දඩ මුදල් සංශෝධනයට අපි එකඟයි | දිනමිණ

දඩ මුදල් සංශෝධනයට අපි එකඟයි

ගැමුණු විජේරත්න - සභාපති - ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

රථවාහන වැරදි සම්බන්ධයෙන් අයකරන දඩ මුදල් සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වීම, නව බදු සංශෝධනය යටතේ යතුරුපැදි මිල අඩු වීම, ශ්‍රී ලංගම පෞද්ගලික බස් රථ සේවා ඒකාබද්ධ කිරීම, බස් රථ සඳහා මහා මාර්ගවල ප්‍රමුඛතා මංතීරු වෙන් කර දීම ආදිය පිළිබඳ අදහස් දක්වමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංග‍මයේ සභාපති ගැමුණු විජේරත්න එහා ඉවුරට එක් වේ.

රථ වාහන වැරැදි කිහිපයක් සම්බන්ධයෙන් වන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී තිබෙනවා. බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා විදිහට ඔබ මෙය දකින්නේ කොහොම ද?

කැබිනට් අනුමැතිය ලැබුණ පමණින් දඩ මුදල් සංශෝධනයට නෛතික හැකියාවක් නෑ. අවසන් වරට මෝටර් රථ ආඥා පනත සංශෝධනය වුණේ 2005 වසරේ දී අංක 12 දඩ මුදල් පනත යටතේයි. මේ සංශෝධනයට දැන් අවුරුදු දොළහක් ගත වෙලා තියෙනවා. පසුගිය ආණ්ඩුව කාලෙත් මේ සංශෝධන සම්බන්ධයෙන් කතිකාවක් තිබුණා. ඒ කාලේ කතා බහට ලක් වෙමින් තිබුණ මේ සංශෝධන ක්‍රියාවලිය මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා.

මේ දඩ මුදල් සංශෝධනය කරන්න ආණ්ඩුවට ඇති ඇත්ත වුවමනාව මොකක්ද?

කවුරු හරි කියනවා නම් මේක කරන්නේ ආණ්ඩුවට මුදල් උත්පාදනය කරන්න කියලා ඒක වැරැදියි. අද අපේ රටේ රථ වාහන අනතුරු නිසා දිනකට අවම වශයෙන් අට දෙනෙකුවත් මිය යනවා. ඒ වගේම තවත් පහළොස් දෙනකුවත් බරපතළ තුවාල ලබනවා. මීට වසර කිහිපයකට කලින් දිනකට මිය යන ගණන සඳහන් වුණේ හතරත් පහත් අතර. දැන් තත්ත්වය බරපතළ යි.

කොහොම නමුත් වසර දොළහකට පස්සෙ තමයි මේ දඩ මුදල් සංශෝධනය වන්නේ. 2005 වසරෙදීත් වැරැදි කිහිපයක දඩ මුදල් සංශෝධනය වුණේ නෑ. අපි සංගමයක් විදිහට විනය ගරුක රිය ධාවනයක් අවශ්‍යයි කියන තැන ඉන්නවා. ඒ වගේම තමයි රිය අනතුරු අවම කර ගැනීම කියන කාරණය නිසා අපි මේ සංශෝධන කරනවට එකඟයි.

පසුගිය අය වැය අවස්ථාවේ දී රථ වාහන දඩ මුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් ප්‍රවාහන සංගම් විරෝධතා දක්වන විට, ඔබ මුදල් අමාත්‍යවරයාට පක්ෂව කටයුතු කළා යැයි චෝදනා එල්ල වුණා නේ ද?

ඒ වෙලාවේ දඩ මුදල් හයක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. හැබැයි අද වෙන කොට මේ සියල්ල සංශෝධනයට ඇවිල්ලා තියෙනවා. කොහොම නමුත් එදා මම ඒ සාකච්ඡාවලින් ඉවත් වුණා. වැඩ වර්ජනය කියන එක ඕනෑම වෙලාවක කරන්න පුළුවන්. ඒක කවුරු කළත් බස් කර්මාන්තය තුළ සාර්ථකව කරන්න පුළුවන්. හැබැයි අපිට මිනී මරන්න රියැදුරු බලපත් ඉල්ලන්න අයිතියක් නෑ. එහෙම කරනවා නම් ඒක නීති විරෝධී ක්‍රියාවක්. ඒ නිසා තමයි අපි එදා එතැනින් ඉවත් වුණේ. කොහොම නමුත් එදා අය වැය තුළ නොකළ යුතු දෙයක් කරලා තිබුණා. ඒ නිසා තමයි අපි ඉස්සරහට ආවේ.

