ක්‍රිකට් කිරිවලට ගොම බාල්දියක්! | දිනමිණ

ක්‍රිකට් කිරිවලට ගොම බාල්දියක්!

කාලයක් තිස්සේ අපේ ක්‍රිකට් ලෝලියා සිටියේ ප්‍රශස්ත තැනක ය. ඉන්දියාවේ ක්‍රිකට් ලෝලීන් පකිස්ථානු ක්‍රීඩකයන්ට හිස් වතුර බෝතල්වලින් පහර දෙන විට ඉන්දීය ක්‍රිකට් විචාරකයෙක් කියා සිටියේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගෙන් බොහෝ දේවල් උගත යුතු බව ය. අපේ ක්‍රිකට් ලෝලියාට ඒ තරම් ඉහළ පිළිගැනීමක් ලැබුණේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාව බුද්ධියෙන් විඳගත් නිසා ය. ක්‍රීඩාව යනු එක් අතෙකින් විඳීමකි. තව අතෙකින් දරා ගැනීමකි. එහි දී ජය - පරාජය යන දෙක ම එක සිතින්  භාරගත යුතුය. අපි ඊට හුරු වී සිටියෙමු. මෑතක් වනතුරුම අපේ ක්‍රිකට් ලෝලීන් කිසිදු ක්‍රීඩකයකුට අවමන් කළේ නැත. ක්‍රීඩාවට බාධා කළේ නැත.

මේ හොඳ නම හා චරිත සහතිකය පසුගියදා ඉතා සාහසික ලෙස උල්ලංඝනය කෙරිණි. එය හඳුන්වා තිබුණේ කිරි කලයට ගොම මිශ්‍ර කළා යන උපහැරණය සහිතව ය. අපේ ක්‍රිකට් ලෝලීන් හිටිහැටියේ සාහසික වූයේ කෙසේ ද? ඉන්දු - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගයේදී හූ හඬක් නැගිණි. ක්‍රීඩා පිටියට වතුර බෝතල් හා තවත් සුන්බුන් වීසි කෙරිණි. මෙය රටට සිදු කළ අවමානයක් ලෙස ද, අපේ ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කළ මඩ ප්‍රහාරයක් ලෙස ද සැලැකිය හැකි ය. ශ්‍රී ලංකා පිල දිගින් - දිගට ම පරාජයන් අත්කරගන්නා බව සැබෑවකි. ඊට විසැඳුම් සෙවිය යුත්තේ හූ සංග්‍රහවලින් හෝ වතුර බෝතල්වලින් හෝ නොවේ. අනෙක් අතට විදේශීය ක්‍රීඩකයන් අපහසුවට පත් කිරීම කිසිසේත්ම නොකළ යුත්තකි.

සමාජ වෙබ් අඩවි හරහා ද, කටකතා ඔස්සේ ද අපට දැකගන්නට ලැබුණේ පරාද වෙන්නට නම්; නුවර එන්න එපා යන තර්ජනාත්මක උද්ධෘතයයි. ජාතිය හා ආගම මූලිකකොට අන්තවාදී කණ්ඩායම් බිහි වූ බව පසුගිය කාලය පුරාවට අපට දැක ගන්නට ලැබිණි. මේ කණ්ඩායම්වලට පසුගිය රජයේ බලධාරීන්ගේ අනුග්‍රහය පවා ලැබිණි. එම කණ්ඩායම් රටට හා ජාතියට සිදුකළ හානිය බලවත් ය. එබඳු ම කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ ද බිහිවන්නේ නම්; එය අතිශය භයානක ය. දැන් පවතින තත්ත්වයට අනුව ක්‍රිකට් ලෝලීන් අතර චණ්ඩි සිටිති. අන්තවාදීහු ද සිටිති. මේ පසුපස දේශපාලනයක් තිබෙන්නට පුළුවන. බලධාරීන් කළ යුත්තේ ඒ පිළිබඳ සෙවිල්ලෙන් සිටීම ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යම් පසුබෑමකට ලක් වී ඇති බව පිළිගත යුතුය. ඊට විවිධ හේතු තිබෙන්නට පුළුවන. කළ යුත්තේ එම හේතු -සාධක සොයා පිළියම් යෙදීම මිස ක්‍රිකට් කණ්ඩායමට තර්ජනය කිරීම නොවේ. අනෙක් අතට විදේශීය තරග කඩාකප්පල් කිරීම නොවේ. ක්‍රිකට්වලට දේශපාලනය රිංගා ඇතැ’යි සමහරු තර්ක කරති. ක්‍රිකට් පාලනය දුර්වල යැයි තව සමහරු කියති. අපේ කණ්ඩායම ප්‍රතිසංවිධාන කළ යුතු යැයි තවත් සමහරු පෙන්වා දෙති. මේ කිසිවකට චණ්ඩිකම්වලින් පිළිතුරු සැපයිය නොහැකි ය. ක්‍රිකට් නිසා ශ්‍රී ලංකාවට බොහෝ දේවල් ලැබී ඇති බව අමතක නොකළ යුතු ය. ක්‍රිකට් ක්‍රීඩාවත් එහි උසස් ප්‍රමිතියත් රැක ගැනීම අපගේ වගවීමක් සේ සැලැකිය හැකි ය.

