පරණ | දිනමිණ

පරණ

 මහානාම දුනුමාල

මම මගේ අවශ්‍යතාවයකට කිසියම් නගරයකට ගියෙමි. නගරයේ වීදියක කුඩා අවන්හලක තේ පානය කරමින් සිටි මට මා නොහඳුනන තැනැත්තකු සමඟ කතාබහ කරන්නට අවස්ථාව ලැබිණි. කතාබහ අතරතුර ඔහු මා හා මෙසේ කීවේ ය.

“මම මේ නගරයට යන්න එන්න වෙලා අවුරුදු හතළිහක් විතර ඇති. මට ඕනැම වෙලාවක මේ නගරයේ මා දකින දර්ශනය අතුරින් අවුරුදු හතළිහකට එපිට පරණ ටවුම මවාගන්න පුළුවන්. අවුරුදු විස්සකට කලින් ටවුම හිතින් මවාගන්නත් පුළුවනි.”

එකම නගරයක් නැත්නම් එකම ගමක් දිගුකල් ඇසුර කළ අයකුට පහසුවෙන් සිතින් එහි අතීතයට ගිය හැක. වියපත් වූ අයකුට සිය අතීත මතක ශක්තිය යහපත් නම් පහසුවෙන් තමන් එදවස ආ ගිය නගර ගම් ආදියේ අතීත රූපාවලිය මවා ගත හැක. මේ කාරණයේ දී නගරය වඩා සංකීර්ණය. එය ගමට වඩා ඉක්මනින් වෙනස් වෙයි. ගමේ ගෙවල් නවීකරණය වෙයි. අලුතින් ගෙවල් තැනෙයි. පාරවල් නවීකරණය වෙයි. කුඹුරු, වතුපිටි වෙනස් වන්නේ අඩුවෙනි. ‍ප්‍රධාන වෙනස්වීම නම් ඒවා හරහා විදුලි රැහැන් ඇදීම හා ගිරි මත යෝධ සන්නිවේදන කුලුනු ඉදිවීමයි. එහෙත් නගරය එසේ නො වේ. එය වේගයෙන් වෙනස් වෙයි. පවතින කඩසාප්පු හිටිහැටියේ කඩා දැමෙමින් යෝධ බිල්ඩින් සාප්පු සංකීර්ණ ආදිය ඉඳි වෙයි. පවතින කුඹුරු හා පහත්බිම් ගොඩ කෙරෙමින් ගොඩනැඟිලි ඉඳි කෙරෙයි. පවතින ගොඩනැඟිලි හිටිහැටියේ දෙමහල්, තෙමහල් හා සිව්මහල් වෙයි. ඉතින් මේ වේගවත් වෙනස්වීමෙන් පසු එදා පැවති තත්ත්වය සිහිකැඳවා ගන්නට හොඳ මතක ශක්තියක් අවශ්‍ය ය.

අද පවතින කෑගල්ල නගරය දකින විට අදින් අවුරුදු හතළිස් තුනකට පමණ පෙර (1974) පැවති කෑගලු නගරය අද පවතින නවීකරණයේ සේයා අතුරින් මවා ගැනීමට මට ද හැකිවෙයි. 1972 දී පමණ පැවති මහනුවර නගරය ද, 1980 පමණ පැවති කොළඹ නගරය ද කෑගල්ල පමණට ම නැතත් සිතේ මවා ගැනීමට මට මහා අසීරුවක් නැත.

1974 දී කෑගල්ල නගරය ශාන්ත ජෝශප් බාලිකාව අසල තිබුණු සැතපුම් 48 කණුවත් දිසාපති මන්දිරය අසල තිබුණු සැතපුම් 49 කණුවත් අතර විහිදුනු සැතපුමක් දිග ප්‍රධාන වීදියකින් සමන්විත වූයේ ය. අද වන විට නගරය (අද වන විට කිලෝමීටර කණු විනා සැතපුම් කණු නැත.) එදවස සැතපුම් 48 කණුව තිබුණු තැනින් මෙපිටටත් සැතපුම් 49 කණුව තිබුණු තැනින් එපිටටත් විහිදී ඇත්තේ ය. මේ දෙක අතර තිබුණු පරණ පන්නයේ ගොඩනැඟිලි වෙනුවට නවීන ගොඩනැඟිලි ඉඳිවී නවීකරණය වී ඇත්තේ ය. එදවස තිබූ සමහර කඩසාප්පු, හෝටල් ආදිය අද හුදෙක් නාමමාත්‍රික මතකයන් බවට පත්වී අලුත් නම් සහිත කඩසාප්පු, හෝටල් බිහිව ඇත්තේ ය. සමහර කඩසාප්පු ඉවත්ව ඒ ගොඩනැඟිලිවල අලුත් ව්‍යාපාරික නාම සහිත ව්‍යාපාර බිහිව ඇත්තේ ය. සමහර ව්‍යාපාර තිබුණු තැනින් විතැන්ව වෙනත් හැඩවැඩ ඇති ගොඩනැඟිලිවලට ගෙවැදී ඇත. එදවස නගරය නොතිබුණු තැන් අද නගරය බවට පත්ව විසල් ගොඩනැඟිලි, හෝටල්, සාප්පු ආදිය එබිම් සරසනු දැකිය හැක. නගරයේ අතුරු වීදිය වූ ගොලහැල පාර අද එදාට වඩා ගොඩනැඟිලි ගහණ පෙදෙසකි. මහනුවර බලා යාමට රවුම් පාර, මොලමුරේ මාවත ආදිය එක්තැන් කරමින් ඉඳිවුණු නව මාවත දිනෙන් දින නාගරික ගති ලක්ෂණවලින් උපලක්ෂිත වෙයි. හැමදේම වෙනස් ය. නාගරීකරණයෙන් දියුණු ය.

