සිලි කවර ඉවරයි ද? | දිනමිණ

සිලි කවර ඉවරයි ද?

පොලිතීන් තහනම ඊයේ සිට ක්‍රියාත්මක ය. පොලිතීන් රට තුළ විශාල ව්‍යාපාරයක් බවට පත් වී ඇති බැවින් ඊට විරුද්ධ පිරිසක් ද සිටිති. මේ අය නඟන ප්‍රශ්නය වන්නේ පොලිතීන්වලට විකල්ප කෝ? යන්න ය. පොලිතීන් යනු ආහාරයක් නො වේ. එය එක අතෙකින් රෝග කාරකයකි. තව අතෙකින් පරිසරය විනාශ කරන සාධකයකි. මේ දෙකෙන් ම සිදුවන්නේ ජන ජීවිතය අභියෝගයට ලක් කිරීමකි. මීට වසර තිහ - හතළිහකට පෙර අපේ සමාජයේ කිසිවකු පොලිතීන් භාවිත කළේ නැත. ප්ලාස්ටික් භාවිත කළේ ද නැත. ඒ වෙනුවට භාවිත කළ සියලු ඇසිරුම් ද්‍රව්‍ය දිරාපත් වන ‍ඒවා ය.

රටක නීතියක් පැන වූ විට එය අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් ජනතාවට නැත. දේශපාලකයාට පවා නීතිය පොදු ය. මීට දින කිහිපයකට ඉහත දී අමාත්‍යවරයකුගේ නිල නිවසේ නළ ජලය කපා හැරිණි. හේතුව බිල්පත් නො ගෙවීම ය. අමාත්‍යවරයාගේ සේවකයන් බිල්පත් ගෙවා රිසිට්පත ගෙනෙනතුරු හෝ නිලධාරීන් ඉවසා සිටියේ නැත. වහාම වතුර කපා හැරිණි. නීතිය ක්‍රියාත්මක විය යුත‍්තේ ඒ අයුරින් ය. ප්ලාස්ටික් හා පොලිතින් සඳහා වන නීතිය ද ඒ අයුරින් ම ක්‍රියාත්මක විය යුතු ය. ව්‍යාපාරිකයන්ට මේ නීතියෙන් රිංගා යෑමට ඉඩක් නො තැබිය යුතු ය.

අප දන්නා ප්‍රසිද්ධ නගර කිහිපයක හෝටල්වල පොලිතීන් හා ප්ලාස්ටික් භාවිත වන්නේ නැත. එම හෝටල්වල පිඟන් මත පොලිතීන් කොළ එළන්නේ නැත. මේස මත වතුර සහිත ප්ලාස්ටික් බෝතල් තබන්නේ ද නැත. මෙය සිදු වී ඇත්තේ පාරිභෝගික භවතුන්ගේ ඉල්ලීම මත ය. පාරිභෝගිකයන් පෙළගැසෙන්නේ නම්; ප්ලාස්ටික් - පොලිතීන් භාවිතය බොහෝ සෙයින් අඩු කළ හැකි ය. පොළට යන බොහෝ දෙනා පන්මලු රැගෙන යති. සමහරු හම්මලු රැගෙන යති. මුදලාලි පොලිතින් බෑගයකට දමා එළවළු දෙන විට පොලිතීන් බෑගය ප්‍රතික්ෂේප කොට තම මල්ල භාවිත කරන අය ද සිටිති. එය රටට ලබා දෙන ආදර්ශයක් සේ සැලැකිය හැකි ය.

බොහෝ දෙනා ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතයට හුරු වී ඇත්තේ විලාසිතාවකට මෙනි. පොලිතීන් කවර හා ප්ලාස්ටික් බෝතල් භාවිතයෙහි යම් පහසුවක් තිබේ. මේ පහසුවට ජනතාව හුරු වී සිටිති. එය ඇබ්බැහියක් යැයි කියන්නට පුළුවන. එහෙත් කිසිවකු එහි හානිය හරි හැටි වටහාගෙන නැත. ප්ලාස්ටික් බෝතලයක් මුහුදට ගසාගෙන ගිය පසු එය දිරන්නට පටන් ගන්නේ වසර හාරසියයක් පමණ ගතවීමෙන් පසු බව පර්යේෂණවලින් සනාථ වී ඇත. වසර හාරසියයක් යනු පරම්පරා කිහිපයකි. සමාජය භාවිත කරන ප්ලාස්ටික් තොගයට අනුව මෙයින් සිදුවන පරිසර හානිය වටහාගත හැකි ය.

