‘62 ලක්ෂය සීරුවෙන් සිටිය යුත්තේ ඇයි? | දිනමිණ

‘62 ලක්ෂය සීරුවෙන් සිටිය යුත්තේ ඇයි?

ආර්ථික හා සමාජ සංවර්ධනය ගැන, සුබසාධනය ගැන වඩාත් සංවේදී අඩු ආදායම්ලාභී ජනතාව ගැන වගේම ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගැන සංවේදී මධ්‍යම පාන්තිකයන් ද තෘප්තිමත් කරමින් තිරසාර ගමනක් යාමයි අද ආණ්ඩුව හමුවේ ඇති අභියෝගය. මෙය ‘රැවුලයි කැඳයි ’ දෙකම බේරා ගැනීමක් වශයෙන් නොසැලකිය යුතුයි. වුවමනාව හා ඥානය තිබේ නම් මේ දෙකම බේරා ගෙන වැඩ කළ හැකි බව මේ ආණ්ඩුව ජනතාවට ඒත්තු ගැන්විය යුතුයි.

පුරවැසි බලය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු 2015 ජනවාරි 08 දේශපාලන වෙනසට දායක වූ සිවිල් සමාජ සංවිධාන රැසකගේ සහභාගිත්වයෙන් ‘62 ලක්ෂය සීරුවෙන් මහා සත්‍යග්‍රහය’ පසුගිය 15 වැනිදා කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිටදී පැවැත්විණි.

2015 මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වූ බව කියන වංචාව, විදේශ ඇමැති රවි කරුණානායක ඇමැති පදවියෙන් ඉල්ලා අස්වීම, අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගය, හම්බන්තොට වරාය රාජ්‍ය - පෞද්ගලික සාමූහික මෙහෙයුම, රාජපක්ෂ පවුලට එරෙහිව සිදු වෙමින් පැවැති වංචා, දූෂණ හා අපරාධවලට සම්බන්ධ පරීක්ෂණ යළි අධිකරණය හමුවේ විභාග වීම ඇරැඹීම ඇතුළු සිදුවීම් රැසක් මධ්‍යයේ පැවැති මේ පුරවැසි සත්‍යග්‍රහය දේශපාලනිකව මෙන්ම මතවාදීව ද වැදගත්කමක් උසුලනවා. ඒ නිසා මේ 62 ලක්ෂයේ දේශපාලන වුවමනා එපාකම් සහ එහි ප්‍රවණතා ගැන සියුම්ව විමසා බැලීමකට මේ සුදුසුම අවස්ථාව වශයෙන් සැලකිය හැකියි. එයට හේතුව වන්නේ මේ 62 ලක්ෂය විසින් 2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ පරාජය කරමින් ආරම්භ කළ වෙනස යළිත් තීරණාත්මකව තහවුරු කළ මහ මැතිවරණයත් ජයගෙන (2015 අගෝස්තු 17 මහ මැතිවරණය)මේ වන විට අවුරුදු දෙකක් සම්පූර්ණ වන නිසයි.

ජනවාරි 08 සහ 62 ලක්ෂය

2015 ජනවාරි 08 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව තීරණාත්මකව පරාජය කරමින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ලැබූ ජයග්‍රහණය අභිෂේක කළේ “පොදුජන වියග්‍රහණයක්” ලෙසයි. එය 1956 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ලැබූ ජයග්‍රහණයට සමානුපාත කිරීමට පවා බොහෝ දේශපාලන විශ්ලේෂකයන් කැමැත්තක් දැක්වූවා. ඒ වගේම මේ කාලය තුළ මැදපෙරදිග කලාපය ප්‍රමුඛව සිදු වූ පොදුජන විප්ලව අනුව යමින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය “දේදුනු විප්ලවය” යනුවෙන් නාමකරණය කිරීමකුත් දැකිය හැකි වුණා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රාහී ඡන්ද 62 ලක්ෂය තුළ ලංකාවේ එතෙක් කිසිම ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී දැකිය නොහැකි වූ ජාතික, ආගම් හා දේශපාලන විවිධත්වයක් අන්තර්ගත වීම නිසයි. ධනවාදී එක්සත් ජාතික පක්ෂය වගේම මැද මාවතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, වාමාංශික ජනතා විමුක්ති පෙරමුණත් මේ දේශපාලන පෙරමුණ නියෝජනය කළා. දෙමළ ජාතික සන්ධානය වගේම ජාතික හෙළ උරුමයත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් මේ දේශපාලන සන්ධානය තුළ සිය පුර්ණ සහභාගිත්වය සහතික කළා. මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන්, වගේම චම්පික රණවකත් මේ දේශපාලන සන්ධානය තුළ සිටියා. මාදුළුවාවේ සෝහිත හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නයත්, හින්දු, ක්‍රිස්තියානි, කතෝලික, ඉස්ලාම් ආගමික නායකත්වයත් මේ 62 ලක්ෂය තුළ සිටියා.

