විද්‍යා ප්‍රබන්ධයකදී නිදහස වැඩියි | දිනමිණ

විද්‍යා ප්‍රබන්ධයකදී නිදහස වැඩියි

ලේඛිකා අන්නාලි නෙවිට්ස්

‘Autonomous’ යනු මෑතකදී විශේෂයෙන්ම කතාබහට ලක්වුණ විද්‍යා ප්‍රබන්ධ නවකතාවකි. එහි කතුවරිය වන අන්නාලි නෙවිට්ස් මේ වන විට iO9 සහ Ars Technica නම් තාක්ෂණික සඟරාවේ නිර්මාතෘවරිය සහ ප්‍රධාන සංස්කාරකවරියක් ලෙස කටයුතු කරයි. අමෙරිකානු ජාතික කාන්තාවක් වන ඇය සමඟ clarkesworldmagazine.com වෙබ් අඩවිය සිදුකළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

Autonomous හි එන කතාව පිළිබඳ කෙටි හැදින්වීමක් කරන්න පුළුවන්ද ?

මෙහි එන කතාව මුලිකවම නිර්මාණය වෙලා තියෙන්නේ ජැක් නම් තරුණ විද්‍යාඥයෙක් මුල් කරගෙනයි. ඔහු ඉතා වැදගත් ඹෟෂධයක් සොයා ගන්නවා. ඒත් ඔහුට එය නිවැරැදි ලෙස නිකුත් කර ගැනීමටත් පෙර තවත් විද්‍යාඥයන් පිරිසක් මොහු නිපදවන සැලැස්ම සොරකම් කරනවා. ඔවුන්එය නැවත නිර්මාණය කරලා, ජැක් විසින් කලින්ම වෙළෙඳ පොළට නිකුත් කරනවා. ඒත් ජැක්ට එහිදී ඹෟෂධය සොයා ගැනීමේ අයිතිය පවා නැති වෙනවා. මෙහිදී ජැක්ට නීතියේ යුක්තිය ලබා දීමට ඔහුට උදවු කිරීමට ඉදිරිපත් වෙන්නේ එළිආස් සහ පලදින් නම් රොබෝවරු දෙදෙනායි. මේ කතාව 2050 වසරේදී සිදුවන සිද්ධි මාලාවක් ලෙස තමා මම නිර්මාණය කර තිබෙන්නේ. මිනිසුන් ළඟ නැතිව තිබෙන මනුෂ්‍යත්වය මේ රොබෝවරු වෙතින් ලැබෙන අන්දම ‍මේ කතාවෙන් පෙන්නුම් කරනවා.

Autonomous කතාව ලිවීමට පාදක වන සිද්ධිය කුමක්ද?

මට මීට අවුරුදු කීපයකට කලින් යූසී බර්ක්ලී විද්‍යා පර්යේෂණාගාරයට යාමට අවස්ථාව ලැබෙනවා සහ මට එහි දින කිහිපයක් ගත කිරීමට අවස්ථාව ලැබෙනවා. භුමිකම්පාවලදී විපතට පත් වූවන් බේරා ගත හැකි රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරන විද්‍යාඥයන් කණ්ඩායමක් එහිදී මම දැක්කා .

මම එය මුලින්ම දැක්කේ, කුඩා තාප්පයක් නැගීමට උත්සාහ කරන ආකාරයටයි. ඒක නිකන් මනුෂ්‍යයකුගේ චලනවලට සමානයි.එය සම්පුර්ණ මිනිසකුගේ හැඩයට නම් සමාන නැහැ. ඒත් පාද කොටස් මනුෂ්‍යයකුට සමාන වන ලෙස නිර්මාණය කර තිබුණා.

එම රොබෝ යන්ත්‍රයට ඉතාමත් ශක්තිමත් බිත්ති පවා ඉවත් කර, බාධා ඉවත් කර ගමන් කිරීමට හැකි බව එම විද්‍යාඥයන් පිරිස මට පැවසුවා. ඒත් එම රොබෝව ඇත්තම මනුෂ්‍යයෙක්ගේ ශරීර අංගවලින් සමන්විත වුණා නම් කියලා මම ඒ මොහොතේ සිට දිගටම සිතුවා. එහි හොඳ පැත්ත වගේම නරක පැත්ත ගැනත් මම හිතුවා.එය තමා Autonomous කෘතිය ලිවීම සඳහා බලපෑවෙ.

ඔබගේ මේ කතාව තුළ කියැවෙන්නේ සම්පුර්ණයෙන්ම විද්‍යාව හා තාක්ෂණය ගැන සහ අනාගතය ගැනයි. මේ වගේ දේ අනාගතයේදී සත්‍ය වශයෙන් ම සිදු වේවි කියලා ඔබ හිතනවද? ඔබගේ පදනම ඔබගේ මේ අංශයේ දීර්ඝකාලීන ගවේෂණයද?

