රාජ්‍ය සේවයේ වැඩ කටයුතු ජනතා අප්‍රසාදයට ලක්වේ නම් වගකීම අංශ ප්‍රධානීන්ටයි | දිනමිණ

රාජ්‍ය සේවයේ වැඩ කටයුතු ජනතා අප්‍රසාදයට ලක්වේ නම් වගකීම අංශ ප්‍රධානීන්ටයි

මහවැලි ඔප්පු බෙදා දෙමින් ජනපති දිගන දී කියයි

රාජ්‍ය සේවයේ යම් අංශයක වැඩ කටයුතු ජනතා විරෝධයකට හා අප්‍රසාදයකට ලක්වන්නේ නම් ඒ පිළිබඳව එම අංශවල ප්‍රධානීන් වගකිව යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

‍තම හෘද සාක්ෂියට එකඟව අවංකව හා කැපවීමෙන් ජනතා සේවයේ නියුතු සියලු නිලධාරීන් ආරක්ෂා කරන අතරතුර රජය ඕනෑම අවස්ථාවක ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව ද ඒ මහතා කීය.

මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන යටතේ වික්ටෝරියා හා කොත්මලේ කලාපවල ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීම වෙනුවෙන් පසුගිය දා (18) දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ දී පැවැති උත්සවය අමතමින් ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මහවැලි ජනපදිකයන් දිගු කලක් තිස්සේ මුහුණ පා සිටි ගැටලුවකට විසඳුම් ලබා දෙමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මේ ඉඩම් ඔප්පු ප්‍රදානය සංවිධානය කර තිබිණි. වික්ටෝරියා හා කොත්මලේ කලාපවල මහවැලි ගොවීන් 1300 දෙනකු වෙනුවෙන් ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම මෙහි දී සිදු කෙරිණි.

රාජ්‍ය සේවයේ ඉඩම් අංශවල කටයුතු පිළිබඳ දීර්ඝ කාලයක් පුරා මෙරට ජනතාව තුළ පවතින්නේ අපැහැදීමක් බවත් මේ අමිහිරි අත්දැකීම් ආදර්ශයට ගනිමින් කොතැනක හෝ සිදුවන වැරැදි නිවැරැදි කර ගනිමින් මහජන සේවාව නිසි ලෙස ඉටු කිරීමට සියලු නිලධාරීන් කැප විය යුතු බවත් ජනපතිවරයා මෙහි දී කීය.

ඉඩමක උරුමය තම ජීවිතය මෙන්ම පරම්පරාවක උරුමය පිළිබඳ ප්‍රශ්නයක් බවත් එම උරුමය තහවුරු කිරීමට කටයුතු කිරීම රටේ පුරවැසියන් වෙනුවෙන් ඉටු කරන පරම යුතුකමක් බවත් ඒ මහතා අවධාරණය කළේය.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනපතිවරයා මෙසේ ද කීය. අපේ රටේ ගොවි ජනපද ව්‍යාපාර පිළිබඳව තිබෙන්නේ දීර්ඝ හා කීර්තිමත් ඉතිහාසයක්. බ්‍රිතාන්‍යය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුත් එම පාලන සමයේදීත් මෙරට ගොවි ජනපද ව්‍යාපාර පිළිබඳ ඉතිහාසය හා එම මතක සටහන් සැමගේ හදවත් තුළ සටහන්ව තිබෙනවා. රාජ්‍ය මන්ත්‍රණ සභාව ක්‍රියාත්මක වූ සමය තුළ කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා තමයි ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කළේ. අනුරාධපුරය, පොළොන්නරුව, මොණරාගල, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල එදා මහ ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කිරීමෙන් මෙරට ගොවි ජනපද ශිෂ්ඨාචාරයක් හා ගොවි ජනපද සංස්කෘතියක් ඇති වුණා. ඒ තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය පුළුල් පදනමක් ඇති ආකාරයට කෘෂි ක්ෂේත්‍රයේ දියුණුව සඳහා මූලික අඩිතාලමක් හා පදනමක් නිර්මාණය වුණා. එදා මෙදා කාලය තුළ මෙරට බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම තම පාලන කාලය තුළ ගොවි ජනපද ව්‍යාපාරවල ජීවත් වන ජනතාවගේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට කටයුතු කළා.

එක්දහස් නවසිය හැත්තෑ හතේ බලයට පැමිණි ආණ්ඩුව කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කළා. ගාමිණී දිසානායක ඇමැතිවරයාගේ නායකත්වය තුළ මහවැලි ව්‍යාපාරයේ නව නැම්මක් සමඟ අලුත් ගමනක් ඇති වුණා. මහවැලි ව්‍යාපාරය පිළිබඳ ඓතිහාසික පසුබිම එක්දහස් නවසිය තිහේ දශකයේ සිට හතළිහ, පනහ, හැට දශක දක්වා දිව එනවා.