ඒ නිසා ජනවාරි 08 වෙනසට දායක වූ 62 ලක්ෂය සැලකිය හැක්කේ ඉතා වර්ණවත්, දැඩි බහුත්වයකින් යුත් දේශපාලන ප්‍රවණතාවක් විදිහටයි. ඒ නිසා ජනවාරි 08 වෙනස තුළ නිරූපණය වන්නේ දේශපාලන වුවමනා එපාකම් ගණනාවක එකතුවක්. එම වුවමනා එපාකම් අඩු වැඩි වශයෙන් ඒ ඒ පාර්ශ්වයන්ගේ දේශපාලන, සමාජ, ජාතික හා ආගමික අභිලාෂයන් මත ප්‍රමුඛ වීම හෝ නොවීම සිදුවිය හැකියි.ඒ නිසා ජනවාරි වෙනසට අවුරුදු 2 2/1ක් ගතවන විට ඒවා ප්‍රමුඛතාගත කිරීම අතාර්කිත බවක් දැකිය හැකියි. ඒ දේශපාලනය අතිශයින් ප්‍රායෝගික හා ගතික ස්වභාවයෙන් යුක්ත දෙයක් නිසයි. න්‍යායිකව කුමනාකාරව කතා කළත් ‘බලය’ සමඟ පමණක් ගනුදෙනු කරන නිසයි. අද “62 ලක්ෂය සීරුවෙන්” යැයි කියමින් ආණ්ඩුවෙන් යහපාලන පොරොන්දු ඉටුකරවා ගැනීමට බලපෑම් කිරීමට සිදුවන විට මේ දේශපාලන යථාර්ථය වටහාගත යුතුයි.

දේශපාලන භූමියේ යථාර්ථය

දේශපාලනයේ න්‍යායික ස්වභාවය ඉක්මවා ගිය දේශපාලනයේ ප්‍රායෝගිකත්වය උදේ හවස අත්දකින පුද්ගලයෙකු ලෙස මේ ලේඛකයාගේ අදහස වන්නේ “බලය සමඟම ක්‍රීඩා කිරීමට බල කරන” දේශපාලනයේ ප්‍රායෝගිකත්වය තුළ “බලයට ඒම හෝ බලය අල්ලා ගැනීම” බලය අභ්‍යාස කිරීම” සහ ‘බලය රැක ගැනීම” සඳහා දේශපාලනඥයන් කියන කරන සියලු දේ දේශපාලනය අනුව සර්ව සාධාරණ වන්නා සේම බලය උදෙසා දේශපාලනඥයන් කියන කරන සියලු දේ ජනතාව විසින් ද උපේක්ෂාවෙන් ඉවසා සිටින බවයි. මෙය අල්ප දේශපාලන සාක්ෂරතාවක් ඇති ලංකාවේ සිට මහා දේශපාලන සාක්ෂරතාවක් ඇතැයි සිතිය හැකි අමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය දක්වා දිවෙන බව අපට පැහැදිලි වන්නේ බලයට ඒමට පෙර, මැතිවරණ සමයේ වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ කී දෑ සහ අද සිදුවන දේ අතර දැවැන්ත වෙනස දකින විටයි. ඒ නිසා දේශපාලනය යනු “කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි” වැඩක් බව දන්නා දේශපාලනයේ සැබෑවටම නියුතු වන, බැටකන පොදු ජනතාව දේශපාලන පොරොන්දු හා ගිවිසුම් ගැන ඒ හැටි කලබල වනු, පසුතැවෙනු අපට දැකිය නොහැකියි.