සත්‍යවශයෙන්ම. මම මෙය ලිවීමට පෙර මේ ගැන හොඳින් සොයා බැලීම කළා. මම මේ රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් බොහෝ විද්‍යාඥයන් සමඟ සාකච්ඡා කළා. ප්‍රශ්නයක් වුණ පලියට මට හැමදේම ලියන්න බැහැ.

එයට විද්‍යාත්මක පදනමක් පැවතිය යුතුයි. මෙහි කියැවෙන ඖෂධයක් නියුරෝනවලට බලපෑමක් කරන එකක්. එය ගැන ලිවීමේදී මම දැඩි ලෙස පරික්ෂාකාරී වුණා. මම නියුරෝන විද්‍යාව ගැන මදක් දැනගෙන සිටියා.මම නියුරෝන විද්‍යාඥයන් සමඟ විශේෂයෙන් සාකච්ඡා කළා.ඒ ආකාරයට මං දැනුම්වත් වුණා.

ඔබට නව අදහස් ගලා ගෙන එන්නේ,ඔබේ විද්‍යා සඟරා කියැවීමෙන් බව ඔබ වරක් ප්‍රකාශ කර තිබුණා. මේ කතාවටත් ඒක උදවු වුණාද?

අනිවාර්යෙන්ම. මම නිතරම විද්‍යා සඟරා කියැවීමට පුරුදු වී සිටිනවා. ඒ අතරින් රොබෝ තාක්ෂණය, නියුරෝන විද්‍යාව වැනි දේට මගේ වැඩි අවධානය යොමු වුණා. බොහෝ පර්යේෂණ නිකන්, දෙවියන් සමඟ සෙල්ලම් කිරීමක් වගේ මම බොහෝ විට දකිනවා. ඒත්, මගේ නම් අරමුණ මිනිසාට උදවු වන තාක්ෂණයක් ගැනයි. මගේ සඟරාව තුළදී නම් මම බොහෝ විට උත්සාහ කරන්නේ, මිනිසාට යහපත් තාක්ෂණයක් ගැන කතා කිරීමටයි.

ඔබ මිට කලින් ප්‍රබන්ධ ගණයට අයත් නොවන නව කතා කිහිපයක්ම කර තිබෙනවා. විද්‍යා ප්‍රන්ධයක් සහ සාමාන්‍ය නවකතාවක් අතර ඇති වෙනස ඔබට දැනෙන්නේ කොහොමද?

සාමාන්‍ය නවකතාවකදී අපි බොහෝ විට ඇත්ත පරිසරය, සංස්කෘතිය, දේශපාලනය ගැන පදනම් වෙලා තමයි ලියන්නේ. මුලික සිද්ධිය හා පුද්ගලයන් කල්පිත වුවත්, ඒ හා ඇති සම්බන්ධතා අපට හිතෙන විදිහට ගොඩනගන්න බැහැ. ඒත්, විද්‍යා ප්‍රබන්ධයක් තුළදී මට බොහෝ නිදහසක් තිබෙනවා. සමහර විට මම දකින සිහිනයක් වුණත් ප්‍රබන්ධයක් තුළට ගේන්න නිදහස තිබෙනවා.

මොකක්ද ඔබ කැමැතිම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය?

ඒකනම් බොහොම අමාරු ප්‍රශ්නයක්. මොකද මම බොහොමයක් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට කැමතියි. ඒ අතරින් මීට වසර කිහිපයකට කලින් නිර්මාණය වුණ 'පැසිපික් රිම්' වලට නම් මම දැඩි ලෙස ඇලුම් කළා.එතරම් විශාල රොබෝවරු සහ පිටසක්වලින් පැමිණි විශාල සත්වයන් එහි දුටුවහම මා පුදුමයට පත් වුණා.

ඔබගේ ඊ ළඟ නිර්මාණය මොකක්ද?

මම මේ දිනවල අලුතෙන් නව කතාවක් ලියන්න පටන් ගත්තා. ඒක මම කරන්නේ Tor Books පොත් ප්‍රකාශකයන්ට. එය කාල-තරණය ගැන කියැවෙන කතාවක්. ඒ අතරේ මම පුරාවිද්‍යාව ගැන කියැවෙන පොතක් පිළිබඳ වැඩ කරමින් සිටිනවා. එහිදී මම පුරාණ, සැඟවුණු නගර ගැන ලිවිම කරනවා. ඒ පොත ලියද්දි මට කාල-තරණය යන්ත්‍රයක් තිබුණා නම් කොයි තරම් ලේසියි දැයි මට සිතුණා. ඒත්, තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන අරගෙන, පාඨකයන්ට සාර්ථක නිර්මාණයක් ලබා දීමට මං උත්සාහ ගන්නවා. ඒ පොතත් පාඨකයන් අතරට ඉක්මනින්ම යාවි කියලා මං හිතනවා.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න