අපේ කණ්ඩායමේ නවක ක්‍රීඩකයන් දෙස බැලුවහොත් ඔවුන් අදක්ෂයන් යැයි කියන්නට බැරි ය. ඒ බව සෑම තරගයකදීම පාහේ තහවුරු වී ඇත. විවේචන එල්ලවන්නේ ඇත්දැකීම් ඇති පරණ ක්‍රීඩකයන්ට ය. විශේෂයෙන් පන්දු යවන්නන්ට ය. කිසිම ක්‍රීඩකයකුට ජීවිත කාලය පුරා ක්‍රීඩාවේ රැඳී සිටිය නොහැකි ය. කාලය, වයස, තාක්ෂණය, ජවය ආදී කරුණු මත ක්‍රීඩකයන් සාර්ථක වන්නට පුළුවන. අසාර්ථක වන්නටත් පුළුවන. මේ දෙක ම භාරගත යුතු ය. දිගින් - දිගට ම අසාර්ථක වන්නේ නම් ඊට අවශ්‍ය ප්‍රතිසංවිධාන කළ යුතුය. ඒ සඳහා ක්‍රිකට් පාලනයට අයිතියක් තිබේ. ක්‍රීඩකයන් ඊට එරෙහි නොවිය යුතුය. පුහුණුකරුවන් පවා කාලයේ තාලයට තෝරාගැනීමේ අයිතිය කළමනාකාරිත්වයට තිබේ. ඊට බලපෑම් කිරීම වැරැදි ය.

පාකිස්ථානයේ ලාහෝර් නුවර දී ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාව දිනාගන්නා විට අපේ කණ්ඩායම සිටියේ ඉතා ශක්තිමත් තැනක ය. අපේ කණ්ඩායමේ පෙළ ගැස්ම, තාක්ෂණය හා තීන්දුගැනීම පිළිබඳ ලෝක මට්ටමින් අගනා විචාර ඉදිරිපත් විය. එහෙත් වැඩිකල් යෑමට පෙර අපේ කණ්ඩායම ශීඝ්‍ර පසුබැසීමකට ලක් විය. නැවත විස්සයි - විස්ස ලෝක කුසලානය ලබාගන්නා විට යළිත් අපේ කණ්ඩායම ශක්තිමත් තැනක පසු විය. ක්‍රිකට්වල ස්වභාවය එය යැයි කිව හැකි ය. අද පෙරමුණේ සිටින කණ්ඩායමක් හෙට අන්තිමයා වන්නට පුළුවන. සිදුවිය යුත්තේ අන්තිමයා වීමට බලපෑ හේතු සාධක සොයා ඒවාට විසැඳුම් සොයා ගැනීම ය. ක්‍රීඩකයන්ට බැණ වැදීමෙන් පමණක් ජයග්‍රහණ ලබාගත නොහැකි ය.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිගින් - දිගට ම පසුබෑමට ලක් වූ අවස්ථා තිබිණි. පාකිස්ථානු කණ්ඩායමේ තත්ත්වය වුව ඊට වෙනස් නැත. අද මේ කණ්ඩායම් දෙකම ප්‍රබල ස්ථානයක පසු වෙති. ‍හේතුව තමන්ගේ දුර්වලතා හඳුනාගෙන ඒවාට විසැඳුම් සෙවීම ය. ක්‍රිකට් යනු උපායමාර්ග සහිත ක්‍රීඩාවකි. ඒ අනුව නිරන්තර පුහුණුව අතිශයින් ම වැදගත් වේ. පුහුණුවීම්වලදී විනයගරුක ලෙස කටයුතු කිරීම අපේ ක්‍රීඩකයන් අතින් සිදුවන්නේ ද යනු සොයා බැලිය යුතු කාරණයෙකි. සමහරු උඩ පන්දු අත හරිති. සමහරු පන්දු යැවීම සඳහා නියමිත කාලයට වැඩි කාලයක් ගනිති. මේවා වැරැදි ලෙස දැකිය යුතුය. අවශ්‍ය වන්නේ පිළිතුරු බැඳීම නොව අඩුපාඩු සකස් කර ගැනීම ය.

මහජනයාට ක්‍රිකට් කණ්ඩායම් නිර්මාණය කිරීමට හැකියාවක් නැත. ඔවුන් කළ යුත්තේ සන්සුන්ව ක්‍රීඩාව නැරඹීම ය. නැතහොත් විඳීම ය. ඉන්දු - පාකිස්ථානු තරගයක දී දිගින් - දිගට ම පාකිස්ථානය දුර්වල වනු දුටු පාකිස්ථානු ක්‍රිකට් ලෝලීහු පිරිසක් රූපවාහිනියට පොලුවලින් පහර දී විනාශ කළහ. මේ සිද්ධිය සමාජ වෙබ් අඩවි ඔස්සේ මුළු ලෝකයම නැරඹූහ. සිද්ධියෙන් ප්‍රදර්ශනය වූයේ ක්‍රිකට් ලෝලීන්ගේ අඥානකම මිස අන් දෙයක් නොවේ. මේ දර්ශන පෙළ නැරඹූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීහු ඊට සිනාසුණහ. ඒ මීට ටික කලකට පෙර ය. වැඩි කාලයක් යන්නට මත්තෙන් අපේ ක්‍රිකට් ‍ලෝලීහු ඒ දෙයම කරන්නට පටන් ගත්හ. ශ්‍රී ලංකාවේ දී රූපවාහිනී විනාශ නොවූවද, ගෙවල් ගිනි තැබීම් සිදු නොවූව ද ඊට සමාන ආරම්භයක් ගෙන තිබේ. මෙය අපේ ක්‍රිකට් ඉතිහාසයේ කළු පැල්ලමකි. මේ පැල්ලම මැකිය හැක්කේ කෙසේ ද?


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...