1965 දී පමණ පොළොන්නරුවට එදා නායකත්වය දුන් සී. පී. ද සිල්වා ඇමැතිවරයා තමයි මෙරට පළමු මහවැලි විෂය භාර ඇමැතිවරයා. ඉන්පසු මහවැලිය උතුරට හැරවීමේ කාර්යයේ දී සී.පී. ද සිල්වා ඇමැතිවරයා 1969 දී මහනුවර පොල්ගොල්ලෙන් ජලය උතුරට හැරවීමේ වේල්ලට මුල්ගල තැබුවා. 1970 ආණ්ඩු වෙනසින් පසුව රජරට නායකයෙක් වූ මෛත්‍රීපාල සේනානායක මහතා එම විෂය භාරව කටයුතු කළා. 1976 ජනවාරි මාසයේ 08 වැනි දා පොල්ගොල්ලෙන් රජ රටට ජලය හරවනු ලැබුවා. 1977 ආණ්ඩු වෙනසත් සමඟ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ වුණා.‍ කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය යන මහ ජලාශ එදා මූලිකත්වය දුන්නේ කෘෂි ආර්ථිකයට වඩා රටේ කර්මාන්ත සඳහා විදුලි බල උත්පාදනයටයි.

මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ එදා මෙදා ඒ ඓතිහාසික කීර්තිමත් කතාවත් සමඟ වසර ගණනාවක් මේ ජනපදවල ඔබ වැනි පිරිස් ඔ‍බේ ඉඩමේ අයිතිය, ඔප්පුව, බලපත්‍රය, දීමනා පත්‍රය සම්බන්ධ බොහෝ ප්‍රශ්නවලට මුහුණ දුන් බව අපි දන්නවා. ඉඩමේ බලපත්‍රය ලබා ගැනීමට මහවැලි කාර්යාලවලට ඔබ කොතෙක් නම් යන්න ඇත්ද?. කොට්ඨාස කාර්යාලවලට කොතෙක් යන්න ඇත්ද?. ඒ ඇතැම් වෙලාවට ගොවි ජනතාව ලෙස ඔබට රසවත් වූ මිහිරි සුන්දර කතා වගේම අසුන්දර අශීලාචාර සිද්ධීන්වලටත් මුහුණ දීමට සිදු වූ බව රහසක් නොවෙයි.

මහවැලි ජනපදවල පමණක් නොව මුළු රටක් ලෙස ගතහොත් ඉඩම් කටයුතුවල දී බලපත්‍ර දීම, දීමනා පත්‍ර, ඔප්පු ලබා දීමේ දී මහවැලි ඉඩම් අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් දෙපාර්තුමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉඩම් අංශ, පළාත් සභාවල ඉඩම් අංශවල කටයුතු පිළිබඳ ජනතාවගේ පැත්තෙන් එතරම් පැහැදීමක් නැති බව සත්‍යයක්.

බොහෝ වෙලාවට ඉඩමේ ඔප්පුව හෝ බලපත්‍රය ලබා ගැනීමට ගිහින් නිලධාරීන්ට මුදල් දෙන්න සිදු වූ අවස්ථා පිළිබඳ මේ ජනතාවට හොඳ අත්දැකීම් ඇති. මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගොඩනැඟීම සඳහා මහවැලියේ ඉහළම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයාගේ සිට අවසාන කම්කරුවා දක්වා ඒ සෑම කෙනෙක්ම රටේ ජාතික සංවර්ධනය සඳහා ලබා දී තිබෙන දායකත්වය හා කැපවීම ඉතා විශිෂ්ටයි. ඒ පිළිබඳ මුළු මහත් ජාතියේම ගෞරවය මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ එදා මෙදා කටයුතු කළ සියලු දෙනාට හිමි වෙනවා.

ඒත් ඉඩම් අංශවල කටයුතු සම්බන්ධව ජනතාව‍ගේ පැහැදීමක් නොමැති බව කනගාටුවෙන් වුවත් කිව යුතුයි. එකම ඉඩම තුන් හතර දෙනාට දුන් අවස්ථා මහවැලි ගොවි ජනපදවල තිබෙනවා. ඉඩම් බලපත්‍රය, දීමනා පත්‍රය නැත්නම් ඔප්පුව ලබා ගන්න ගිහින් බොහෝ දුක් ගැහැට විඳින්න මහවැලි ගොවි ජනපදවල ජනතාවට සිදුවුණා.

