වගකීමෙන් වැඩ කරන්න...!? | දිනමිණ

වගකීමෙන් වැඩ කරන්න...!?

අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තනතුරුවලින් ඉවත් කරන්නැ’යි එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඉල්ලා සිටී. එ.ජා.ප. මහ ලේකම් කබීර් හසීම් මහතා මේ බව හෙළිකර ඇත. අදාළ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත යොමු කර ඇතත් ජනාධිපතිවරයාගේ තීන්දුව කුමක්දැ’යි මේවන තුරුම අප දන්නේ නැත. විජයදාස රාජපක්ෂ මහතා සිද්ධියට අදාළව ගනු ලබන තීන්දුව ගැන ද අපට යමක් කිව නොහැකි ය. එහෙත් මෙය ආන්දෝලනාත්මක සිද්ධියක් බවත්; ජනතාව කිසියම් තීන්දුවක් අපේක්ෂාවෙන් බලා සිටින බවත් ඉතා පැහැදිලි ය. මේ තීන්දුව රටේ ඉදිරි ගමනට හා රජයේ දේශපාලන ස්ථාවරත්වයට බාධකයක් නොවන එකක් වන්නේ නම්; වඩා වැදගත් ය.

විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා කවරේ ද? ඉතා පැහැදිලි චෝදනා දෙකක් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇත. පළමු චෝදනාව වන්නේ කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය බිඳ වැටෙන අයුරින් ක්‍රියා කිරීම ය. එය රජයට එරෙහිවීමක් ලෙස ද පක්ෂයට එරෙහිවීමක් ලෙස ද සලකන්නට පුළුවන. දෙවන චෝදනාව වන්නේ අධිකරණ ක්‍රියාවලිය අකාර්යක්ෂමභාවයට පත් කිරීමට ක්‍රියා කිරීම ය. එයින් පැහැදිලිවන්නේ රජයේ වගකිව යුතු අමාත්‍ය ධුරයක් දරමින් රාජපක්ෂ මහතා සිය වගවීම් ඉටුකර නැති බව ය. ආණ්ඩුවක සාමුහික ක්‍රියාවලිය දෙස බලනවිට මේවා බරපතළ වැරැදි ලෙස සැලැකිය හැකි ය.

හම්බන්තොට වරායේ කොටස් චීනයට බදු දීම සම්බන්ධයෙන් රාජපක්ෂ මහතා දරන මතය ආණ්ඩුවට බෙහෙවින් හානිකර ය. එය රජයේ ආර්ථික දර්ශනය හා ආර්ථික පිළිවෙත අභියෝගයට ලක් කරන සාධකයක් ලෙස පවතී. ඇමැතිවරයා බදු දීම හා විකිණීම පවා අර්ථකථනය කරන්නේ රජයට එරෙහි මතයක් ගොඩනැ‍ඟෙන ආකාරයෙන් යැයි කියන්නට පුළුවන. ඔහු කියා සිටින්නේ හම්බන්තොට වරායට අදාළ ගිවිසුම අවලංගු කරන බව ය. මෙය එක අතෙකින් සාහසික ප්‍රකාශයක් වන අතර තව අතෙකින් ජනතාව කුපිත කරවන ප්‍රකාශයක් ද වන්නේ ය. මේ ඔස්සේ යළි අභියෝගයට ලක්වන්නේ කැබිනට් මණ්ඩලයේ විනය හා සාමූහිකත්වය යි.

කිසියම් මහජන නියෝජිතයකු පිළිගත් දේශපාලන පක්ෂයක ඡන්ද අපේක්ෂකයකු බවට පත්වන්නේ එම පක්ෂයේ ව්‍යවස්ථාව, ප්‍රතිපත්ති හා වැඩසටහන් පිළිගැනීමෙන් පසුව ය. රජයක අමාත්‍ය ධුරයක් භාර ගනු ලබන්නේ ද එම රජයේ දර්ශනය හා ක්‍රියාකාරී වැඩසටහන් පිළිගනිමින් ඒවාට සහයෝගය දක්වන ප්‍රතිඥාවක පිහිටා ය. හෘද සාක්ෂියට එකඟව යම් තීරණයකට එකඟ විය නොහැකි නම්; කළ යුත්තේ තම තනතුරු අතහැර යෑමය. හෙවත් ඉල්ලා අස්වීම ය. 1987 දී ගෙන ආ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට ගාමිණී ජයසූරිය මහතා මෙන් ම සිරිල් මැතිව් මහතා ද විරුද්ධ වූහ. ඔව්හු දෙදෙනා ම ගෞරවණීය ලෙස ඉල්ලා අස්වූහ.

