පොලොන්නරුවේ වකුගඩු රෝගීන් 5030ක් | දිනමිණ

පොලොන්නරුවේ වකුගඩු රෝගීන් 5030ක්

ඇලහැර සමුහ - සරත් වෙලගෙදෙර

දිවයින පුරා සිටින හදුනාගත් වකුගඩු රෝගීන් සංඛ්‍යාව 70000ක් පමණ සිටින බව වාර්තා වේ. වැඩිම රෝගීන් සිටින දිස්ත්‍රික්කය අනුරාධපුර වන අතර දෙවැනි දිස්ත්‍රික්කය පොලොන්නරුවයි. තුන්වැනි දිස්ත්‍රික්කය වනුයේ බදුල්ල දිස්ත්‍රික්කය බවට තොරතුරු ලැබී ඇත.

මේ වකුගඩු රෝගය වැළදීම දිනෙන් දින වැඩිවීම නිසා දැන් ගම්වාසීන් සිටිනුයේ දැන් ඉමහත් බියකිනි. ඒවගෙම් වකුගඩු රෝගය වැළදුන රෝගීන් අද අසරණ තත්වයට පත් වී සිටිති. ඒ වකුගඩුවක් නැවත බද්ධ කිරීමට විශාල මුදලක් වැයවීමත් ගම්බද ප්‍රදේශවල පිහිටි රෝහල්වල වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් නොමැති නිසාබව ද වකුගඩු වැළදුන රෝගීහු කියති.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් මේවනවිට වකුගඩු රෝගය වැළදුන රෝගීන් 5030ක් පමණ රෝහල්වලින් ප්‍රතිකාර ලබමින් සිටිති.

මැදිරිගිරිය වකුගඩු රෝගීන් 1673ක් දිඹූලාගල 1048ක් තමන්කඩුව 857ක් හිඟුරක්ගොඩ 533ක් ලංකාපුර 360ක් ඇළහැර 328ක් වැලිකන්ද 231ක් මේවනවිට හදුනාගෙන ඇත. ඔවුන් සදහා රජය 3000 කදීමනාවක් ද පිරිනමයි.

ජයසිරිපුර ශ්‍රී පබ්බතාරම විහාරයේ විහාරාධිපති අස්සජී හිමි - වල්නාශක කෘෂි රසායන තහනම් කළත් ඒවා නැවත වෙනත් නම්වලින් වෙළදපොළට ඇවිත්. මේවා නැවැත්විය හැකි රජයට පමණයි. දිනෙන් දින වකුගඩු රෝගීන් වැඩිවෙන්නේ ඒකයි. මේකට කඩිනම් පියවරක්  නොගත්තොත් අහිංසක ජීවිත විනාශයි. ඇළහැර ප්‍රදේශවල තිබෙන රෝහල්වල වකුගඩු රෝගය වැළදුන රෝගීන් රුධිරය ඉවත් කරන්න පහසුකම් නෑ. සතියකට තුන් වතාවක් පොලොන්නරුව රෝහලට සැතපුම් 30ක් දුරක් මේ රෝගීන්ට යන්න වෙනවා. මේ අයට එතරම් වියදම් කළ නොහැකියි. රුධිරය ඉවත්කරන පහසුකම් සැම රෝහලකටම අත්‍යවශ්‍යයි.

ඒ. එම්. විජේසූරිය (ජයසිරිපුර) - මට අවුරුදු 55ක්. මට දරුවන් 4ක් සිටිනවා. අපි ජීවත් වුණේ ගොවිතැන් කරලා. දැන් මගේ වකුගඩු නරක වෙලා. පොලොන්නරුව රෝහලෙන් බෙහෙත් ගන්නේ. දවසකට රුපියල් 600ක් බස් එකට යනවා. පිටින් ගන්න බේත්වලට රුපියල් 1500ක් ඕන. අපිට අවශ්‍ය බේත් ටිකවත් දෙන්න කියා ඉල්ලනවා.

යූ. ජී. යසවතී (සරුබිම) - මගේ අම්මා, අක්කගේ පුරුෂයා වකුගඩු රෝගයෙන් මිය ගියා. රෝගය හැදෙන්නේ ජලයෙන් කියලා කියනවා. අපේ ළිංවල වතුර කිවුලයි. අපිට ෆිල්ටර් ගන්න සල්ලි නෑ. රජයෙන් ඉල්ලන්නේ අපිට පිරිසදු ජලය ලබාදෙන වැඩපිළිවෙළක් සකසා දෙන්න.

පොලොන්නරුව දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරන වෛද්‍ය බී. ඒ. එම්. නන්දන මෙත්තසුරිය මහතා - වකුගඩු රෝගය වැළදීම කොටස් දෙකකට වෙන්කර තිබෙනවා. ඒ හදුනාගත් සහ හදුනා නොගත් රෝගීන් ලෙස. දියවැඩියාව, අධික රුධිර පීඩනය, වකුගඩුවේ ගල් ඇති අය සර්පයන් දෂ්ඨකළ අය සහ කෘමිනාශක-වල් නාශක වගාවන්ට යොදාගැනීම ඒවගේ රසායනික ජලයට කාන්දුවීම භෝගවලට ඇතුළුවීම ඒවා භාවිතා කිරීම මෙන්ම ඇල්මිනියම් භාජනවල අහාර පිසීම නිසා වකුගඩු රෝගය වැළදීමට ඉඩ තිබෙනවා. රෝගය වැළැක්වීමට අපහසුයි අපි ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කළත් උපදෙස් ජනතාව පිළිපදින්නේ නෑ. සායනවලින් රෝගීන් ගැන දැන ගන්නේ. දැනට පොලොන්නරුව රෝහලේ වකුගඩු රෝගීන්ගේ රුධිර පිරිසිදු කිරීමට ඇඳන් 14 වාට්ටුවක් පමණයි ඇත්තේ. ඒ වාට්ටුවේ දිනකට 3 වතාවක්රෝගීන්ගේ රුධිරය ඉවත් කරනවා.  තවත් ඇඳන් 10ක් එක් කිරීමට නියමිතයි. මැදිරිගිරිය රෝහලේ ඇදන් 3ක් ඇත්තේ. එහි දිනකට රෝගීන් 9ක් රුධිර ඉවත් කරනවා. අලුතෙන් හිඟුරක්ගොඩ රෝහලේ රුධිරය ඉවත් කරන ඇඳන් 5ක් දැමීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලොන්නරුවේ වකුගඩු රෝගීන් සදහා රෝහලක් ද ලබාදී තිබෙනවා.

නව අදහස දක්වන්න