කට්ටඬින්ගේ ‍දේශපාලනය | දිනමිණ

කට්ටඬින්ගේ ‍දේශපාලනය

මිනිසුන්ට යකුන් වැහෙන බව කට්ටඩියෝ කියති. බොහෝවිට එසේ වන්නේ නූගත් ගැමියන්ටය. යකා වැසී ඇති බව කියන්නේ කට්ටඩියාම ය. යක්ෂ දෝෂ භූත දෝෂ, හූනියම් ආදී නොයෙකුත් අපල ගැන ඔවුහු කියති. එවිට පිහිටට ඉන්නේ කට්ටඩියාමය. කට්ටඩියා කියන විදිහට සියල්ල කළ යුතුය. එසේ නොකළහොත් මහා විනාශයක් වන බව ඔවුහු මවා පෙන්වති.

ඒවා විශ්වාස කරන උදවිය බියපත්ව හා භක්තියෙන් යුතුව කියනදේ කරති. යකුන්ට වෙන දෙයක් ගැන දැනගන්නට නැතත් කට්ටඩියන් ජීවත්වන්නේ එවැනි කතා කීම මගිනි. කට්ටඩියන් නැති නගරයේ ජනයාට යකුන් වැහෙන්නේවත් අපල උපද්‍රව සිදුවන්නේවත් නැත. ඇත්තටම වන්නේ කට්ටඩියන් විසින් යකුන් මවා පෙන්වීමය. ඒ නූගත් ජනයා ගසා කෑමටය.


බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමෙන් පසුව

මෙබඳුම කට්ටඩියන් පිරිසක් දේශපාලනයේද සිටිති. ඔවුහු ද ජනතාවට යකුන් මවා පෙන්වති. යකුන් පන්නන්න ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වෙති. එම කතා විශ්වාස කරන ජනතාවක් වෙතෙ‍ාත් ඔවුන්ගෙන් තම අවශ්‍යතා ඉටුකර ගනිති. එක කතාවක් වැරදුන ද තවත් කතාවක් කියා රැවටිල්ල දිගටම කරගෙන යාම මේ දේශපාලන කට්ටඩින‍්ගේ ක්‍රමවේදයයි.

කුමන්ත්‍රණ බිය

නවසිය හැත්තෑව මැතිවරණය පැවැතියේ රෝහණ විජේවීර මහතා රට වටා යමින් තම ව්‍යාපාරයට තරුණයන් බඳවා ගනිමින් සිටියදීය. ඒ කාලයේ මේ තරුණයන්ට විජේවීර කීවේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරදින නමුත් ආණ්ඩු බලය අත් නොහරින බවයි. හමුදා කුමන්ත්‍රණයක්කොට බලයේ රැඳී සිටින බවයි.

එයට ඇමරිකන් අධිරාජ්‍යවාදීන් සමඟ කුමන්ත්‍රණයක් කොට ඇති බවයි. එම කුමන්ත්‍රණයට මුහුණදීම සඳහා තම ව්‍යාපාරය වහ වහා ගොඩනැගිය යුතු බවත් ආයුධ සන්නද්ධ වියයුතු බවත් විජේවීර කීවේය. “මව්බිම නැත්නම් මරණය අපි ජයගන්නෙමු” සටන්පාඨය ද තරුණයන්ගේ ඔළු තුළට ඇතුළු ක‍ෙළ්ය. විශාල තරුණ ව්‍යාපාරයක් ගොඩනගාගත්තේ එහෙමය.

මහ මැතිවරණය අවසන් විය. එජාපය පරාජය විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය එකතුවී සමගි පෙරමුණු රජය පිහිටුවීය. කුමන්ත්‍රණය සිදුවූයේ නැත. එම කැරැල්ලේ නායකයකුව සිටි සෝමපාල ගුරුසිංහ මහතා කියන්නේ ටික දිනක් යනකල් පක්ෂයේ වැඩ අකර්මන්‍ය වූ බවයි.

අලුත් න්‍යාය ආවේ එවිටය. එයින් කියැවුණේ එජාපය කුමන්ත්‍රණයකට සූදානම් වී සිටි බවත්, එයට මුහුණදීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වී ඇති බව දැනගත් නිසා එම අදහස අත්හැර දැමූ බවත්ය. තමන්ට වීරත්වයක් ආරෝපනය කරගනිමින් යළිත් අර තරුණයෝ ක්‍රියාත්මක වූහ. එදා එම ව්‍යාපාරයේ නායකයෝ අර තරුණයන්ට කීවේ හමුදාවේ, පොලිසියේ ගඩොලක් ගානේ අපේ මිනිස්සු ඉන්නවා කියායි. එම දේශපාලනයේ අවසානය කුමක් වේදැයි දැන් අපි දනිමු.

