දිරි­දී­ම­නා­වක්! ණය සහන මල්ලක් | දිනමිණ

දිරි­දී­ම­නා­වක්! ණය සහන මල්ලක්

ජයසිරි මුණසිංහ

තරුණ ව්‍යවසායක පරපුරක් බිහි කිරීමේ අරමුණින් අඩු පොලී හා සරල කොන්දේසි යටතේ ණය මුදල් පිරිනමන ණය යෝජනා ක්‍රම අටක් ආරම්භ කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියංක අතපත්තු මහතා ප්‍රකාශ කරයි.

නව රැකියා අවස්ථා පනස්දහසක් බිහි කිරීම අපේක්ෂාවෙන් රජය මේ ණය යෝජනා ක්‍රම ආරම්භ කළ බව කී අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාව ලබා ගන්නා ණය වෙනුවෙන් පොලී සහනාධාරය ලෙස රජය රුපියල් මිලියන 4475 කැප කරන බවද කියා සිටියි.

මේ තුළින් නව නිෂ්පාදන දේශීය වෙළෙදපොළට වැඩි වශයෙන් පැමිණීම සිදු වනු ඇතැයි ද ඉන් යම් ප්‍රමාණයක් ලෝක වෙළෙඳපොළට යැවීමට අවස්ථා උදාවනු ඇතැයි ද ඔහු කීය.

ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධනබැංකුව, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව, සණස සංවර්ධන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, කොමර්ෂල්, සම්පත්, සෙලාන්, හැටන් නැෂනල්, නේෂන් ට්‍රස්ට්, ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් සහ යුනියන් බැංකු යන බැංකු 14 තුළින් මේ ණය මුදල් ලබා ගැනීමට පහසුකම් සපයා ඇත.

2017 අයවැය ‍යෝජනා මල්ඵල ගන්වමින් රජයේ පොලී සහනාධාර ණය යෝජනා වැඩසටහන 2017 මාර්තු 31 දින සිට බල පවත්වන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් අදාළ බැංකු වෙත ලබා දී ඇති අතර ඒ අනුව බැංකු විසින් ණය ලබා දීමේ මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී 2017 වර්ෂය තුළ පොලී සහනාධාර ගෙවීම සඳහා රු. මිලියන 4,475ක් වෙන් කර ඇත. මෙමඟින් 50,000කට අධික නව රැකියා අවස්ථා ඇතිකිරීම අපේක්ෂා කෙරේ.

මේ යටතේ ආර්ථිකයේ ප්‍රමුඛ අංශ ප්‍රවර්ධනය කිරීම සඳහා ණය ක්‍රම 8ක් ක්‍රියාත්මක කෙරේ.

‘රන් අස්වැන්න’ ණය යෝජනා ක්‍රමය

කෘෂිකර්මාන්තයේ ඵලදායීතාවය ඉහළ නැංවීම සහ වාණිජකරණයට පහසුකම් සැපයීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන අතර මෙමඟින් ගොවීන්, ගොවි සංවිධාන, කෘෂිකර්මාන්තය ආශ්‍රිත සැකසුම්කරණ ආයතන සඳහා ඵලදායීතාවය ඉහළ නැංවීමට අවශ්‍ය තාක්ෂණය හඳුන්වාදීමටත්, පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට ගොවීන් සමඟ පෙර ගිවිසුම් මත පදනම් වූ වාණිජ පරිමාණයෙන් කරනු ලබන මහා පරිමාණ ගොවිපොළ ආරම්භ කිරීම සඳහාත්, සහල්‍ මෝල් හිමියන්ට නවීන තාක්ෂණයෙන් යුක්ත ගබඩා පහසුකම් ඉදිකිරීම සඳහාත්, මත්ස්‍ය වගාවේ නියැලෙන ව්‍යාපාරිකයින්ට හා විසිතුරු මල් වගාකරුවන්ට තම ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහාත්, සහන පොලී අනුපාතිකයක් යටතේ ණය ලබා දෙනු ලැබේ.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රු. මිලියන 750 දක්වා උපරිම ණය මුදලක් ලබා ගත හැකි අතර ණය ආපසු ගෙවීමේ උපරිම කාල සීමාව වසර 5කි. පොලී අනුපාතිකයෙන් සියයට 50ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාත අනුව ණය ලබා ගන්නා පාර්ශවය විසින් වාර්ෂිකව ගෙවිය යුතු පොලී අනුපාතය සියයට 6.54කි. රජය මේ යටතේ පොලී සහනාධාර ගෙවීම සඳහා 2017 වර්ෂයේ වෙන්කර ඇති මුදල රු. මිලියන 925 කි.

