ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියෙන් 2025 දී ණය බර අවසන් කරනවා | දිනමිණ

ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියෙන් 2025 දී ණය බර අවසන් කරනවා

අගමැති කොටපොළ දී කියයි

වත්මන් යහපාලන ආණ්ඩුව ගෙන යන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය නිසා 2025 වන විට මේ රටේ ණය බර සම්පූර්ණයෙන්ම නිමා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මේ රටේ පවතින ණය බර ඊළඟ පරම්පරාවට ගෙවීමට කිසිදු ලෙස ඉඩ නොතබන බවත් 2025 දී ණය බරෙන් නිදහස්වීමට අදාළ ආර්ථික කළමනාකරණයේ පදනම යහපාලන ආණ්ඩුව තබා අවසන් බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

ගංවතුරෙන් විපතට පත් ප්‍රදේශවලට ලබාදුන් සහනවල ප්‍රගතිය සොයා බැලීම සඳහා කොටපොළ සමුපකාරයේ දී පසුගිය (18) පැවැති උත්සවයකට සහභාගී වෙමින් එසේ කී රනිල් වික්‍රමසිංහ මහතා 2015 දී ආණ්ඩුව ලබා ගන්නා විට රටේ ණයවල පොලියවත් ගෙවීමට හැකියාව නොතිබූ බවත් ආර්ථික කළමනාකරණය නිවැරැදිව කළ නිසා ආපදාවක දී මුහුණදීමට තරම් මුදල් සොයා ගැනීමට හැකි වූ බවත් කියා සිටියේය.

පසුගිය කාලයේ ප්‍රාදේශීය ලේකම්වරු මුදල් ඉල්ලූවිට රාජ්‍ය නායකයන් මුදල් නොමැති බව කීවත් දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එවන මුදල්වලින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් තිබෙන බවත් වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය.

එම නිසා ලැබෙන මුදල්වලින් උපරිම ප්‍රයෝජනය ගැනීමට නිලධාරීන් වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ඒ සම්බන්ධව පසුවිපරමක් සිදු කළ යුතු බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

එහි දී අදහස් දැක් වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

අපි මාතර දිස්ත්‍රික්කයේ ජල ගැල්මෙන් වුණ හානියත්, ජනතාවට සහනාධාර ලබාදුන් ආකාරය හා යටිතල පහසුකම් සංවර්ධනය කරන ආකාරයත් සමාලෝචනය කළා. සමහර කාරණා නිමා කරමින් තිබෙනවා. තවත් සමහර කාරණාවල පරිපාලන කටයුතු කරන්නට තිබෙනවා. යටිතල පහසුකම් දියුණු කිරීමට පරිපාලන අංශයේ තිබෙන අඩුපාඩු සොයාබලා විසඳුම් ලබාදිය යුතුයි. මුදල් අමාත්‍යාංශයයි, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයයි මුදල් ඉල්ලන තැන සිට පහළම තැන දක්වා බැලීමට කටයුතු කරනවා. සැප්තැම්බර් වන විට මේ සියලු ව්‍යාපෘති ආරම්භ කරනවා. සැප්තැම්බර් වන විට මුදල් ලබාදී තිබෙන ව්‍යාපෘති අවසන් කරන්න. භාණ්ඩාගාරයේ මුදල් ලබා දුන්නට ඒවා වියදම් කර අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම නිලධාරීන්ගේ වගකීමයි. මොකද භාණ්ඩාගාරයෙන් එක විදිහට මුදල් ව්‍යාපෘති සඳහා ලැබෙන්නේ නැහැ.

මේ ගංවතුර නිසා පාඩුව මිලියන 109ක්. නමුත් අපි එම විපත වෙලාවේම මිලියන 60ක් වෙන් කළා. ඉතිරි මුදල් ටිකත් අපි ලබා දෙනවා. භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදෙන්නේ රාජ්‍ය ආදායම් ලැබෙන විදිහටයි. පසුගිය වසරේ අරක්කු බෝතල්වලට රූපමය දැන්වීම් දාලා බිලියන 40ක ආදායමක් බලාපොරොත්තු වුණාට එය ලැබුණේ නැහැ. එය ටෙන්ඩර් කොමිටියට ගිහින් දැන් නීතිපතිවරයා ළඟට ගිහින් තිබෙනවා. එයට දැන් වසරක් ගත වෙනවා. ඉන් රුපියල් බිලියන 40ක අදායම අහිමිවෙලා තිබෙනවා. නමුත් අප ස්වභාවික ආපදාවල දී මුදල් ලබා දුන්නා. එය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම නිලධාරීන්ගේ වගකීමයි.