ප්ලාස්ටික් හා පොලිතීන් දවා විනාශ කළ නො හැකි ය. එහි සුන්බුන් හා කැබලි අපේ පසට එකතු වෙයි. මේ ද්‍රව්‍ය දෙක ම දැවීමේදී මතුවන විෂ දුම පිළිකාකාරකයක් බව ද හඳුනාගෙන ඇත. පිළිකාව, ඇදුම හා තවත් රෝග මේ ආශ්‍රයෙන් ව්‍යාප්ත වෙයි. ඩෙංගු රෝගයට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස යෝගට් කෝප්ප හඳුනාගෙන ඇත. මේ කෝප්ප කානුවල ද, හිස් ඉඩම්වල ද, පාරවල් අයිනේ ද පිරී පවතී. දුම්රියේ යන මගියා ප්ලාස්ටික් වතුර බෝතලයක් මිලටගෙන එය පාවිච්චි කොට අවසානයේ හිස් බෝතලය රේල් පාරට වීසිකරයි. එය ඉවත් කරන කෙනකු නැත. වීදුරු බෝතලයක් නම්; මේ අයුරින් ඉවත වීසිකරන්නේ නැත. ඒවා එකතුකොට නැවත විකුණනු ලැබේ.

ඊජිප්තුවේ රසායනාගාරයක දී ප්ලාස්ටික් ආහාරයට ගන්නා පණුවකු නිර්මාණය කර තිබේ. මේ පණුවාගේ ජීර්ණ පද්ධතියට ප්ලාස්ටික් හොඳින් ගැළපෙන බව සොයාගෙන ඇතත්; පණුවන්ගේ මාර්ගයෙන් ගැටලුවට විසඳුමක් සොයාගත නො හැකි බව පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙති. එම පණුවන් බෝකළ හැක්කේ ද විශේෂ පරිසර පද්ධතියක් යටතේ ය. පණුවාගෙන් බෝවිය හැකි රෝග ගැන තව ම හෙළිදරව් වී නැත. මුහුදේ වසන බුද්ධිමත් සත්ත්වයකු වන ඩොල්පින් මාළුවාට ද ප්ලාස්ටික් තර්ජනයක් වී ඇති බව හෙළිදරව් වී තිබේ. ප්ලාස්ටික් ගිලදැමීම නිසා ඩොල්පින් මාළුවා වඳවෙන්නට පටන්ගෙන තිබේ. ප්ලාස්ටික් හා පොලිතීන් මිනිස් සමාජයට පමණක් නො ව; අනෙකුත් සත්ත්ව සමාජවලට ද අභියෝගයක් වී තිබේ.

වරක් කොළඹ නගරය වැසි වතුරෙන් යට වී ගියේ නොසිතූ අන්දමට ය. මේ තත්ත්වය ගැන කරුණු සොයා යන විට පැහැදිලි වූයේ වතුර බැස යන කානු පද්ධතිය පොලිතීන්වලින් හිර වී ඇති බව ය. ර‍ටේ බොහෝ නගරවල කානු පද්ධති තුළ ඇත්තේ ප්ලාස්ටික් බෝතල් හා සිලි කවර පොට්ටනි ය. නගරවල පමණක් නොව; ගෙවල්වල කසළ ගොඩවල් යට ද, කුණු මුල්ලේ ද ඇත්තේ පොලිතින් ගොඩවල් ය. සමහරු මේවා වළවල් කපා යට කරති. එහෙත් ඒවා දිරන්නේ නැත. මේ තත්ත්වය දිගට ම පැවතුණහොත් අපට සිදුවන්නේ ගහක් - කොළක් නැති මුඩු බිමක ජීවත්වීමට ය. පොලිතීන් හා ප්ලාස්ටික් නිසා අපේ ජල උල්පත් ද, ජල සම්පත ද විනාශ වෙමින් පවතින බව පෙනෙයි.

මේ අනතුර කලින් ම දුටු නායකයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හැඳින්විය හැකි ය. ජනාධිපතිවරයා පරිසරයට මහත් ඇල්මක් දක්වන නායකයෙකි. ඔහු ජලයේ වටිනාකම ගැන ද, ජලය අපතේ යැවීම ගැන ද නිතර කතා කරයි. පාරිසරික නීති තදින් ම ක්‍රියාත්මක කිරීමට ද උත්සාහ දරයි. එය මතු පරපුර සඳහා කරනු ලබන සත්-කාර්යයක් ලෙස සැලැකිය හැකි ය. අද බොහෝ නායකයන් තම පරිසරය ගැන නැවත කල්පනා කරන තැනකට පත් ව තිබීම සතුටට කරුණකි. චීනය ලොව අංක එකේ පරිසර දූෂකයකු වන්නේ වුව පරිසරය පිළිබඳ පැරිස් ගිවිසුමට අස්සන් කර තිබේ. එය ප්‍රතික්ෂේප කළේ අමෙරිකාවේ ජනාධිපතිවරයා ය.

අපේ වැදි නායකයෝ ද පොලිතීන් තහනම ගැන සතුටු වී සිටිති. ස්වභාවධර්මයේ නීතිය හොඳින් හඳුනන මේ පිරිස සෙසු සමාජවලට ආදර්ශයකි. පොලිතීන් හා ප්ලාස්ටික් තහනම රජය ගත් වැදගත් පියවරක් සේ සැලැකිය යුතු ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...