මහජන නියෝජිතයන් ක්‍රියා කළ යුත්තේ විනයගරුක ලෙස ය. ඡන්දයෙන් පත්වන මන්ත්‍රීවරයකු තනි තීරණ හා හිතුවක්කාරී ක්‍රියාවලට යෑම අනුචිත ය. සදාචාරයක් සහිත දේශපාලන සංස්කෘතියක් තුළ එවැන්නක් සිදු නොවිය යුතුය. එක අතෙකින් දේශපාලකයා මහජනයා ලබාදුන් අභිමතයට ගරු කළ යුතුය. තව අතෙකින් දේශපාලකයා තමන්ගේ සාමුහික වගකීම් ගැන කල්පනා කළ යුතුය. රටේ ජනතාවගෙන් ලක්ෂ හැට දෙකක් සිය අභිමතය ප්‍රකාශ කොට ඇත්තේ වසර පහක් සඳහාවත් මේ දේශපාලන දර්ශනය හා ආර්ථික පිළිවෙත රටේ පැවැතිය යුතු බවට ය. දේශපාලකයන් එම අභිමතයට අභියෝග කරමින් රජයේ ස්ථාවරත්වය බිඳ දමන්නේ නම්; එය මහජනයා වෙත එල්ල කළ අතුල් පහරක් සේ සැලැකිය හැකි ය.

ගිය ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ හා වංචා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමද, හොරුන්ට දඬුවම් දීම ද ප්‍රමාද වී ඇති බව කව්රුත් පිළිගන්නා සත්‍යයෙකි. ඊට හේතුව අපේ අධිකරණ ක්‍රියාවලියේ අඩුපාඩු බවද පිළිගත් සත්‍යයෙකි. මේ අනුව අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ද කාර්යක්ෂම කිරීමට ද අධිකරණ අමාත්‍යවරයා බැඳී සිටී. එහෙත් පසුගිය කාලය තුළ එවැන්නක් සිදු වූ බවට සාක්ෂි නැත. තත්ත්වය එසේ නම්; අධිකරණයේ අකාර්යක්ෂමතාව ගැන වගකීම විජයදාස රාජපක්ෂ මහතා භාරගත යුතුය. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ද ඒ බව සනාථ කර තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා කමිටුවක් ද පත් කළ බව අපට මතක ය.

විජේදාස රාජපක්ෂ මහතාට තවත් චෝදනාවක් එල්ල වී ඇත්තේ ගිය ආණ්ඩුවේ හොරුන් ආරක්ෂා කරන බවට ය. එම චෝදනාවේ තවත් කොටසක් වන්නේ ගිය ආණ්ඩුවේ හොරුන්ගේ ඇතැම් නඩුවලට රාජපක්ෂ මහතා නීතිඥයකු ලෙස පෙනී සිටින බවට ය. එහි යටි අරුත වන්නේ හොරුන් අල්ලා දඬුවම් දීමේ වුවමනාවක් අධිකරණ අමාත්‍යවරයාට නැති බව ය. මේ සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය අප දන්නේ නැත. රාජපක්ෂ මහතාට හොරුන් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතියක් තිබෙන්නට පුළුවන. එහෙත් හොරුන් ආරක්ෂා කිරීමේ අයිතියක් තිබිය නොහැකි ය. දඬුවම් වැළැක්වීමේ අයිතියක් ද තිබිය නො හැකි ය. එබඳු පසුබිමක් ගොඩනැ‍ඟෙන්නේ නම්; යහ පාලනයට එරෙහිව ජනතාව වීදි බසිනු ඇත.

අගමැතිවරයා කියා ඇත්තේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාකොට විජයදාස රාජපක්ෂ පිළිබඳ තීරණයකට එන බව ය. එය වඩාත් සාධාරණ හා යුක්ති සහගත ක්‍රමය බව පෙනේ. කැබිනට් මණ්ඩලයේ ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේද තීරණය වන්නේ ඉවත් කිරීම සුදුසු බව ය. හැට දෙලක්ෂයක් ඡන්ද දායකයන්ගේ තීන්දුව ද එය ම විය හැකි ය. රටේ දේශපාලන ස්ථාවරත්වය සඳහා ද, රජයේ පැවැත්ම සඳහා ද මේ ඉවත් කිරීම සිදු කළ යුතු යැයි බොහෝ දෙනා පෙන්වා දෙති. මේ සිද්ධියට මුවා වී කල දුටු කල වළ ඉස ගැනීමට ද සමහරුන් උත්සාහ දරන බවක් පෙනෙයි. ඒ අනුව විජයදාස රාජපක්ෂ මහතා කල්කදුරු සේ තිත්ත වූ ඇතැම්හු දැන් ඔහු වඩා ගන්නට දෑත දිගු කරති. ඒ මේ රටේ දේශපාලනයේ ස්වාභාවය යි.

ජනතාව බලවත් අරගලයකින් පසු වත්මන් ආණ්ඩුව පත්කර ගත්තේ අනාගත බලාපොරොත්තු ඇතිව බව කිව යුතුය. එක අතෙකින් ඒකාධිපති පවුල් පාලනය වෙනස් කිරී‍මේ වුවමනාව ජනතාවට තිබිණි. තව අතෙකින් සංවර්ධනයට මුවා වී සිදු කරන මහා පරිමාණ ගසාකෑම් නැවැත්වීමේ වුවමනාව ජනතාවට තිබිණි. මේ බලාපොරොත්තු සිහින බවට පත් කිරීමේ අයිතියක් වත්මන් ආණ්ඩුවේ දේශපාලකයන්ට නැත.

නව අදහස දක්වන්න