මේ අතීතය අතිශයින් වැදගත් වෙයි. නගර හා ග්‍රාම සැලසුම් කරන්නන්ට වඩා ඵලදායී හා නිර්මාණශීලී යෝජිත ප්‍රදේශය සමඟ බද්ධ වන සැලසුමක් සකස් කිරීම සඳහා ප්‍රදේශයේ යටගියාව හා සංස්කෘතිය අතිශයින් වැදගත් ය. නව මං තනන්නන් ආදී නව ව්‍යාපෘති සැලසුම් කරන්නන්ට ද සිය ව්‍යාපෘති සැකසීමේ දී මෙවන් අධ්‍යයන අතිශයින් වැදගත් ය.

සාහිත්‍යකරණයේ නිරත වන අයට අතීත ප්‍රස්තුතයක් සහිත සිය නිර්මාණය සඳහා ප්‍රස්තුතයට අදාළ ප්‍රදේශයේ නිවැරදි ඉතිහාසය බෙහෙවින් අදාළ වෙයි. අතීත පරිසරය නිවැරදිව නිරූපණය කරන්නට නම් පරිකල්පනය පමණක් නොව ප්‍රස්තුත පරිසරය නිවැරදිව අවබෝධ කරගත යුතු ය.

මට වැටහෙන ආකාරයට අතීතය නිරූපණය කරන්නට යන විට බරපතළ ගැටලුවලට මුහුණ පාන්නේ සිනමාකරුවන් හා ටෙලිනාට්‍යකරුවන් ය. තිර පිටපත් රචනා කරන්නන් ගවේෂණ හා අතීත තොරතුරු මත පදනම්ව ලියන තිර නාටකය සඳහා සුදුසු පසුතල සොයන්නට අධ්‍යක්ෂවරයා ඇතුළු නිෂ්පාදන කණ්ඩායමට සිදුවෙයි. ඔවුන් මුහුණ දෙන්නේ බරපතළ ගැටලුවකට ය. වෙල් යාය, කඳුකරය, සුන්දර පරිසරය නිරූපණය කෙරෙන දුර රූප සොයන නිෂ්පාදන කණ්ඩායම බරපතළ අර්බුදයකට පත්වෙති. මේ හැම තැනක ම විදුලි රැහැන් ය. සන්නිවේදන හා විද්‍යුත් මාධ්‍ය කුලුනු ය. නිර්මාණයෙන් කියැවෙන කතාවේ සඳහන් කාල වකවානුවේ මේවා තිබුණේ නැත. කරත්ත ගමන් කරන ගුරුපාරවල් ඇවැසි වෙයි. හැම ගුරු පාරක් ම කොන්ක්‍රීට් කර ඇත. නැත්නම් තාර දමා ඇත. පරණ ගෙවල්, පන්සල් සොයා යාම ද ගැටලුවකි. ඒවා නවීකරණය වී ඇත. සෑම ගෘහයක් සඳහා ම නව දර්ශන තල ඉඳි කරන්නට යාම ද පහසු නො වේ. එවිට වියදම් අධික වෙයි. වියදම් අධික වන නිර්මාණයකට අත ගසන්නට නිෂ්පාදකවරු කැමති නොවෙත්. එළඹෙන අනාගතයේ දී මෙම ගැටලුව තවත් වැඩිවනු ඇත.

මෙතරම් අතීතය ගැන කියන්නේ කුමට, ඉන් පලක් වේද? ඔබ ප්‍රශ්න කරනු ඇත. මතක තබාගන්න. වර්තමානය සහ අනාගතය පිළිබඳ නිවැරදි තීන්දු තීරණ ගන්නට අතීත අධ්‍යයනය මහඟු පිටුවහලක් වනු ඇත. අතීතය තුළ පා තබා නිවැදිව වර්තමානය තුළ පා තබා එතුළින් අනාගතය දෙස සිය දෑස් යොමු කරන්නන්ට වරදින්නේ නැත. 

 

නව අදහස දක්වන්න