කට්ටඬියාගේ භූමිකාව

රෝහණ විජේවීර මහතා ගැන කතා කළේ එක් උදාහරණයක් ලෙස පමණකි. මෙය අප රටේ බොහෝ දේශපාලනඥයන් දිගින් දිගට කරගෙන ගොස් තිබෙන උපායමාර්ගයකි. එහිදී කෙරෙන්නේ කට්ටඩියාගේ කාර්යයයි. යක්ෂයකු, භූතයකු හෝ බිල්ලකු මවා පෙන්වීමයි. එය පිළිගතහොත් එයට එරෙහිව සටනට ඉදිරිපත්වන එම දේශපාලනඥයන්ට අප සහය දිය යුතුය.

ඔවුන් කියන්නේ මහා විනාශයකින් රට ජාතිය බේරාගැනීම තමන්ගේ අරමුණ බවයි. එසේ කියමින් කරන කියන දෙයින් බොහෝවිට සිදුවන්නේ රට අනතුරේ හෙළීමයි. ප්‍රපාතයට ඇදගෙන යාමයි. රටේ ප්‍රශ්න විසඳීමට තිබෙන මාර්ග අවහිර කිරීමයි. තිස් අවුරුදු විනාශකාරී යුද්ධයකට රට ඇ‍දගෙන ගියේ දේශපාලනඥයන්ගේ මෙබඳු පහත් ක්‍රියා මගිනි.

බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම හෝ ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම හෝ ක්‍රියාත්මක කරන්නට ජාතිවාදී දේශපාලනඥයෝ ඉඩ නොදුන්හ. එයට සංඝයා වහන්සේලා ද සම්බන්ධ කරගැනීමට තරම් ඔවුහු දක්ෂයෝ වූහ. දෙමළ භාෂාවට තැනක් දීම හඳුන්වාදුන්නේ මහා විනාශයක් වශයෙනි. පාරේ දුවන වාහනයේ ශ්‍රී අකුර නැතිවුණෙත් එය සිංහලයාගේ විනාශයක් බව කීහ. ජාතිවාදී ගින්න ඇවිලවූයේ එහෙමය.

රජිව් ගාන්ධි ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළේ අප රට බෙදීම වළක්වන්නටය. පළාත් සභා ක්‍රමයෙන් ප්‍රශ්නය ඉවර කරන්නටය. හමුදාව එව්වේ අපේ හමුදාව කළ සටන භාරගන්නටය. ප්‍රභාකරන්ට තේරුණු මේ දේශපාලනය දකුණේ ‍දේශපාලනඥයන්ට ද නොතේරුණා නොවේ. එසේ වුවද ඇත්ත කීවොත් ජනතාව අවුස්සන්නට බැරිය. කියන්න ඕනෑ “ඔන්න රට බෙදනවෝ, ස්වෛරීභාවය අනතුරේ කියාය. මිනිසුන් බියපත්කර ඔවුන්ගේ දේශපාලනයට පො‍ළඹවා ගන්නට හැකිවන්නේ එවිටය.

විදේශ ආයෝජන භීතිකාව ද මේ දේශපාලනයේම කොටසකි. කටුනායක ‍නිදහස් වෙළෙඳ කලාපය ඇතිකරනවිට කීවේ වහල් කලාපයක් කියාය. අප රටේ නීතියට ද යටත් නැති බවය. ස්වෛරීභාවයට හානියක් බවය. ඒ බොරුව ජනතාවට තේරුණේ නිදහස් වෙළෙඳ කලාපය ක්‍රියාත්මක වෙද්දීය. දැන් රටේ විවිධ ‍තැන්වල නිදහස් වෙළෙඳ කලාප හදන්නේ කිසිදු විරෝධයකින් තොරවය.

ජාතික සම්පත් විකිණීම කියා තවත් කතාවක් කියති. ඒ කියන්නේ මේ රටේ සංවර්ධනයට අවශ්‍ය පරිදි විදේශ ආයෝජන ගෙන ඒම ගැනයි. මේ කට්ටඩි දේශපාලනඥයන්ට අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි රටේ මහා සම්පතකි. එය පැහැර ගැනීමට අමෙරිකාව සහ වෙනත් බලවතුන් බලාසිටින බව කියති. එසේ වුවද ඒවා වසර හැත්තෑවක් තිස්සේ දිරාපත් වන්නේ රටට කිසිම වාසියක් නැතිවය.

එයින් කොටසක් හෝ ප්‍රයෝජනයට ගත්තේ පසුගිය එජාප පාලනය සමයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු ආණ්ඩුවෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් ඉතිරිටික සංවර්ධනය කරන්න බැරිවිය. දැන් එය කරන්න යනවිට කියන්නේ ද රටට හානිකර බවයි. මේවා අපට කරන්න පුළුවන් බව කියන්නේ මෙතෙක්කල් කිසිවක් කළ නොහැකිව අතහැර දමා තිබූ අයුරු ගැන නොදන්නවා වගේය.