අදත්, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය දඩ මුදල් සංශෝධනය සම්බන්ධයෙන් විරෝධතා දක්වනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා?

පසුගිය අය වැය යෝජනාව වෙලාවෙත් ඒ අය විරෝධතා දැක්වුවා. නමුත් අද වෙනකොට ඒ ක්‍රියාවලිය නිෂ්ඵලයි කියලා ඔප්පු වෙලා තියෙනවා. කොහොම නමුත් අද පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය සේවා පනත සම්මත වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැන කවුරු කවුරුත් අවබෝධයෙන් පසුවිය යුතුයි. අපේ ප්‍රවාහන සේවාවත් මහජනතාවට සේවා සපයන සේවාවක් වගේම අත්‍යවශ්‍ය සේවාවක්.

මෑත උදාහරණය වන තෙල් සංස්ථා වැඩ වර්ජනය ඔය හැම සංගමයක්ම අත්දැකීමකට ගත යුතුයි. මේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස වර්ගීකරණය කරන්න ආණ්ඩුවට හැකියාවක් තියෙනවා. මම ආණ්ඩුවට කඩේ යන්නේ නෑ, ඒ නිසා ඕනෑම ප්‍රකාශයක් බුද්ධිමත්ව කරනවා නම් ඉතා වැදගත් කියලයි මම කියන්නේ.

එදා දඩ මුදල 25,000ක් කරනවාට විරුද්ධව දිවයින පුරා බස් රථ වර්ජනය කළා. අදත් එහෙම වෙන්න පුළුවන් නේ ද?

එදා මේ අය හැම බස් රථයකම පෝස්ටර් ඇලෙව්වා, මෙහෙම දඩ මුදලක් එනවා කියලා. ඒ හැම එකක්ම ගහලා තිබුණේ සිංහලෙන්. ඒ කණ්ඩායම එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තෙ ඉදලා තමයි මේ වැඩේ කළේ. හැබැයි එදා උතුරු නැඟෙනහිර බස් රථ ධාවනය කළා. පෝස්ටර් ගහලා බස් නවත්වනවා කියන එක ප්‍රායෝගික නෑ. වර්ජනය කරලා බස් රථ ධාවනයෙන් ඉවත් කරනවා නම් ලංකාවේම බස් රථ නවත්වන්න ඕන. මම 2012 දී ලංකාවේ ම බස් රථ නවත්තලා මහින්ද මහත්තයාට දැනෙන්න වර්ජනය කළා.

කොහොම නමුත් මේ දඩ මුදල් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවේචන එල්ල කරනවා. ඔබ සංගමය මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරනවා ද?

අපි ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කරනවා. දඩ මුදල් සංශෝධනයට ප්‍රවාහන අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශයත් එක්ක අපි එකඟ වුණේ කරුණු කිහිපයක් මුල් කරගෙන. පළමු කාරණය තමයි නවීන තාක්ෂණය භාවිතය. දෙවැනි කාරණය නවීන උපකරණ භාවිතයයි. ඒ වගේම ඕනෑම මත්ද්‍රව්‍යක් භාවිත කර රිය පැදවීම හසු කර ගැනීමට අවශ්‍ය තාක්ෂණය භාවිතා කිරීම කියන කාරණා පිළිබඳ වැඩි අවධානයක් ආණ්ඩුව දෙන්න ඕන.

මත්ද්‍රව්‍ය භාවිතය, දුම්රිය හරස් මාර්ගයේ අනාරක්ෂිතව රිය පැදවීම, නිසි වයස සීමාව නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත් හා රක්ෂණාවරණ නොමැතිව රිය පැදවීම කියන කාරණා වළක්වාගත හැකි වැරැදි. ඒ වැරැදිවලට පනවා ඇති දඩයට අපේ විරෝධයක් නෑ‍.ඒත් අනෙක් කාරණා අයත් වන්නේ අහඹු සිදුවීම් ගණයට. කොහොම නමුත් රජය යටිතල පහසුකම් සංවර්ධනය කරලා ඉහත කී කාරණාවලට දඩ මුදල ඉහළ දැමීම හොඳයි කියන එකයි මගේ මතය.

තාක්ෂණය හා අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිව දඩ මුදල් ඉහළ දමන බව ඔබ සඳහන් කළා.එවැනි අඩුපාඩු සහිතව දඩ මුදල ඉහළ දාන්නේ ඇයි?

