුගය | දිනමිණ

ශ්‍රීලනිපයේ මෛත්‍රී යුගය

1956 දේශපාලන වෙනස මාර්ටින් වික්‍රමසිංහ මහතා හඳුන්වන්නේ බමුණු කුලයේ බිඳවැටීමක් හැටියට ය. 1948 ශ්‍රී ලංකාව නිදහස ලබා ගන්නා විටද ජනතාවගේ බලාපොරොත්තු කිහිපයක් තිබිණි. එක; නිර්ප්‍රභූ පන්තියේ නායකත්වයක් ගොඩනඟා ගැනීම ය. දෙක; ස්වදේශික චින්තනයට හා එම වටිනාකම්වලට ප්‍රමුඛස්ථානය ලබා ගැනීම ය. තුන; රටට ගැළපෙන මැද මාවතේ ආර්ථික ප්‍රතිපත්තියක් සැලසුම් කර ගැනීම ය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ බණ්ඩාරනායක මහතා ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගන්නේ ඉහත සඳහන් මූලික සාධක සාක්ෂාත් කරගැනීම සඳහා යැයි කියන්නට පුළුවන.

අද එම පක්ෂය වසර හැට හයක දේශපාලන කාර්යභාරයක් ඉටුකර ඇත. එලෙසම පක්ෂයේ නායකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජීවන ගමන් ම‍ඟෙහි හැට හයවන සැතැපුම් කණුව ළඟ සිටී. මෙය දේශපාලනයෙහි ඓතිහාසික අවස්ථාවක් ලෙස ද සැලැකිය හැකි ය. එක අතෙකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රාහී අවස්ථාවක් සැමරීමට ද තව අතෙකින් සිය නායකයාගේ නොබි‍ඳෙනසුලු දේශපාලන ප්‍රතිපත්ති සැමරීමටත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අවස්ථාව ලැබී තිබේ. එය රටේ ඉදිරි ගමනට බලපාන දේශපාලන උත්තේජකයක් ලෙස ද සැලැකිය හැකි ය.

දේශපාලන ඉතිහාසය විමසන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කළ නියම නිර්ප්‍රභූ නායකත්වය ලැබී ඇත්තේ දැන් යැයි කියන්නට පුළුවන. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යනු රජරට ගොවි පුතෙකි. ඔහු කලක් රාජ්‍ය සේවය නියෝජනය කළේය. දේශපාලනයේ අත්දැකීම් බහුල සරල ගැමි ඇවතුම් - පැවතුම් ඇති එහෙත් සෘජු පුද්ගලයකු හැටියට ජනාධිපතිවරයා හැඳින් වේ. ඔහු පොදු ජනයා ද, පොඩි මිනිසාද හොඳින් වටහා ගත් තැනැත්තකු ලෙස ප්‍රකට ය. ඔහු සතු කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ මෙරට සුළු ජන කණ්ඩායම්වල පූර්ණ සහයෝගය භේදයකින් තොරව ලබා ගැනීමට හැකිවීම ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා හඳුන්වන්නේ රටේ දේශපාලන වෙනසක් ඇතිකළ නායකයකු හැටියටය. එහි ලා කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් පවතී. ඔහු එක අතෙකින් ඒකාධිපති හා ප්‍රචණ්ඩකාරී දේශපාලන රෙජීමයක් ජනතාවගේ ඡන්ද බලයෙන් වෙනස් කළේය. තව අතෙකින් රටේ ප්‍රධාන දේශපාලන ධාරා දෙක එක ආස්ථානයකට ගෙන එමින් සම්මුතිවාදී ආණ්ඩුවක් ස්ථාපිත කළේය. ඔහු තවත් අතෙකින් යහපාලන ප්‍රතිපත්ති ඔස්සේ අන්තර්ජාතික ප්‍රජාවගේ ප්‍රසාදය දිනා ගත්තේ ය. මීට පෙර අප පසුවූයේ කිසිඳු බලවත් රාජ්‍යයකින් වචනයක හෝ සහයෝගයක් නොලැබෙන තැනක ය. වත්මන් රාජ්‍ය පාලනය ඒ සියල්ල වෙනස් කිරීමට සමත්විය.

