නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම | දිනමිණ

නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම

ජනපති

රජයක් ලෙස කටයුතු කරගෙන යෑමේදී විවිධ චෝදනා හා විරෝධතා එල්ල වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් බවත් අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම පවතින බව චෝදනා හා විරෝධතා මතු කිරීමට පවතින නිදහසෙන් තහවුරු වන බවත් ජනපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා පවසයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවී නොමැති නම් මේ ආකාර විවේචන,විරෝධතා ඇති වීමට ඉඩක් නොපවතින බවද ඒ මහතා කීය.

මහවැලි ජනපදිකයින් වෙත ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන යටතේ වික්ටෝරියා හා කොත්මලේ කලාප වල ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු ලබාදීම වෙනුවෙන් පසුගියදා (18) දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේදී පැවැති උත්සවය අමතමින් ජනපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය.

රටේ වැඩකරන ජනතාවට තමන්ගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් පාරට බැස උද්ඝෝෂණ, විරෝධතා, උපවාස, සත්‍යග්‍රහ කරන්නට නොහැකිව බියෙන් ජීවත් වීමට සිදුවූ යුගයක් පැවැති බවත් එවැනි යුගයක නිමාව සනිටුහන් කරමින් අද නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම බුක්ති විඳින්ට හැකි පසුබිමක් රට තුළ නිර්මාණය කරදී තිබෙන බවත් ජනපතිවරයා කීවේය.

තමන්ගේ අතේ තිබෙන දුරකථනයෙන් තමන්ගේ මිතුරකුට කතා කරන්න, රජයේ නිලධාරියකුට තමන්ගේ දුරකථනයෙන් සහෝදර නිලධාරියකුට කතා කරන්න බියක් ඇතිවූ කාලයක් මෙරට තිබූ බවත් අද ලබාදී තිබෙන නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස අවබෝධ කර ගනිමින් නියමාකරයෙන් බුක්ති විඳීම ජනතාවගේ වගකීමක් බවත් හෙතෙම අවධාරණය කළේය.

රජයක් ලෙස ජනතාවාදී අයුරින් කටයුතු කරගෙන යෑමේදී ඊට එරෙහිව කුමන ආකාරයේ බලපෑම්, උද්ඝෝෂණ පැමිණියත් ජනතාව වෙනුවෙන් අවංකව සේවය කිරීම අඛන්ඩව ඉදිරියට ගෙනයන බවද ජනපතිවරයා කීය. දේශපාලනඥයින්ට තමන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කරන්න බියක් ඇතිවූ යුගයක් තිබූ බවත් අද කාටත් නිදහසේ අදහස් දැක්වීමේ අවකාශ පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. රටේ අනාගතය සුබවාදී එකක් බවත් ඒ සඳහා අවශ්‍යය කටයුතු සැලසීමට සැමගේ සහය අවශ්‍යය බවත් කී ජනපතිවරයා දේශපාලනඥයින්,රාජ්‍යය නිලධාරීන්,රාජ්‍යය නොවන ආයතන වගේම පොදු මහජනතාවත් තමන්ගේ යුතුකම් හා වගකීම් රට වෙනුවෙන් ඉටු කිරීමේ අරමුණ පෙරදැරිව කටයුතු කිරීම ඉතා වැදගත් බවද පැවසුවේය.

අසේල කුරුළුවංශ හා තිලක් පුෂ්පකුමාර 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...