ඒ නිසා අපි අපේ හෘද සාක්ෂියට එකඟව හිතන්න ඕන රාජ්‍ය සේවයේ වේවා අනෙකුත් රාජ්‍ය ව්‍යාවස්ථාපිත මණ්ඩලවල වේවා ඕනෑම ආතනයක සේවය කරන අයෙක් ජනතාව‍ගේ හිතසුව පිණිස ජනහිතකාමී ලෙස සේවය කරන්න. යම් කිසි අංශයක් වෙත ජනතා විරෝධයක් හෝ ජනතා අප්‍රසාදයක් එල්ල වන්නේ නම් ඒ අංශවල ප්‍රධානීන් එහි වගකීම බාර ගත යුතුයි.

අපේ රටේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කරන සෑම ආයතනයකම සිදුවන අක්‍රමිකතා, දූෂණ, වංචා පිළිබඳ ජනතාව තුළ ඇත්තේ අප්‍රසාදයකි. මෙය පසුගිය දශක කිහිපය තුළ සිදු වූ දෙයක්. ජනතාවගේ එවැනි අප්‍රසාදයට ලක් වූ ඇතැම් අය සේවයේ නැහැ. විශ්‍රාම ගිහින්. තවත් සමහරු ජීවතුන් අතර නැහැ. රාජ්‍ය සේවයේ පිරිස් ඉතා අවංකව තම වගකීම ඉටු කිරීම තුළ ජනතාව‍ගේ ප්‍රසාදයට පත්වෙන බව ස්ථිරයි. මම මේ ‍චෝදනා එල්ල කරන්නේ සෑම කෙනකුටම නොවෙයි. මේ කටයුතුවල වගකීමෙන් ක්‍රියා කරන අය දන්නවා තමන් තමන්ගේ රාජකාරිය හරියට ඉටු කළා ද නැද්ද කියලා.

වික්ටෝරියා ව්‍යාපෘතිය තුළ ඉඩම් දීමේ දී හා ලබා ගැනීමේ දී පසුගිය වසර 20-25 කාලය ගතහොත් බොහෝ අප්‍රසන්න සිදුවීම් තිබෙන බව ඔබ දන්නවා. මම මහවැලි ඇමැති ලෙස දීර්ඝ කාලයක් වරින් වර කටයුතු කළත් ඇතැම් වෙලාවට ඇමැතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, අධ්‍යක්ෂ ජනරාල්වරයා නොමඟ යවමින් ඉඩම් ලබා ගැනීමේ දී මහවැලි අධිකාරියේ ඇතැම් නිලධාරීන් බරපතළ වැරැදි දිගන, වික්ටෝරියා හා කොත්මලේ ප්‍රදේශවල සිදුකර තිබෙන බව හැමෝම දන්නවා. මේ ඉඩම් ඔප්පු ප්‍රදානය කරන අවස්ථාවේ මේ බව කියන්න ඕන. මේ වැරැදි අපි නිවැරැදි කර ගැනීම අත්‍යාවශ්‍යයි. අද දවසේ කාර්ය වගේම හෙට දවසේ රටේ මහජනතාව වෙනුවෙන් ඉෂ්ඨ කරන්නා වූ කාර්යයෙහි නිවැරැදි බව අවශ්‍යයයි.

වරදක් කොතනැක හෝ සිදු වන්නේ නම් එය කොතනින් හෝ නිවැරැදි වෙන්න ඕන. මහවැලි අධිකාරිය තුළ වැඩ කරන නිලධාරීන් අවස්ථා ගණනාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් බව රටම දන්නවා. එවැනි අපකීර්තිමත් තත්ත්වයක් ඇති කර ගන්නේ නැතිව ජනතා සේවයන් ඉටු කිරීමේ දී අපේ වගකීම හා යුතුකම් ඉටු කිරීම ඉතා වැදගත් වෙනවා. ඉඩම් පිළිබඳ ආරවුලක් ඇති වූ විට ඉඩම් නිරවුල් කිරීමේ කාර්යයේ දී කිසිදු අවස්ථාවක දේශපාලනඥයෙක් වේවා රාජ්‍ය නිලධාරියෙක් වේවා දේශපාලන පක්ෂ භේදයෙන් ඉඩම් නිරවුල් කිරීම ඉතා වැදගත්. ඉඩමක් පිළිබඳ ප්‍රශ්නය පරම්පරාගත ප්‍රශ්නයක්. තමාගේ පරම්පරාවේ අයිතිය පිළිබඳ වගේම තමාගේ ජීවත් වීම, තමාගේ දරුවන්ගේ හෙට දවස පිළිබඳ ප්‍රශ්නයක්. තමන්ට ජීවත් වෙන්න ගෙයක් දොරක් හදා ගන්න තිබෙන ප්‍රශ්නයක්.