අනෙක් කරුණ නම් ගමේ ආර්ථිකය දියුණු කිරීමයි. ඒ සඳහා බැංකු අවධානය යොමු කළ යුතුයි. සේවා භාරකාර අරමුදලට ව්‍යාපාරිකයන් අයදුම් පත් ලබා දී තිබෙන්නේ දෙදෙනකු පමණයි. තේ ආර්ථිකය රටේම හොඳ තත්ත්වයක තිබෙන වේලාවේ තේ කර්මාන්තය දියුණු කිරීමටත් එමඟින් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. එවිට ආර්ථිකය තවත් උසස් තැනකට ඔසවා තැබීමට හැකියාව තිබෙනවා. 2003 තිබෙන අත්දැකීම් අනුව අපි මේ වැඩකටයුතු කරනවා.

සමහර අවස්ථාවල අපි 2003ට වඩා ප්‍රමාදවී තිබෙනවා. සමහර තැන් වල 2003ට ඉදිරියට ගිහින් තිබෙනවා. මේ ජල ගැල්ම එන අවස්ථවේ දී පැය 24ක සූදානමක් තිබුණා. එසේ නොවන්නට මීට වඩා මිය යන සංඛ්‍යාව වැඩි වෙනවා. එය අපි වළක්වා ගත්තා. දැන් අපි නිවාස ඉදි කිරීමට මුල්ගල් තැබීමට අද කටයුතු කරනවා. ගංවතුර නිසා අපිට ඇති වුණ හානිය මිලියන 109යි. එය අපි සොයා ගත යුතුයි. එයට අය-වැය ප්‍රතිපාදනවලින් මිලියන 60ක් ලබා දී තිබෙනවා. අනෙක් අංශවල ප්‍රාග්ධන වියදම් සීමා කරලා තමයි මේ මුදල් ලබාදුන්නේ. ඉතිරි මුදල් අපි ලබා දෙනවා. මේ මුදලින් විශාල මුදලක් වැය කරන්නේ නිවාස සාදා දීමටයි. පාසල්, විදුලිබලය, යටිතල පහසුකම් සඳහා ඉතිරි මුදල් වැය වෙනවා. පුනරුත්තාපන කටයුතු සඳහාත් අපි මුදල් වෙන් කළා. මේ මුදල අපි සොයා ගැනීමට කටයුතු කරමින් ඉන්නවා.

මේ ප්‍රදේශය තේ, රබර් වගාකරුවන් ඉන්න ප්‍රදේශයක්. මේ කුඩා තේ වතු හිමියන් දියුණු කළ යුතුයි. නව තේ සංවර්ධන ව්‍යාපෘතියක් අපි හඳුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඊට පසු සංවර්ධනය කිරීමත් තේ අලුතින් වගා කීරීමත් ඇතුළත් වෙනවා. කුඩා තේ වතු හිමියන් ලැබෙන ආදායම වැඩි කිරීමට මෙමඟින් හැකියාව තිබෙනවා. තේවල ප්‍රමිතියත් දියුණු වෙන්න ඕන.

ශ්‍රී ලංකාවේ තේ අපනයනය කිරීමේ දී ප්‍රමිතිය විශේෂයි. මොකද සිලෝන් ටී තවත් ලෝකයේ ජනප්‍රියයි. ඒ ප්‍රමිතිය අපි රැක ගත යුතුයි. තේ කර්මාන්ත ශාලා හිමියන්ට සෘජු අපනයන කරනවා නම් ඒ අයට සහන ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. කුඩා තේ වතු හිමියන්ට ණය සහනාධාර ලබාදෙන්න අපි කටයුතු කරනවා. දෙවැනි සංවර්ධන වැඩසටහන තමයි රබර් වගාව සංවර්ධනය කිරීම. අවිස්සාවේල්ල, කළුතර රබර් වතු රබර් කර්මාන්ත ශාලා බවට පත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මොනරාගල, මාතලේ වැනි ප්‍රදේශවල නව රබර් වගාවන් හඳුන්වාදීමට කටයුතු කරනවා. කුරුඳු දියුණු කිරීමේ වැඩසටහනකුත් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කිතුල් කර්මාන්තයත් දියුණු කළ හැකියි. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත් අප කටයුතු කරනවා. දක්ෂිණ සංවර්ධන අධිකාරියත් සංචාරක අමාත්‍යාංශයත් එක්ව අපි සංචාරක ව්‍යාපාරය මේ ප්‍රදේශයේ ව්‍යාප්ත කරනවා. සිංහරාජ වනාන්තරය සංරක්ෂණය කිරීමට අපි කටයුතු කරනවා.