‘ගොවි නවෝදා’ ණය යෝජනා ක්‍රමය

පැළෑටි බද්ධ කිරීම, පැළ සිටුවීම, වල් පැල නෙලීම, අස්වැන්න නෙලීම, කෘෂි ඉඩම් සකස් කිරීම වැනි කෘෂිකාර්මික කාර්යයන් සඳහා යන්ත්‍රසූත්‍ර භාවිතය දිරි ගැන්වීම තුළින් සුළු පරිමාණ ගොවීන් යාන්ත්‍රීකරණය කිරීම හා ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අවම කර ඉහළ අස්වැන්නක් ලබා ගැනීම තුළින් ඔවුන් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ. මෙම ණය යෝජනා ක්‍රමය මඟින් සුළු පරිමාණ ගොවීන්ට හා ගොවි සංවිධාන සඳහා ණය ලබා දෙන අතර එක් පුද්ගලයෙකුට හෝ ගොවි සංවිධානයකට ලබා දෙන උපරිම ණය සීමාව රු. 500,000කි. නැවත ගෙවීමේ කාලය වසර 5 කි.

ණය ලබා ගන්නා ගොවීන් විසින් ගෙවිය යුතු ණය පොලී අනුපාතිකයෙන් සියයට 75 ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාතිකයන්ට අනුව ණය ලබා ගන්නා පුද්ගලයා විසින් ගෙවිය යුතු වාර්ෂික පොලී අනුපාතය සියයට 3.27කි. රජය මෙම පොළී සහනාධාර ගෙවීම සඳහා 2017 වර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රු. මිලියන 50 කි.

රිය ශක්ති’ ණය යෝජනා ක්‍රමය

පාසල් ළමුන් සඳහා වඩාත් සුරක්ෂිත පාසල් ප්‍රවාහන සේවාවක් ලබා දීමේ අරමුණින් පාසල් වෑන් රථ හිමියන් අවම වශයෙන් ආසන 28ක් සහිත බස් රථ සඳහා මාරුවීම දිරි ගැන්වීම සඳහා මෙම ණය යෝනා ක්‍රමය හඳුන්වා දෙනු ලබන අතර, එමඟින් වඩාත් ඵලදායී පාසල් ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වේ.

පාසල් වෑන් රථ හිමියකුට ලබා ගත හැකි උපරිම ණය සීමාව රු. මිලියන 4 කි. ණය ආපසු ගෙවීමේ කාලය වසර 5ක් වන අතර ගෙවිය යුතු පොළියෙන් සියයට 75ක් රජය විසින් ගෙවනු ලබන බැවින් ණය ලබා ගන්නා පුද්ගලයා ගෙවිය යුතු පොලී අනුපාතය සියයට 3.27කි. මෙම පොලී සහනය ගෙවීම සඳහා රජය විසින් 2017 වර්ෂය සඳහා වෙන් කර ඇති මුදල රු. මිලියන 150 කි.

