සම්මුතිවාදී ආණ්ඩුව වැටෙන්නේ නෑ | දිනමිණ

සම්මුතිවාදී ආණ්ඩුව වැටෙන්නේ නෑ

 කවුරුන් කෙලෙස විවේචනය කළත් පසුගිය වසර දෙකහමාර ප්‍රජාතන්ත්‍රවාදය, ස්වාධීනත්වය තහවුරු කළ වකවානුව බවත්, තමන් හා අගමැතිතුමා සමඟ පක්ෂ එක්ව පිහිටුවා ගත් සම්මුතිවාදී ආණ්ඩුව 2020 දක්වා ශක්තිමත්ව ඉදිරියට යන බවට තමන් තුළ විශ්වාසයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා ඒ බව පවසා සිටියේ ජනාධිපති මැදුරේ ඊයේ (30 වැනිදා) උදෑසන පැවැති විද්යුත් මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන්, කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ හමුවේදීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු යන මහත්වරු ද එක්වූහ.

ජනාධිපතිවරයා තවදුරටත් මෙසේ අදහස් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයට මේ සූදානම් වන්නේ පක්ෂයක් ලෙස ලබාගත් අත්දැකීම් මතයි. මෙතෙක් ආ ගමනේදී මුහුණ දුන් ප්‍රගතීන්, පසුබැසීම්, අභියෝග මෙන්ම ඒවා ඉදිරියේ නොසැලී උරදුන් ක්‍රියාවලිය හරහා අපේ රට ප්‍රජාතන්ත්‍රවාදීව, යහපාලනයක පාරිශුද්ධත්වය කරා යා යුත්තේ අංක එක මගේ රට යන්න දැඩිවම සිත් තුළ තබාගෙනයි.

මා පළමු තැන දෙන්නේ මගේ රට යන්නටයි. ඒ සඳහා පටු දේශපාලනයෙන් බැහැර වී ජනතාවාදී දේශපාලනයකට කැපවූ සාමුහිකත්වයට මුල්තැන දෙමින් ක්‍රියා කිරීමයි වැදගත් වන්නේ. ලොව දියුණු වූ රටවල් සියල්ලම වාගේ මේ පිරිසුදු බවටත්, කැපවීමටත් මුල්තැන දෙමින් ක්‍රියා කර තිබෙනවා.

2015 ජනවාරි අටවැනිදා මා ජය නොගත්තා නම් ලොව කොතනකවත් නැති අලුත්ම අත්දැකීමක් වූ සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවා නොගත්තා නම් අද අපේ රට කවර තැනකද යන්න විමර්ශන බුද්ධියකින් විමසිය යුතු වෙනවා. ඊට පෙර වකවානුව දිහා බලද්දී අපට පෙන්වා දෙන්නේ රට ආර්ථික මෙන්ම අන්තර්ජාතික ලෙස වැටී තිබුණ අගාධයයි. ශෝචනීය තත්ත්වයයි.

66 වැනි සංවත්සරයට පක්ෂයේ සභාපති ලෙස සැරසෙන්නේ එම ඛේදවාචකය වටහාගෙන අගමැතිතුමා සමඟ එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවාගෙන වසර දෙකහමාරක කාලවකවානුවේ ලද අත්දැකීම් මත සිටයි.

පසුගිය ආණ්ඩු කාලයේ අපේ රටේ දේශපාලන ආර්ථික ඛේදවාචකය හමුවේ සියලු අභියෝගයන්ට ඒ හරහා එල්ල වූ ජාත්‍යන්තර බලපෑම්, තර්ජන, යෝජනා, ඉල්ලීම් සියල්ලට මුහුණ දෙමින් නිදහස් රටක් ලෙස ගළපා ගනිමින් යහපත් අනාගතයකට ගමන් කළ හැකි පසුබිම ගොඩනඟන්නට සමත් වූ බව කියන්න පුළුවන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1951 සිට මේ දක්වාම ගමන් කළේ රටත්, ජනතාවත් වෙනුවෙන්. අන්තර්ජාතික සබඳතා ඇතිකර ගනිමින් මධ්‍යස්ථ පිළිවෙතක් සමඟ පුළුල් වගකීමක් සහිතවයි.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පැහැදිලි පරිවර්තනයක් ඇතිකළේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමායි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ ශක්තිමත් නායකයෙක් ලෙස එතුමා හඳුන්වන්න පුළුවන්.

අද රජයක් ලෙස අප මුහුණ දෙන්නේ එතුමා එදා මුහුණ දුන් අභියෝග ලෙස මා දකිනවා. එදා එතුමා එයට මුහුණ දුන් ලෙස පක්ෂයේ සභාපති ලෙස මමත් අද අභ්‍යන්තර මෙන්ම බාහිර අභියෝගයන්ට මුහුණ දෙනවා. අනාගතය දෙසත් මා බලන්නේ එලෙසමයි.

ඉන්පසු එළැඹුණු සිරිමා බණ්ඩාරනායක යුගය බල කඳවුරු බිහිවූ කාලවකවානුවක් 60 - 65 මෙන්ම 70 - 75 කාලපරිච්ඡේදයන් කොමියුනිස්ට් ආණ්ඩු ලෙස සැලකුණා. ජනසතු කිරීම්, කම්කරු අයිතීන් සුරැකීම වැනි ප්‍රගතිශීලී ක්‍රියා පිළිවෙත් සඳහා යොමු වූ කාලවකවානු.

මේ සති අන්තයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය සැමරිය යුතු වන්නේ එම අතීත අත්දැකීම් අනුව ප්‍රජාතන්ත්‍රවාදීව නාස්තිය, දූෂණය පිටුදැක පාරිශුද්ධත්වය අගයන රටක් ගොඩනැඟීම උදෙසා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. 

නව අදහස දක්වන්න