මැතිවරණ පොරොන්දුවලට ජාතික වගකීම් සීමා කරන්න බැහැ | දිනමිණ

මැතිවරණ පොරොන්දුවලට ජාතික වගකීම් සීමා කරන්න බැහැ

චන්ද්‍රිකා පෙරේරා

මැතිවරණ පොරොන්දුවලට ජාතික වගකීම් සීමා කිරීමට නොහැකි බවත් සියලු ජාතීන්ට සමඟියෙන් හා සහජීවනයෙන් ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ දේශපාලන වැඩපිළිවෙළක් ස්ථාපිත කිරිමට පක්ෂය හා නායකයා තල්ලු කිරීමේ ජාතික වගකීම ඉටු කිරීම ශ්‍රීලනිපයේ වගකීම බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

කොළඹ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී විජිත් විජයමුණි සොයිසා මහතා එම අදහස් ප්‍රකාශ කෙළේය.

වර්තමානයේ රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා තවදුරටත් මෙසේ ද කීය.

විවිධ කාලවලදී ශ්‍රිලනිප සංවත්සරය නිසි දිනයේ පවත්වන්න බැරිවූ අවස්ථා තිබුණා.

නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපති හා පක්ෂ සභාපති ධුරයට පත්වීමෙන් පසු පවත්වන තෙවන පක්ෂ සංවත්සරය එනම් 66වන පක්ෂ සංවත්සරය 02 දා අති උත්කර්ශවත් අන්දමින් පවත්වන්නට සියලු කටයුතු සූදානම්. සභාපති වීමෙන් පසු පැවැත් වූ පළමු සංවත්සරයට වඩා දෙවැනි වර සුවිශේෂී වර්ධනයක් තිබුණා. තෙවැනි එක ඊටත් වඩා වර්ධනීය තත්ත්වයක් පවතින බව විශ්වාසයි.

මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය

පක්ෂයේ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරමින් විනයානුකූලව පක්ෂයක් ලෙස කටයුතු කිරීමට හැකි ක්‍රියාමාර්ග මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ගෙන තිබෙනවා. මේ අනුව මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය අසාධාරණ හා අයුතු ලෙස යොදා ගනිමින් පක්ෂයට හා සාමාජිකයන්ට අසාධාරණයක් වන ලෙස එය පාවිච්චි කරන බව පෙනෙනවා. මහින්ද මහතා පක්ෂයේ සභාපති ලෙස කරන ප්‍රකාශ අනුව යම් අමතක වීමක් ලෙසයි අප දකින්නේ. එසේ නැතිනම් අනුශාසක හා සභාපති දෙක පැටලිලා විය හැකියි.

2015 ජනවාරි 09 පාන්දර මහින්ද මහතා රනිල් වික්‍රමසිංහ මහතාට බලය පවරලා යනවා අප මාධ්‍ය මගිනුත් දුටුවා.

හිටපු ජනාධිපති මහින්ද මහතා ඒ වෙලාවෙ කිව්වා “ මම පරාදයි ගෙදර යනවා. ජනතා මතයට මා හිස නමනවා“ කියා. බැසිල් මහතා ඊට දින කිහිපයකට පසු අමෙරිකා ගියා.

පක්ෂ ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියට අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීමකින් තොරවම හිමි වෙනවා. එදා මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩානායක මහත්මිය පක්ෂයේ සභාපතිත්වයෙන් එලවන්න මේ වගන්තිය සංශෝධනය කර පක්ෂ සභාපතීත්වය ලබා ගත්තෙ. එදා ඒකට මමත් අත ඉස්සුවා.

පක්ෂයේ සභාපති

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ සාමාජිකයෙක් රටේ විධායක ජනාධිපති වූ විට ඔහු ඉබේම පක්ෂයේ සභාපති බවට පත් වෙනවා. කෙසේ වුවත් කතානායක නිල නිවසෙදි මෛත්‍රීපාල මහතාට සභාපතිකම මහින්ද මහතා කැමැත්තෙන්ම දී තිබුණා. පසුව වර්තමාන ජනාධිපතිතුමා පක්ෂ සාමාජික ලෙස සියලු පක්ෂ ජ්‍යේෂ්ඨයන්ට ගරු කිරීමක් ලෙස කටයුතු කිරීමට හැකිවන පරිදි 12(1) වගන්තිය පමණක් සංශෝධනය කළා . ඒ අනුව පක්ෂයේ සාමාජිකයෙකුව සිට ජනාධිපති හෝ අගමැති ලෙස පත්ව ධුරයෙන් ඉවත් වූ විට ඒ අය පක්ෂ අනුශාසක තත්ත්වයට පත්වන ලෙසටත්, පක්ෂ සභාපති අභිමතය පරිදි පක්ෂ ජ්‍යේෂ්ඨ පාක්ෂිකයන් අනුශාසක තනතුරට පත්කිරීමටත් හැකියාව තිබෙනවා. මේ අනුව මහින්ද මහතා අනුශාසක ධුරය බාර ගත්තා.