අපි 2015 ආණ්ඩුව ලබා ගන්නා විට ජාතික ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ ණයවල පොලිය ගෙවන්න. අපි ආදායම හා වියදම කළමනාකරණය කරගත් නිසා දැන් අපිට මේ වගේ ආපදාවක දී ලබා දෙන්න මුදල් තිබෙනවා. ඊළඟ පරම්පරාවට මේ ණය ගෙවන්න ඉඩ තබන්නේ නැහැ. අපි නව ආදායම් මාර්ග සොයා ගත යුතුයි. අපේ ආයෝජනවල ප්‍රතිඵල 2025 වන විට ලැබෙනවා. නව රැකියා ලැබෙනවා. නව ආදායම් මාර්ග ලැබෙනවා. රට ඒ නිසා දියුණු වෙමින් තිබෙනවා. වසර දෙකක කළ ණය පාලනය නිසයි අපිට මේ දෙය කරන්න හැකි වුණේ. ආර්ථික පාලනය හා කළමනාකරණය කිරීම නිසා අපට මේ වැනි වැඩසටහනක් කරන්න පුළුවන් වුණා. අපි ලබාදෙන මුදල් ඉක්මනින් යොදා වැඩසටහන් කළ යුතුයි. එම වැඩ කටයුතු කිරීමේ දී අපට තිබෙන බර පොඩ්ඩක් හරි අඩු වෙනවා. ඒ නිසා අපි සැප්තැම්බර් වන විට සියලු ව්‍යාපෘති ආරම්භ කරලා සිංහරාජ සංවර්ධන ව්‍යාපෘතියත් කඩිනමින් සිදු කිරීමට හැකියාව තිබෙනවා.

මීට අවුරුදු 30කට ඉස්සර අකුරැස්සට නිල්වලා විද්‍යාපීඨය ලබාදුන්නට පස්සේ අද අපි විශාල සංවර්ධනයක් මේ ප්‍රදේශයට ලබාදීලා තියෙනවා. රටට හොඳ ආර්ථිකයක්, ජනතාවට හොඳ ආදායමක් වගේම රැකියා ද ලබා දෙනවා. එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එක්ක මහවැලිය වගේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට හැකි වුණා වගේ අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ ඒ ආකාරයෙන්ම විශාල සංවර්ධනයක් ඇති කරනවා. පරණ පවු ගෙවන්න අපිට අවුරුදු 02 ක් ගියා. අපි දකුණෙ විශාල පෙරළියක් කරනවා. මේ පරම්පරාව ගත්ත ණය ඊළඟ පරම්පරාවට ගෙවන්න අපි ඉඩ තියන්නේ නැහැ.

ජනාධිපතිවරණයෙන් පස්සේ මම මෛත්‍රීපාල ජනාධිපතිවරයාට කිවුවා, අපිට තුනෙන් දෙකක බලය ලැබුණත් අපිට ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍යයි කියල. ඒ අනුව අද ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා ආණ්ඩුව කරගෙන යමින් විශාල ප්‍රමාණයෙන් සංවර්ධන කටයුතු කරගෙන යනවා. මහනුවර ඉදල වැල්ලවායට, වයඹ, බස්නාහිර, දකුණ දියුණු කරල, ඊට පස්සෙ ත්‍රිකුණාමලය සංවර්ධන කටයුතු පටන් ගන්න සැලසුම් කරල තියෙනවා. දකුණ සංවර්ධනය වෙනකොට දකුණේ ඉඩම්වල වටිනාකම වැඩි වෙනවා. මීට අවුරුදු 40 කට ඉස්සර ජේ. ආර්. ජයවර්ධන, ප්‍රේමදාස ජනාධිපතිවරයා එක්ක අපි විශාල සංවර්ධනයක් පටන් ගත්තා. වෙළෙඳ කලාප, පාර්ලිමේන්තුව, මහවැලිය, නිල්වලා යෝජනා ක්‍රමය, කොග්ගල වෙළෙඳ කලාපය, ඇඟලුම් කර්මාන්ත ආරම්භ කළා. අපි මේ සංවර්ධන කටයුතු කළේ ණය වෙලා නෙමේ. අද හම්බන්තොට වරාය තිබෙනවා. නැව් එන්නේ නැහැ. මම කිවුවේ ලෝකයේ ලොකුම පිහිනුම් තටාකය කියල. නඩත්තු කරන්න ඩොලර් බිලියන 40 ක් වියදම් වෙනවා.