හම්බන්තොට වරාය ගැන කතාව තවමත් අවසන් කොට නැත. කියන්නට යන්නේ මෙය විකිණීමක් බවයි. අනූනව අවුරුදු බදු දීම විකිණීමක් ම බව කියන්නේ ඔළුවේ අතගසා ගනිමිනි. මෙලෙස ඉඩම් බදු දීම සුද්දාගේ කාලයේ පටන් තිබුණු බව නොකියති. කොළඹ හා රටේ වෙනත් තැන්වල විවිධ සමාගම්වලට මෙලෙස ඉඩම් බදුදී ඇති බව නොදන්නවා වගේය.

ෆෝර්ට්සිටියේ ඉඩම් සින්නක්කරව විකුණන්න ගිවිසුම් ගහනවිට දෙපැත්තම වසාගෙන හිටි උදවියට දැන් ප්‍රශ්නය හම්බන්තොටයි. ගෙවන්න බැරි තරමට චීනුන්ට ණයවී හම්බ‍න්තොට චීනුන්ටම බදු දෙන්නට ගිවිසුම් ද ගැසූ උදවියට අද එය මහා විපතක් ලෙස පෙනෙන්නේ මැරිලා උපන් නිසාදැයි කියන්න දන්නේ නැත. අනෙක් අතට “එක තීරයක් එක මාවතක්” වැඩ සටහනක් තියෙන්නේ චීනයටයි. හම්බන්තොට සංවර්ධනය කිරීමේ වැඩිම හැකියාව ඇත්තේ ඔවුන්ටය. අපගේ දේශපාලන කට්ටඩීන්ට ඒ කිසිවක් අදාළ නැත.

අප අතේම තියාගෙන හම්බන්තොට දියුණු කරන හැටි අපට කියාදෙන්නට සමහරු ඉදිරිපත්ව සිටිති. වසර ගණනක් තිස්සේ මෙය නැව් නොඑන වරායක් ලෙස පාඩු ලබමින් තිබියදී මේ උපදේශකයන්ට මොළය පැදි නොතිබුණා විය හැකිය. කෙසේ වෙතත් හම්බන්තොට සංවර්ධනය දැන් තීන්දුය. ඒ ශ්‍රී ලංකා චීන ඒකාබද්ධ ව්‍යාපාරයක් වශයෙනි. ඇත්තවශයෙන්ම මෙම දේශපාලන කට්ටඩින් බියට පත්ව සිටින්නේ හම්බන්තොට සංවර්ධනය වනවාටය. අවසානයේ සිදුවන්නේ නිදහස් වෙළෙඳ කලාපයට හා අතීතයේ එබඳු ව්‍යාපෘතිවලට විරුද්ධවීම පුස්සක් වූ ආකාරයටම හම්බන්තොට විරෝධය ද පුස්සක් වීමයි.

චීනය සමඟ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අනෙක් ප්‍රතිඵලය නම් තවත් රටවල් මෙම සංවර්ධනයේ කොටස්කරුවන් වීමට ඉදිරිපත්වීමයි. දැන් සිදුවෙමින් තිබෙන්නේ ඒකයි. චීනුන් සමඟ එක්වූවිට හම්බන්තොටට ව්‍යාපාර ගෙන්වාගත හැකිවන බව වෙනත් රටවල ආණ්ඩු මෙන්ම ආයෝජකයෝ ද දනිති. ඔවුන් දැන් නොයෙකුත් ව්‍යාපෘති සඳහා ඉදිරිපත්වීමට පටන්ගෙන තිබෙන්නේ ඒ නිසාය.

මත්තල සංවර්ධනය

හම්බන්තොට සංවර්ධනයට චීනය සම්බන්ධ කර ගැනීමේ පළමු වාසිය ලෙස මත්තල ගුවන් තොටුපළට ද ඉල්ලුමක් ලැබී ඇති බව වාර්තා විය. හම්බන්තොටට ආයෝජන එනවිට මත්තල ද සංවර්ධනය කිරීමට වැඩි අවස්ථා උදාවන බව පැහැදිලිය. එයට දැන් යෝජනාවක් ඉදිරිපත්කොට තිබෙන්නේ ඉන්දියාවයි. එයින් වී ගබඩාවක් බවට පත්ව තිබූ මත්තල ගුවන්තොට ද සංවර්ධනයට අවස්ථාවක් උදාවී තිබේ.