‘රිවිබලසවි’ ණය යෝජනා ක්‍රමය

රජයේ ‘සූර්ය සැපයුම’ වැඩසටහන යටතේ සෑම නිවාස ඒකකයක්ම බලශක්ති නිපැයෙන ඒකකයක් බවට පත් කිරීමේ අරමුණින් සූර්ය බලශක්තිය සඳහා යොමු වීම දිරි ගැන්වීම සඳහා මෙමඟින් ණය ලබා දෙනු ලබන අතර, එමඟින් නිවාස හිමියන්ට තම බලශක්ති අවශ්‍යතාවය අඩු වියදමකින් සපයා ගන්නා අතරම රටෙහි බලශක්ති නිෂ්පාදනයට තම නිවසේ සූර්ය කෝෂ පද්ධති මඟින් ජනනය කෙරෙන බලශක්තිය අලෙවි කිරීම තුළින් අමතර ආදායමක් උපයා ගැනීමට ද හැකිය. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ නිවාස ඒකක 1,000,000ක් සූර්ය බල නිෂ්පාදන ඒකකයන් බවට පත් කිරීමට අපේක්ෂා කරන අතර, එක් නිවෙස් හිමියකු සඳහා මෙමඟින් ලබා‍ දෙනු ලබන උපරිම ණය මුදල රු. 350,000කි.

ණය ආපසු ගෙවීමේ කාලය අවුරුදු 5ක් වන අතර ණය ලබා ගත් පුද්ගලයා විසින් ගෙවිය යුතු වාර්ෂික පොලී අනුපාතය සියයට 6කි. රජය විසින් සියයට 6ක් සහනාධාර ලෙස බැංකු වෙත ගෙවනු ලබන අතර, ඒ වෙනුවෙන් 2017 වර්ෂය සඳහා වෙන් කර ඇති මුළු මුදල රු. මිලියන 1,500 කි.

‘දිරි සවිය’ ණය යෝජනා ක්‍රමය

ග්‍රාමීය ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා ගුණාත්මකභාවයෙන් යුතු කුකුළු මස් ආශ්‍රීත නිෂ්පාදන රට පුරා ව්‍යාප්ත කිරීම හා නව ස්වයං රැකියාලාභී වෙළෙදුන් සඳහා කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන ගුණාත්මක අයුරින් ගබඩා කර තබාගැනීමේ අවස්ථා වර්ධනය කිරීමත්, ඔවුන්ගේ තොග හානි අවම කර ආදායම් මට්ටම් ඉහළ නැංවීම සඳහාත්, කුකුළු මස් නිෂ්පාදන වෙළෙඳපොළට අමතර අධිශීතකරණය 15,000ක් ලබා දීම මෙම ණය යෝජනා ක්‍රමයේ අරමුණ වේ.

ඒ අනුව, කුකුළු මස් නිෂ්පාදකයින් හට තෝරා ගනු ලබන නව ස්වයං රැකියාලාභී වෙළෙඳුන් 15,000ක් සඳහා අධිශීතකරණ ලබා දීම පිණිස අධිශීතකරණයක් සඳහා

උපරිමය රු. 50,000 කට යටත්ව ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් වන ලංකා බැංකුව සහ මහජන බැංකුව මඟින් මෙම ණය ලබා දෙනු ලබන අතර ණ්‍ය ආපසු ගෙවීමේ කාලය වසර 4 කි. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ කුකුළු මස් නිෂ්පාදකයින් විසින් දැරිය යුතු පොලී වියදම මුළුමනින්ම රජය විසින් දරනු ලබන අතර එම පොලී සහනය ගෙවීම සඳහා රජය විසින් 2017 වර්ෂය සඳහා වෙන්කර ඇති මුදල රු. මිලියන 75 කි.

ජය ඉසුර ණය යෝජනා ක්‍රමය

කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, පශු සම්පත්, මල් වගාව, ගෙවතු වගාව, ලුහු ඉංජිනේරු, මුද්‍රණ, සංචාරක ව්‍යාපාරය, අත්කම්, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ හා නිෂ්පාදන කර්මාන්ත වැනි ක්ෂේත්‍රවල නියුතු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඒ ඒ ව්‍යාපාරයේ වෙළෙඳ පිරිවැටුම් සහ උත්පාදනය කරනු ලබන රැකියා ප්‍රමාණය මත පදනම්ව ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් වැඩිදියුණු කරගැනීම මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සවිබල ගැන්වීම මෙම ණය යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ වේ.