මත්තල ගුවන් තොටු පොළ තියනවා. ගුවන් හමුදාවෙයි ශ්‍රීලන්කන් ගුවන් යානා විතරයි එන්නේ. මේවා නඩත්තු කරන්න බැහැ. විශාල පාඩුවක් බවට පත්වෙලා. හරි අමාරුවෙන් ගෙනියන්නේ. ඩොලර් මිලියන එකහ මාරක් ණය තියෙනවා. අපි චීනයත් එක්ක කථා කළා. ඒ ණය ගෙවන්න මුදල් ලැබුණා. මත්තල ගුවන් තොටු පොළ ගැන ඉන්දියන් ගුවන් සේවය එක්ක කථා කළා. මේ අවුරුද්ද අවසාන වෙන්න කලින් ඒ කටයුතුත් අපි සකස් කරනවා. එතන ඉදන් දියුණුව පටන් ගන්නවා. දැන් මේ ආයතන දෙකේම බර අපට නැහැ. වරාය, ගුවන් තොටු පොළ දියුණු වෙනවා.

සිමෙන්ති, වානේ කම්හල්, විදුලි බලාගාර ඉදි කරන්න දැන් ඉල්ලුම් කරල තියෙනවා. හම්බන්තොටට කර්මාන්ත කලාපයක් ගේනවා. දකුණේ සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා. හම්බන්තොට, මාතර කර්මාන්ත දියුණු කරල ඒ වාසිය මේ හැම ගමකටම ගේනවා. දකුණේ විශාල විපර්යාසයක් ඇති කරනවා. දකුණ හොඳම සංචාරක කලාපයක් කරන්න අක්කර 2000 ක් එක් එක් ස්ථානවලින් වෙන් කරල, විශේෂයෙන් බෙන්තර ඉදල පිටබැද්දර දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කරන්න කටයුතු කරන අතරම වැලිගම කර්මාන්ත කලාපයක් ආරම්භ කරනවා. එතකොට සිංහරාජය, දෙනියාය, හිනිදුම දක්වා දියුණු වෙනවා.

මුදල් අමාත්‍යවරයත් එක්ක සාකච්ඡා කරල, අන්තර්ජාල බද්ද අඩු කළා. අපි සමාගම්වලට කිවුවා සහනය ලබා දෙන්න කියල. තරුණයන්ට අවස්ථාව දෙන්න ඕන. අන්තර්ජාලය භාවිත කරන ප්‍රමාණය වැඩි වුණාම මේ ආදායම වැඩි වෙනවා. විශේෂයෙන් තේ හා භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය කුඩා වාහනවල මිල අඩු කළා. තේ ආර්ථිකය දියුණු වෙන්න භාණ්ඩ හා මගීන් ප්‍රවාහනයට වාහන අවශ්‍ය වෙනවා. එතකොට කුඩා ගම්වල ආර්ථිකය දියුණු වෙනවා. කුඩා මෝටර් සයිකල්වල මිලත් අඩු කළා. ජනතාවගේ අතේ මුදල් වැඩි කර ගන්න පුළුවන් වෙනවා.

පසුගිය රජය ගත්තු ණයවල පොලිය ගෙවන්න රටේ ආදායම මදි. මුදල් තිබුණේ නැහැ. එදා පෙට්‍ර්ල් මිල වැඩි කරල තිබුණෙ. අපි වෙළෙඳ පොළ මිලට දෙනවා. වාසි අවාසි දෙකම දෙනවා. වාසිය ජනතාවට දෙනවා. අපි රජයේ පඩි වැඩි කළා. වියදම වැඩි වුණා. අද ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති වෙලා තියෙනවා. 2025 වෙනකොට මේ රටේ තියෙන ප්‍රශ්න සියල්ලම නැති වෙනවා.

නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා-

ආපදාවෙන් විපතට පත් ජනතාව ගොඩ ගැනීමට අගමැතිවරයා විශාල කැප කිරීමක් කළා. 2003 වසරේ දී මෙවැනි ගංවතුරක් පැමිණි වේලාවේ අගමැතිවරයා ලෙස එතුමා කිවුවේ ඉක්මනින් ආර්ථික ක්‍රියාවලිය ආරම්භ කරන්න කියා. අදත් එතුමා යටිතල පහසුකම් සංවර්ධනය කරන්න කියන ගමන් ආර්ථිකය ශක්තිමත් කිරීමට වැඩකටයුතු කරනවා. මේ පළාතේ මාර්ග, බෝක්කු, පාලම්, පාසල්, නිවාස ගොඩනැඟීමට එතුමා අවධානය යොමු කර උපදෙස් ලබා දුන්නා. වන්දි ලබා දුන්නා. පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා දුන්නා. ව්‍යාපාරිකයන්ට අත්වැල නමින් සහන පොලියට ණය ලබාදීමට කටයුතු කර තිබෙනවා. අනවසර පදිංචිකරුවන්ට ඉඩම් හිමිකම් බලපත්‍ර ලබාදීමට අප කටයුතු කරනවා. ඒ නිසා අගමැතිවරයා මේ පළාතට වැඩි අවධානයක් යොමු කරමින් කළ සේවාවට අපි ස්තුතිවන්ත වෙනවා.