ලෝකයට ගැලපෙන හා ඔරොත්තු දෙන ආර්ථික ක්‍රමයක් ද, ස්වදේශික ජනතාවට තෘප්තිමත් විය හැකි දේශපාලන රටාවක් ද නිර්මාණය කිරීම අතිශය දුෂ්කර අභියෝගයකි. ශ්‍රී ලංකාව වැනි රටවල් ඊට මුහුණදෙන්නේ සංකීර්ණ පසුබිමක් තුළ ය. එක අතෙකින් බහු ආගමික හා බහු භාෂික සමාජ තිබේ. තව අතෙකින් ඇති - නැති පරතරය වර්ධනය වෙමින් තිබේ. දේශපාලන වශයෙන් ගත් කල තරුණ විප්ලව දෙකක් දකුණේ ද, ජනවාර්ගික යුද්ධයක් උතුරේ ද පැවැතිණි. මේවා කළමනාකරණය කරගත් ක්‍රමවේද බුද්ධිමත් ද යනු තවත් ප්‍රශ්නයකි. පශ්චාද් යුද සමය තුළ සිදු කළ යුතුව තිබූ බොහෝ දේශපාලන ප්‍රතිකර්ම ද ඉටු වී තිබුණේ නැත. මෙය ජනාධිපතිවරයාට මෙන් ම සම්මුතිවාදී ආණ්ඩුවට ද අභියෝගයකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවූ කාලයේ පැවැති ලෝක දේශපාලන හා ආර්ථික රටාව අද වන විට බොහෝ සෙයින් ම පරිවර්තනයට ලක්වී තිබේ. දේශපාලන බල කඳවුරු බිඳ වැටීම, අලුත් ආර්ථික කලාප බිහිවීම ඔස්සේ අද ගොඩනැගී ඇත්තේ වෙනස් ම දේශපාලන හා ආර්ථික රටාවකි. එහෙත් ශ්‍රීලනිපය ආරම්භ කරන යුගයේ පක්ෂයේ පැවැති අරමුණු අදටත් යුක්තිසහගත බව පෙනී යයි. නිර්ප්‍රභූ පන්තියට නායකත්වය ලබා දීම, ආර්ථිකයේ මැද මාවත වැනි අරමුණු ඒ අතර තිබේ. ලෝකය ඉස්මතු කරන නව ලිබරල් ආර්ථිකය හා අපේ මැදමාවත අතරද යම් සමානකම් තිබේ. මැදමාවතේ ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයේ නායකයන් පවා පිළිගන්නා බව ද අද දක්නට ලැබෙන සත්‍යයෙකි.

ශ්‍රීලනිප පාලනය යටතේ 1970 ගණන්වල දී මැද මාවත ක්‍රියාත්මක වූයේ රාජ්‍ය අංශය කෙරෙහි වැඩි බරක් තැබූ ආර්ථිකයක් ඔස්සේ ය. එය ලෝක ආර්ථික රටාව සමඟ නොපෑහුණු අතර ඒ ඔස්සේ ලබා ගත හැකි වූ විශාල ආර්ථික ජයග්‍රහණයක් ද නොතිබිණි. 1990 ගණන් වන විට ශ්‍රීලනිප නායකයන් මේ තත්ත්වය වටහාගෙන තිබිණි. 1994න් පසු විවෘත ආර්ථික ප්‍රතිපත්තිවලට මානුෂික මුහුණුවරක් ලබාදෙමින් මැදි මාවත ක්‍රියාත්මක විය. ශ්‍රීලනිපය අදටත් මහජන දේපොළ අලෙවි කිරීමට විරුද්ධ ය. රාජ්‍ය අංශය මුළුමනින්ම විසුරුවා හැරීමට ද විරුද්ධය. ස්වදේශික චින්තනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සටන්පාඨය බව මේ අනුව පෙනී යයි.

ඊයේ ශ්‍රීලනිපයේ හැට හයවන උපන්දිනය සැමරුවේ විශාල ජනසහභාගිත්වයක් ඇතිව ය. පක්ෂයේ නිර්ප්‍රභූ ජනතාව උද්දාමයකින් පසුවන බවක් ද පෙනෙන්නට තිබිණි. විවිධාකාර හැලහැප්පීම්වලට භාජනය වී තිබුණේ වුව පක්ෂය කෙරෙහි පොදු ජනතාව තුළ පවත්නා විශ්වාසය බිඳී ගොස් නැති බව සමරු උත්සවයෙන් දැකගන්නට ලැබිණි. දේශපාලන ව්‍යාපාරයකට වටින්නේ පොදු ජනයාගේ විශ්වාසය හා අභිමතය යැයි කියන්නට පුළුවන. මෛත්‍රීපාල සිරිසේන මහතා නායකයකු වශයෙන් පොදු ජනතාවගේ විශ්වාසය දිනාගෙන තිබේ. නායකයන් ඉ‍බේ පහළවන්නේ නැති බවද බලහත්කාරයෙන් ගොඩනැගිය නොහැකි බවද කියති. නායකයන් බිහිවන්නේ කාලයේ අවශ්‍යතාවට අනුව ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද දිගු ගමනක් යෑම සඳහා කාලයට ඔබින නායකයකු ලැබී ඇත.

නව අදහස දක්වන්න