යෝෂිතගේ මිත්තනියට නොතීසි | දිනමිණ

යෝෂිතගේ මිත්තනියට නොතීසි

සිරන්ජනි කුමාරි

අයථා මාර්ගයෙන් උපයා ගන්නා ලද මුදල් යොදවා රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිල දී ගැනීමේ මුදල් විශුද්ධිකරණ සිද්ධියකට අදාළව යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තනියට ලබන මස 22 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඊයේ (22) නොතීසි නිකුත් කළේය. මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මෝසම් පත්‍රයක් ගොනු කරමින් සැකකාරියගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසට නීතිපතිවරයා ලිඛිතව දැනුම් දී ඇති බැවින් ඇයට ප්‍රකාශයක් ලබා දීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට නියෝගයක් කරන ලෙස අධිකරණයෙන් ඊයේ (22) කරන ලද ඉල්ලීමට අනුව මහෙස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේය.

තංගල්ල, මාවෙල පාර, කාල්ටන් හි පදිංචි ඩේසි ‍ෆොරස්ට් (86) යන අයට මෙසේ අධිකරණය මඟින් නොතිසි නිකුත් කෙරිණ.

මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවැසුවේ මෙතෙක් සිදුකරන ලද විමර්ශනයේ දී සැකකාරිය හා තවත් පුද්ගලයන් අතර පවත්වාගෙන ගිය බද්ධ ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන බැවින් ඇයගෙන් ප්‍රකාශයක් ගැනීමට අවශ්‍ය බවය. මුල්‍ය අපරාධ කොට්ඨාසය නින්දෙන් අවදි වූවා සේ එකපාරටම මෙසේ ඉල්ලීමක් කිරීම සම්බන්ධයෙන් කරුණු විමසූ ‍මහෙස්ත්‍රාත්වරයා පවසා සිටියේ තමන් මේ නඩු‍ව ආරම්භයේ දීම සැකකාරි‍යගෙන් ප්‍රකාශ ගත යුතු බවට පවසා සිටිය බවය. අංක 4, කෙකටිය පෙදෙස, රත්මලාන ඔප්පු අංක 257 දරන ප්‍රශ්නගත ඉඩම සම්බන්ධයෙන් සැකකාරි‍යගෙන් ප්‍රකාශ ලබා ගැනීමට මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීම කර තිබිණ. කාල්ටන් ස්පොට්ස් නෙට්වර්ක් සිද්ධියට අදාළව පවත්වන ලද විමර්ශනයේ දී අනාවරණය වූ කරුණු අනුව මේ ප්‍රශ්නගත ඉඩම සම්බන්ධයෙන් විමර්ශනය පවත්වන බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වා තිබිණ. මේ සිද්ධියට අදාළව මීට පෙර අධිකරණ නොතිසි මත අධිකරණය හමුවේ පෙනී සිටි සැකකාරිය වර්ෂ 2016/8/26 වන දින අධිකරණය මඟින් ලක්ෂ පහක පුද්ගලික බැඳුම්කරයක් මත මුදා හැර ඇත. 

නව අදහස දක්වන්න