පසුගිය කාලයේ අප සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට කරගන්නට දෙයක් නැතිවය. පසුගිය කාලයේ එහි පාඩුව අඩු කරන්නට හැකිවුවද ලාභ ලබන ආසන්නයටවත් එන්නට හැකියාවක් නැති බව පැහැදිලිය. දැන් එයට ව්‍යාපෘති යෝජනාවක් රැගෙනවිත් තිබෙන්නේ ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාය. ඒ ජපානයේ ප්‍රධාන සමාගම් දෙකක් සමඟය.

එය ද අස්වැසිල්ලකි. මීට පෙර අවස්ථාවක මෙය එමිරේට්ස් ගුවන් සේවයට පවරනවිට ද මෙරට දේශපාලන කට්ටඩීන් මහා විනාශයක් ගැන කී බව ද මතක් කරගත යුතුය. පසුව එම සමාගම පන්නාගෙන දාගත් ලෙඩේ තරම ගැන නැවත කිව යුතු නැත. ප්‍රකෝටි ගණනක පාඩු පියවන ලද්දේ මෙරට ජනතාවගේ බදු මුදලිනි.

කළුතර, මිල්ලනියේ කර්මාන්තපුරයක් හදන්නට ඉදිරිපත්ව සිටින්නේ තායිලන්තයේ සමාගමකි. එමගින් කර්මාන්ත විශාල ගණනක් ගෙන්වා ගැනීමට හැකි බව කියති. කොරියානු හා ජපන් කර්මාන්තකරුවන් ද ගෙන්වාගත හැකි බව එම සමාගම පවසා තිබේ.

ත්‍රිකුණාමලය වරාය හා ඒ ආශ්‍රිත කලාපයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉන්දියාව, ජපානය හා සිංගප්පූරුව ඉදිරිපත්වන්නේ ද සමස්ත සංවර්ධන උපායමාර්ගයේ තවත් පියවරක් වශයෙනි. එයට ද ඊනියා දේශප්‍රේමී විරෝධයක් ගොඩනගන්නට උත්සාහ දරන බවත් පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත් ජනයාගෙන් එයට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.

මේ සිදුවෙමින් තිබෙන්නේ පසුගිය කාලයේ පම්පෝරි ගැසූ ආකාරයේ සෝබන සංවර්ධනයක් නොවේ. එකල සිදුවුණේ රට චීනුන්ට උකස් කර ණය ගනිමින් සංවර්ධනය කියා සෝබන වැඩ කිරීමයි. ඒවා කළේ හැම ව්‍යාපෘතියකින්ම විශාල මුදලක් කොල්ලකා‍ගන්නටය. හම්බන්තොටට, මත්තලට වියදම් කළ මුදල්වලට ගණන් හිලව් පෙන්වන්නට බැරිව තිබෙන්නේ ඒකය. තැන් තැන්වලින් මතුවන මාලිගා තැනී ඇත්තේ එලෙස කොල්ලකෑ මුදලින් බව මෙරට ජනතාවගෙන් හංගන්නට බැරිය. තවත් කොතරම් ධනයක් සඟවා ඇත්දැයි කිව‍ නොහැකිය. ඒ සියල්ල ජාතික අපරාධ බව අමුතුවෙන් කිව යුතු නැත.

නන්නත්තාර දේශපාලනය

විදේශීය ආයෝජන ගෙන්වා ගැනීමේ ප්‍රතිඵලය වන්නේ කල් යාමේදී එම ක්ෂේත්‍රවල දේශීය ව්‍යාපාර වර්ධනය වීමයි. ඇඟලුම් කර්මාන්තය එයට හොඳම උදාහරණයයි. චීනය, කොරියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය වැනි රටවල් සංවර්ධනය වූයේ එලෙසය. අපේ විපක්ෂ දේශපාලනඥයන් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් කරන්නට පිඹුරුපත් හදන්නේ මෙයින් රට ගොඩ යන බව හොඳින්ම දන්නා නිසාය. තමන් නන්නත්තාර වන බව දන්නා නිසාය.

ජාතික සම්පත් හා ස්වෛරීභාවය ගැන මෙම දේශපාලනඥයන් කතා කරන්නේ බොරුවට ය. ඔවුන් හදන‍්නේ ජනතාව ‍ගොනාට අන්දන්නටය. ඔවුන්ගේ කරපිටින් බලයට එන්නටය. දැන් ජනතාවට කාලය එළඹ තිබෙන්නේ මේ කට්ටඩි දේශපාලනයට ඉඩ දුන්නා ඇති කියන්නටය. මෙලෙස බේගල් ඇදබාන දේශපාලනඥයන්ට ජනතාව තැලිය යුත්තේ මඩු වල්ගයෙනි. ඇතැම්විට කුරුඳු ‍පොලු වුවද ප්‍රමාණවත් විය හැකිය.

සී. ජේ. අමරතුංග

නව අදහස දක්වන්න