මේ සියල්ල දන්න මහින්ද මහතා දැන් අමතක වූ ස්වභාවයකින් කතාකරන බවක් අපි දකිනවා. මේ කුමක් කීවත් අප දකිනවා පොහොට්ටුව ප්‍රවර්ධනය කරමින් මේ කටයුතු කරන බව. ශ්‍රීලනිපයේ සාමාජකයකු ලෙස ඔහු තවදුරටත් සිටිනවාද කියා මා දන්නේ නැහැ. ඔහු පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන තිබෙන්ද යන්නත් දන්නෙ නැහැ. කෙසේ වුවත් පක්ෂ දෙකක සාමාජකයකුව සිටිය නොහැකියි.

යහපාලන සංකල්පය

මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුව තුළද නිසි ලෙස කටයුතු කරන අයෙක්. දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපති කෙනෙක් යහපාලන සංකල්පය ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව ආණ්ඩුවෙම අක්‍රමිකතාවක් වූ බවට තොරතුරු ලැබීමත් සමඟම බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හෙළිකර ගන්න කොමිසමක් පත්කළා. ජනමතය හා කොමිසමේ සාක්කි අනුව අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න කටයුතු කිරීමට තීරණය කළා.

ඔහු නිසි ලෙස ක්‍රියාත්මක වන නායකයෙක්. පළාත් සභා ඡන්දය කාලය අවසන් වීමෙන් පසු නිසි ලෙස පැවැත්වීමට කටයුතු කෙරෙනවා.

ශ්‍රි ලංකාවේ ආර්ථිකය හැසිරවීමේ ප්‍රධාන ගැටලුවට විසඳුම් ලෙස ජනාධිපති, අගමැති, මුදල් ඇමති හා අදාල අමාත්‍යංශ ලේකම්වරු එක්ව ආර්ථික කොමිටියක් නිර්මාණය කර තිබෙනවා. රටට වැදගත් වන විදේශ, වෙළඳ හා ආර්ථික ප්‍රතිපත්ති හා ගිවිසුම් පිළිබඳ තීන්දු තීරණ මෙමගින් සිදු කරන්නේ. රටේ ආර්ථිකය, දේශීය කර්මාන්ත, දේශීය චින්තනය හා සමාජ, ආර්ථික දේශපාලන හා සංස්කෘතික කිසිවකට පටහැනි තීරණ මෙමගින් ගන්නෙ නැහැ. එවැනි හානිවන ගිවිසුම්වලට එළඹෙන්නෙත් නැහැ.

ජාතික ආණ්ඩුව

ජාතික ආණ්ඩුවෙන් ශ්‍රි ලනිපය ඉවත්වෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව. එක්වෙන්න තීරණය කළෙත් එමගින්. මේ අනුව මේ ආණ්ඩුවෙන් නිකම් බැස යන්න අපි කාටවත් බැහැ. මෙය මේ රටේ ගනු ලැබූ සුවිශේෂී තීරණයක්. යහපාලන ආණ්ඩුව පත්කළ ජනතාවට වු පොරොන්දු නිසි ලෙස ඉටුකරලයි අපට වෙන් වීමට හැකිවන්නෙ. කෙසේ පොරොන්දු දුන්නත් අපි ජනමතයට හිස නැමිය යුතුයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද මහතා පරාජය වූ විට රනිල් මහත්තයට බලය පවරන විට ශ්‍රීලනිප ප්‍රමුඛ කණ්ඩායමට තුනෙන් දෙකක බලය තිබුණා. එසේ තිබියදියි බලය මාරු කළේ. මේ නිසා අපට විපක්ෂයේ වාඩිවෙන්න සිදු වුණා. තුනෙන් දෙකක බලය තියාගෙන ඇයි එසේ කළේ . එදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වරද්දා ගත්තා කියා මා හිතන්නෙ. මා මේ අනුව මා පාර්ලිමේන්තුවට එදා යනවිට විමල්, ඩිව්, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, වෙල්ගම, බන්දුල ඇතුලු මේ සියලු මහත්වරු විපක්ෂයේ වාඩි වී සිටියේ ඉදිරියෙන්ම මා මේ මොකද කියා පිටුපසින් වාඩි වුණා.