ඒ අනුව, උක්ත ක්ෂේත්‍රයන්හි නියැලී සිටිනු ලබන වාර්ෂික පිරිවැටුම රු. මිලියන 25 සිට රු. මිලියන 250 අතර හා සේවක සංඛ්‍යාව 10 සිට 50 අතර වන සුළු පරිමාණ ව්‍යවසායකයින් සඳහා වසර 5 කින් ගෙවා නිමකළ හැකි වන පරිදි රු. මිලියන 50 ක උපරිමයක් දක්වා ද, මෙකී සුළු පරිමාණ ව්‍යවසායකයින් අපනයන වෙළෙඳ කටයුතුවල නිරත වන්නේ නම් රු. මිලියන 100 ක උපරිමයක් දක්වා ණය මුදලක් ද ලබාගත හැක. පොලී අනුපාතයෙන් සියයට 50 ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාත අනුව ණය ලබාගන්නා පාර්ශ්වය විසින් වාර්ෂිකව ගෙවිය යුතු පොලී අනුපාතය සියයට 6.54 කි.

එසේම, උක්ත ක්ෂේත්‍රයන්හි නියැලී සිටිනු ලබන වාර්ෂික පිරිවැටුම රු. මිලියන 250 සිට රු. මිලියන 750 අතර හා සේවක සංඛ්‍යාව 51 සිට 300 අතර වන මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වසර 5 කින් ගෙවා නිමකළ හැකි වන පරිදි රු. මිලියන 200 ක උපරිමයක් දක්වා ද, මෙකී මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අපනයන වෙළෙඳ කටයුතුවල නිරත වන්නේ නම් රු. මිලියන 400 ක උපරිමයක් දක්වා ණය මුදලක් ද ලබාගත හැක. පොලී අනුපාතයෙන් සියයට 25 ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාත අනුව ණය ලබාගන්නා පාර්ශ්වය විසින් වාර්ෂිකව ගෙවිය යුතු පොලී අනුපාතය සියයට 9.81 කි. රජය මේ යටතේ පොලී සහනාධාර ගෙවීම සඳහා 2017 වර්ෂයේ වෙන්කර ඇති මුදල රු. මිලියන 750 කි.

මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමය

මෙම ණය යෝජනා ක්‍රමය මඟින් අසීරු වාතාවරණයක් යටතේ තම රාජකාරී කටයුතු සිදුකරන ලියාපදිංචි මාධ්‍යවේදීන්ට තම රාජකාරි කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය මාධ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රු. 300,000 ක ණය මුදලක් පොලී රහිතව ලබාදෙන අතර, මාධ්‍ය උපකරණ වැඩිදියුණු කිරීම සඳහා රු. 150,000 ක ණය මුදලක් සියයට 6.5 ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ලබා දේ. ප්‍රධාන රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව මඟින් මෙම ණය ලබා දෙනු ලබන අතර, රජය විසින් මේ සඳහා 2017 වසරේ දී රු. මිලියන 25 ක් වෙන්කර ඇත.

සොඳුරු පියසÓ ණය යෝජනා ක්‍රමය

දැනටමත් ඉදිකිරීම් ආරම්භ කර ඇති එහෙත් ස්වශක්තියෙන් තම නිවාස සම්පූර්ණ කර ගැනීමට හැකියාවක් නොමැති අඩු ආදායම්ලාභී ජනතාවගේ හිසට සෙවනක් ලබාදීමේ අරමුණින් බිම් වර්ගඵලය වර්ග අඩි 750 ට අඩු නිවාස පුළුල් කිරීම හෝ සම්පූර්න කර ගැනීම සඳහා ණය ලබාදීමේ අරමුණෙන් මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලැබේ.

මේ යටතේ එක් පවුලකට ලබාදෙන උපරිම ණය මුදල රු. 200,000 කි. ණයකරු විසින් ගෙවිය යුතු පොලියෙන් සියයට 50 ක් රජය විසින් සහනාධාර ලෙස ගෙවන අතර, වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාතය අනුව ණය ලබාගන්නා පුද්ගලයා විසින් ගෙවිය යුතු වාර්ෂික පොලී අනුපාතය සියයට 6.54 කි. මෙම පොලී සහනාධාර ගෙවීම සඳහා රජය විසින් 2017 වසර සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල රු. මිලියන 1,000 කි. 

නව අදහස දක්වන්න