මේ අවස්ථාවේ දී ගංවතුරින් විපතට පත් පාසල් දරු දැරියන්ට පාසල් උපකරණ ලබාදීම ද සිදු කෙරුණු අතර, ඉඩම් හිමිකම් බලපත්‍ර ලබාදීම ද සිදු කෙරිණි. ව්‍යාපාරිකයන් සඳහා සහන පොලිය යටතේ අත්වැල ණය යෝජනා ක්‍රමය හඳුන්වාදීම මෙහි දී සිදු කෙරනු අතර, එම ණය පහසුකම බැංකු පහළොවකින් ලබාගත හැකිය.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා අකුරැස්ස එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක බුද්ධික පතිරණ මහතා විසින් මේ සියලුම ව්‍යාපෘති විවෘත කිරීම් හා මුල්ගල් තැබීම් සංවිධානය කර තිබූ අතර, මන්ත්‍රීවරයා විසින් පැමිණ සිටි පිරිස පිළිගනිමින් මෙසේ කීය. හුලංදාව වතුයායේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නයක් අද විසඳා දෙන්නට හැකි වුණා. අගමැතිවරයා අතින් නිවාස 25 ක් විවෘත කළා. ඉදිරියේ දී හුලංදාව වත්තෙන් අක්කර 125 ක් අරගෙන වතුකරයේ ජනතාවට නිවාස 500 ක් හදන්න දැනටමත් සැලසුම් කරල අවසන්. නිල්වලා ගඟ අපිට ආශිර්වාදයක්. ගොවිතැන් කටයුතුවලට ඉමහත් දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම 1917 ඉදල මහා ගංවතුරින් ජනතාව පීඩාවට පත්වෙනවා.

පසුගිය ගංවතුර තිබිය දී අපි අපට හැකි අයුරින් ජනතාවට සහන ලබාදෙන්න කටයුතු කළා. අද අපි රජයෙන් කිසිම වැය කිරීමක් නැතිව ජීවිතාරක්ෂක බෝට්ටුවක් ජනතා අයිතියට පත් කළා.

ඒ වගේම නවීන පන්නයේ ගිලන් රථයක් ද අකුරැස්ස රෝහල වෙත අපි ලබා දුන්නා. මාතර දිස්ත්‍රික්කයේ සෑම නගරයකටම හොඳ බස් නැවතුම් පොළ තිබුණත් අකුරැස්සට තිබුණේ නැහැ. අද අපේ රජයට හැකි වුණා නව බස්නැවතුම් පොළක් ලබා දෙන්න. අවුරුදු ගණනාවක් තිස්සේ සාකච්ඡාවලට පමණක් සීමා වූ අකුරැස්ස නව නගරය ඉදි කිරීමේ මුල්ගල අද අගමැතිවරයා අතින් තිබීමට හැකිවීම අපේ භාග්‍යයක්. කියාඩුවට පානීය ජලය තිබුණේ නැහැ. අද පානීය ජලයත් ලබාදුන්නා. මාලිම්බඩ ප්‍රාදේශීය සභා කාර්යාලයත්, අකුරැස්ස ප්‍රාදේශීය සභා කාර්යාලයත් ජනතා අයිතියට පත්කළා. අතුරලිය ප්‍රාදේශීය සභා සති පොළක් ද අද ජනතාවගේ අතට පත් කළා. අපේ රජයේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ව්‍යාපෘති රාශියක් එකම දිනයක ආරම්භ කිරීමට හැකි වුණා යැයි කීය.

ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක, මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක, පී. දිගම්බරන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන බී. ජී. චන්දන ප්‍රියන්ත, කපිල ගමගේ යන මහත්වරුන් ඇතුළු හිටපු ප්‍රාදේශීය සභාවල විපක්ෂ නායකවරුන් හා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

චමීර ඇල්ලදෙණිය සහ අකුරැස්ස මධ්‍යම සමූහ ගන්දර සමූහ
ඡායාරූප -මාලන් කරුණාරත්න සහ අකුරැස්ස මධ්‍යම සමූහ 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...