අගමැති ඇතුළු කණ්ඩායටත් 19 සංශෝධනයටත් මේ අය අත ඔසවා කැමැත්ත ප්‍රකාශ කළා. එදා මේ අය සම්මුතිවාදයට එකඟව කටයුත කළා. පක්ෂ මධ්‍යම කාරක සභාවෙදිත් පර්ලිමේන්තුවෙදිත් එකඟ වුණා. අප වරද්දා ගත් බොහෝ තැන් තිබෙනවා. නමුත් ජනතාවට වරද්දන්නෙ නැතිව ඒ වැරදි නිවැරදි කළ යුතුයි. මේ යහපාලන ආණ්ඩුව මගින් ජනතා අවශ්‍යතා ඉටු කිරිමට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතුව කටයුතු කරනවා.

මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේ ද සඳහන් කෙළේය.

කෙසේ වුවත් අද වන විට චන්ද්‍රිකා එළියට දාන්න හදපු පක්ෂ ව්‍යවස්ථාවෙන් මෛත්‍රී මහතා සභාපති වී අවසන්. මේ වන විට මහින්ද මහතා පක්ෂ සාමාජිකයෙක් ද කියා මා දන්නෙ නැහැ. කෙසේ වුවත් වෙනත් පක්ෂයක සාමාජිකයෙක් නම් ශ්‍රිලනිප යේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන්න බැහැ . මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට නැවත ජනාධිපති වෙන්නත් බැහැ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුමන පොරොන්දුවක් දි තිබුණත් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊළඟ ජනාධිපති අපේක්ෂක ලෙස එතුමාව ඉදිරිපත් කිරීමට තීරණයක් ගෙන තිබෙන්නෙ. එය පිළිගැනීමට ඔහුට සිදු වෙනවා. සමහර වෙලාවට දෙන හැම පොරොන්දුවක්ම ඉටුකන්න බැහැ. ජනතා අභිලාසය අනුව ජනතාවගේත් රටේත් අනාගත යහපැත්ම වෙනුවෙන් සමහර පොරොන්දු ඉටු නොකර සිටීමට සිදු වෙනවා.

විධායක ජනාධිපතිකම

චන්ද්‍රිකා මහින්ද ජනාධිපතිවරු ආවෙ විධායක ජනාධිපතිකම අහෝසිකරන බව කියා. නමුත් කරන්න නොහැකි වුණා. ඒ වගේ ආණ්ඩුවේ බලය සමතුලිත විය යුතු බව අප පිළිගත යුතුයි. මේ අනුව ජනාධිපතිට යම් ප්‍රමාණයකට ශක්තිමත් බලතල තිබීම අත්‍යවශ්‍යයි. සියලු බලය පැවරීමට ඉඩදිය නොහැකියි. අපට ජාතික වගකීමක් තිබෙනවා. සියලු ජාතීන් සමගියෙන් ජීවත්වීමට හැකි දේශපාලන වැඩපිළිවෙළක් වෙත පක්ෂය හා නායකයා තල්ලු කිරීම ඒ අනුව කළ යුතුයි. මැතිවරණ පොරොන්දුවලට ජාතික වගකීම් සීමා කරන්න බැහැ.

ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට අප කිසිවෙක් ඉඩ දෙන්නෙ නැහැ. මම ගෙදර ගියත් එවැනි යෝජනාවකට එකඟ වෙන්නෙ නැහැ. මම චන්ද්‍රිකා මැතිනියගෙ කාලෙ පළාතෙන් පළමු තැනට ආවත් මට ඇමැතිකමක් දුන්නේ නැහැ. මම කැබිනට් ඇමැති කෙනක් වුණේ පළමුවෙන් මහින්ද මහතාගෙ ආණ්ඩුවෙ. ශ්‍රි ලනිපය දෙකඩ කරන්න පිරිසක් උත්සහ කරන බවක් පේනවා. නමුත් එය සිදුවෙන්න දෙන්නෙ නැහැ. පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මෛත්‍රී මහතා සමඟ ගියෙ දිවි පරදුවට තියලා. ඔහු ළාබාලයෙක් වුනත් එක පැත්තකින් එය අපට ආශිර්වාදයක් ලෙසයි මා දකින්නෙ.

ඡායාරූපය - විපුල අමරසිංහ 

නව අදහස දක්වන්න