මහපාරේ ජීවත් වෙනවාද, තමන්ට අයිති ඉඩමක ජීවත් වෙනවාද කියන ප්‍රශ්නයයි මෙතන තිබෙන්නේ. අපි හිතන්න ඕන මේ අපි නිවැරැදි කරන දේ ඉතාම පින්වන්ත, භාග්‍යවන්ත කාරණයක් කියන එක. ඒක හරියට කරන්නේ නැත්නම් ඒ වගේම අකුසලයක්. ඒ වැරැදි බොහෝ වෙලාවට යම්කිසි කාලයක තමන් පසුපසම එනවා. ඒ නිසා අපට මේ දේවල් නිවැරැදි කරගෙන සංවර්ධන කටයුතු සිදු කිරීම ඉතා අවශ්‍යයයි.

දේශපාලනඥයන් තමන්ගේ ‍මතය නිවැරැදිව ඉදිරිපත් කරමින් ඒ ගැන කතා කරන්න බියක් දැක් වූ යුගයක් තිබුණා. මේ රටේ කම්කරු පන්තිය වගේම වැඩ කරන ජනතාව තමන්ගේ අයිතීන් ඉල්ලීම සම්බන්ධයෙන් උද්ඝෝෂණ කරන්න පාරට බිහින්න, විරෝධතා කරන්න, උපවාස කරන්න, සත්‍යග්‍රහ කරන්න බියෙන් ජීවත් වූ කාලයක් තිබුණා. එවැනි යුගයක් අපි අවසන් කර තිබෙනවා. ලබා දී තිබෙන නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජය නිසි ලෙස බුක්ති විඳීම ඒ ජනතාවගේ අයිතියක් වගේම ඒ බුක්ති විඳින නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස අවබෝධ කර ගැනීම ඉතාම අත්‍යාවශ්‍යය දෙයකි. ඒ නිසාම අපි රජයක් විදිහට මොන විදිහේ බලපෑම්, උද්ඝෝෂණ ආවත් මහජනතාව වෙනුවෙන් අවංකව වගකීම ඉටු කරනවා.

මේ රටේ අනාගතය ඉතා සුබවාදී ලෙසයි අපි දකින්නේ. සෑම කෙනකුගේම සහාය ඒකට අවශ්‍යයයි. දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් වගේම රාජ්‍ය නොවන ආයතනත් රටේ පොදු මහජනතාවත් තමාගේ රට තමාගේ මව්බිම තමාගේ වගකීම් හා යුතුකම් කියන ඒ අවංක චේතනාවෙන් වැඩ කිරීම ඉතාමත් අත්‍යාවශ්‍යයයි. එවැනි පසුබිමක් තුළ කටයුතු කරගෙන යෑමේ දී අපේ ගෞරවනීය පූජනීය මහා සංඝරත්නය පිළිබඳ විශේෂයෙන් සඳහන් කරන්න ඕන. උන්වහන්සේලාගේ අනුශාසනා මඟ පෙන්වීම් මත තමයි අපි සෑම විටම කටයුතු කරන්නේ.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- එක්සත් ජාතික පක්ෂය 1977 බලයට පැමිණි අවස්ථාවේ මැතිවරණ ප්‍රකාශනය තුළ කඩිනම් මහවැලි ව්‍යාපාරය ගැන සඳහන් කළා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පොල්ගොල්ල ජලාශය ඉදි කළා. එජාප රජය වසර තිහක් තුළ ක්‍රියාත්මක කරන්න තිබූ මහවැලි ව්‍යාපාරය වසර 06 ක් තුළ අවසන් කළා.

මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා- වික්ටෝරියා, කොත්මලේ කලාපයට අද වැදගත් දවසක්. මේ වන විට මහවැලි ඉඩම් ඔප්පු 4500 ක් ලබා දී තිබෙනවා. මෙය සියලු දෙනා ලද ජයග්‍රහනයක්. වත්මන් ජනපති මහවැලි ඇමැතිවරයා ලෙස කටයුතු කළා. මහවැලි ඉඩම්වල පදිංචි ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම එතුමාගේ උදාර සංකල්පයක්.

මේ අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන වේඬරුවේ උපාලි, ආණමඩුවේ ධම්මදස්සී, රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරී අංකුඹුරේ පේමවංශ හිමිවරු ප්‍රමුඛ මහ සංඝරත්නය ද, මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, ඇමැති එස්. බී. දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

 

අසේල කුරුළුවංශ හා තිලක් පුෂ්පකුමාර
ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න