මම කලින් කිව්වා වගේ මේ දඩ මුදල් ඉහළ දමනවා නම්, අවශ්‍ය උපකරණ ගේන්න ඕන. අද රටේ තාක්ෂණය දියුණුයි, දුරකථන තියෙනවා, විද්‍යුත් ලිපින තිබෙනවා. ඒත් තවම අපේ රියදුරු බලපත්‍රයේ වලංගු කාලය අවසන් වන විට දැනුම් දීමට ක්‍රමවේදයක් සකස් කරලා නෑ. රක්ෂණාවරණයේ කාලය අවසන් වීමට මාස දෙකකටවත් පෙර දැනුම් දෙන්න ඕන. දඩ මුදල් ඉහළ දැමීමට සමගාමීව මේ දේවලුත් කෙරෙන්න ඕන. අනෙක් කාරණය තමයි පදිකයා කරන වැරැද්දට දඬුවමක් නොමැති වීම. පාරේ යන හැම පදිකයෙක්ම කරන වරදට දඬුවම් විදින්න ඕන රියැදුරන් නෙවෙයි. පදිකයාටත් විනයක් තියෙන්න ඕන.

ඒ නිසා පදිකයන්ටත් දඬුවම් කරන ක්‍රමවේදයක් අනිවාර්යයෙන් අවශ්‍යයි. එහෙම නොවුණොත් මේ සංශෝධන කිසිසේත් සාධාරණ නෑ. රියැදුරන්ට දඩ පැනවීමෙන් පමණක් විනය ගරුක රථවාහන ධාවනයක් ඇති කරන්න බෑ. ඒ වගේම තමයි අන්තරාදායක හා අපරීක්ෂාකාරී රිය පැදවීම කියන එක, මේක කොහොම ද අර්ථකථනය කරන්නේ. ඒ ගැනත් අපිට ගැටලු තියෙනවා.

කොහොම නමුත්, දැන් මේ දඩ මුදල් සංශෝධනයට අනුමැතිය ලැබිලා තියෙන්නේ, ගැසට් නිවේදනය නිකුත් කළොත් එය නීතිගත වෙනවා නේද?

මේ සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් අපිට තියෙනවා. අපි ඒ ගැටලු විසඳගන්න,සාකච්ඡා මාර්ගයට යනවා. එහෙම නිරාකරණය කරගන්න බැරි වුණොත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අපි කරුණු ඉදිරිපත් කරනවා. කැබිනට් අනුමැතිය ලැබුණ පමණින්, මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන්න නෛතික බලයක් නෑ. මේ ගැටලුවලට විසඳුමක් නොමැතිව ඉදිරියට යන්න බෑ.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය නිසා දිනකට බිලියනයක් පමණ පාඩුවෙනවා කියලා සඳහන්. රජය උත්සාහ කරන්නේ ඒ පාඩුව අවම කරගන්න නේ ද?

මමත් ඒක පිළිගන්නවා. 2011 වසරේ දී මම සමීක්ෂණයක් කළා. එහිදී තහවුරු වුණා වසරකට රුපියල් බිලියන 225ක් රටට අහිමි වෙනවා කියලා. ඒ කියන්නේ දිනකට ලංකාවේම බිලියනකට ආසන්න ප්‍රමාණයක් අහිමි වෙනවා. පසුගිය අවුරුදු දෙකේ දී මෝටර් සයිකල් ගහනය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ත්‍රී රෝද රථ හා කාර් රථ ගෙන්වීමත් වැඩි වෙලා තියෙනවා. ලංකා ඉතිහාසයේ වාහන වැඩිපුරම ගෙන්වලා තියෙන්නේ යහපාලන ආණ්ඩුව කාලේ. පුද්ගලික වාහනවලට මගී ජනතාව යොමු වෙන්නේ පොදු ප්‍රවාහන සේවය විධිමත් නොවීම නිසයි. අනෙක් ප්‍රශ්නය තමයි පොදු ප්‍රවාහන පද්ධතිය තුළ ඉන්න මගීන් දිනකට 1500ක් අපට අහිමි වෙනවා. මේක බරපතළ ප්‍රශ්නයක්. මාර්ග තදබද නිර්මාණය වෙන්නේ මේ කාරණා නිසයි. තවත් ඉස්සරහට මේ ප්‍රශ්නය දැඩිව බලපාන්න පුළුවන්.

පසුගියදා මෝටර් සයිකල් ආනයනික බද්ධ අඩුකරන්න මුදල් ඇමැතිවරයා පියවර ගත්තා. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

මේ කාරණයට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. මේ රට වියට්නාමයක් කරන්න තමයි හදන්නේ. රථවාහන තදබදයට විසඳුම් සොයන අතරේ මේ වගේ දේවල් කළාම තද බදය තවත් වැඩි වෙනවා. ඒ වගේම තමයි දිනකට මිය යන ගණනෙන් වැඩි ප්‍රමාණයක් මිය යන්නේ යතුරු පැදිකරුවන්. මේ කරලා තියෙන්නේ තරුණයන්ට හැප්පිලා මැරෙන්ට ආණ්ඩුව ලයිසන් එකක් දීපු එකයි. මේ ආණ්ඩුව ඉතිහාසයේ කරපු බරපතළම වරද තමයි මේ කළේ, අපි මේ තීරණයට තරයේ විරුද්ධයි.

ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාවට නංවා තිබෙනවා. ඊට යහපත් ප්‍රතිචාරයක් තියෙනවා නේ ද?

මේක අපි තමයි යෝජනා කළේ. අගමැතිවරයා මීට පෙර උපදෙස් දුන්නා බස් කර්මාන්තය නිවැරැදි කරන්න යෝජනා ඉදිරිපත් කරන්න කියලා. ඒ අනුව තමයි අපි හොඳ බස් රථ දාන්න, ප්‍රමුඛතා මංතීරුවක් අවශ්‍යයි කියලා යෝජනා කළේ. අගමැතිතුමාගේ සංකල්පයක් මත ජාතික ප්‍රතිපත්ති කටයුතු අමාත්‍යාංශය යටතේ වසර දෙකකට කලින් මේ ගැන සාකච්ඡා කළා. ඒ තීරණ අනුව ප්‍රමුඛතා මංතීරු සකසන්න සැලසුම් සකස් වුණා. ඊට අදාළ ආයතන කිහිපයක් සාකච්ඡාවලට සහභාගී වුණා. එහි දී මේ කාරණයට විරුද්ධ වුණේ මහා මාර්ග අමාත්‍යාංශය විතරයි. මම මේ ප්‍රමුඛතා මංතීරු ගේන්න මානව හිමිකම් කොමිසමටත් ගියා. මේ මංතීරුව අපිට දුන්නාම පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු වෙනවා වගේම දැන් තියෙන ගැටලු ගොඩක් විසඳගන්නත් පුළුවන්.

ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට ධාවනයේ යොදවන්න ඕන කියලා මතයක් ඉදිරිපත් වුණා නේද?

2008 වසරේ දී මේක ඇති කරන්න උත්සාහ කළා. ලංගම යන්නෙත් දේශපාලන මුහුණුවරක් අරගෙන. අපි ඉදිරියේ දී නිලධාරීන් එක්ක මේ ගැන කතා කරනවා. ලංගමටත් ගෙවන්නෙ මහජනතාවගේ මුදල්. ඒ ආයතනය පාඩු ලබන්නත් අවශ්‍ය නෑ. ඒ නිසා අපි යෝජනා කරනවා පුද්ගලික රාජ්‍ය ඒකාබද්ධ වැඩපිළිවෙළකට යන්න ඕන කියලා. මේකට අපිට දේශපාලන සහය අවශ්‍යයි. දැනට තියෙන සහයෝගය මදි. අද වෙනකොටත් ප්‍රවාහන පද්ධතියේ බරපතළ දූෂණ සිද්ධ වෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් මේවා විසඳාගත යුතුයි.

පුද්ගලික බස් රථ සේවකයන්ට විශ්‍රාමික වැටපුක්, රක්ෂණාවරණයක් ලබා දෙන්න ඔබ සංගමය මැදිහත්වීමක් කරලා තියෙනවා ද?

ඒ නිසා තමයි අපි ට්‍රැවල් කාඩ් එක හඳුන්වලා දුන්නේ. එතකොට බස් හිමියන්ට දැනට අහිමි වෙන මුදල රැක ගන්න පුළුවන්. බස් රථ සේවකයන්ටත් සහන රැසක් දෙන්න පුළුවන්. දැනටත් අපේ බස් කර්මාන්තයේ ආදායමෙන් සියයට විසිපහක් අහිමි වෙනවා. මේ මුදල ඉතිරි කරගත්තා නම් දිනකට එක් සේවකයකු වෙනුවෙන් රුපියල් සියයක් වෙන් කරලා විශ්‍රාම වැටුපක් දෙන වැඩපිළිවෙළකට යන්න පුළුවන්. 2017 අය වැය යෝජනාවටත් අපි මේක දැම්මා. අවාසනාවකට මේ කිසි දෙයක් රටේ ක්‍රියාත්මක වෙන්නෙ නෑ. පාලකයෝ මේවට අවධානය යොමු කරන්නෙ නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. ඇයි ආණ්ඩුව අපිව ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ. අපි රටේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට දොළහක දායකත්වයක් දෙනවා.

 

සංවාද සටහන
දුමින්ද අලුත්ගෙදර

ඡායාරූප
මහින්ද විතානච්චි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...