මේ නිසා 1956 දී බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ සිට අද දක්වා මහජනතාව අපේක්ෂා කරන්නේ හුදු න්‍යායිකත්වය ඉක්මවා ගිය ප්‍රායෝගික දේශපාලන ප්‍රවේශයක් මිස දේශපාලන න්‍යායිකත්වයක් නෙමෙයි. උදාහරණයක් විදිහට 1977 දී ජේ.ආර් ජයවර්ධන මහතා “ධර්මිෂ්ට සමාජයක් ” බිහි කරන බවට දුන් පොරොන්දුවට වඩා ජනතාවට වැදගත් වුණේ විවෘත ආර්ථිකය හඳුන්වාදීම මගින් සිදු කළ ආර්ථික වෙනසයි. නිදහස් වෙළෙඳ කලාප, කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය, ගම්උදාව ආදිය මගින් ජනතාවගේ භෞතික ජීවන තත්ත්වය ඉහළට ඔසවා තබන ප්‍රවේශයන් ගත් දේශපාලන තීන්දුයි. මේ තත්ත්වය තුළ මේ ලියුම්කරුගේ අදහස වන්නේ 62 ලක්ෂයේ අති බහුතරයක් වන ග්‍රාමීය හා අර්ධ නාගරික අඩු ආදායම්ලාභී ජනතාවගේ ආර්ථික හා සමාජයීය තත්ත්වය ඔසවා නොතබන, ඒවාට ආමන්ත්‍රණය නොකරන “රාජ්‍යයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ” ආණ්ඩුවේ ශක්තිය උරගා බැලෙන මැතිවරණ රැල්ලක් එන ඉදිරි තීරණාත්මක කාලය තුළ ජනතාව විසින් දැඩිව අපේක්ෂා නොකරනු ඇති බවයි. ඒ වෙනුවට “ඇඟට දැනෙන වෙනසක්” ඔවුන් වඩ වඩාත් අපේක්ෂා කරනු ඇති බවයි.

දේශපාලන ප්‍රතිසංස්කරණ ප්‍රමුඛ වූ විට

මේ ගැන මේ ලියුම්කරු සමඟ අදහස් දක්වමින් වාමාංශික බුද්ධිමතුන් කිහිප දෙනකුම ප්‍රකාශ කළේ ලංකාව වැනි තමන්ගේ මූලික අවශ්‍යතාවන් පවා ඉටුකර නොගත්, ඉටුකර ගැනීමට මහත් අරගලයක් කරන අති බහුතර ජනතාවක් සිටින රටක දේශපාලන ප්‍රතිසංස්කරණවලින් පමණක් රාජ්‍ය බලය අල්ලා ගෙන සිටීම අසීරු කරුණක් වන බවයි. 1970 සමඟි පෙරමුණු ආණ්ඩුව මේ සඳහා උදාහරණ වශයෙන් ගත් ඔවුන් අවධාරණය කළේ, සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව (1970-77) ලංකාව ජනරජයක් කිරීම, ජනරජ ව්‍යවස්ථාව හඳුන්වාදීම, ඉඩම් ප්‍රතිසංස්කරණය, ජනසතුකරණය, වැනි අතිෂය ජනප්‍රිය දේශපාලන තීන්දු ගනිමින් ඒ කාලයේ ඉතාමත් ජනප්‍රිිය වාමාංශික දේශපාලනයක නිරත වුවත් ජනතාවගේ මූලික අවශ්‍යතා (පෝලිම් යුගය, රැකියා හිඟය) කෙරෙහි දැක්වූ අල්ප අවධානය හේතුවෙන් “ඇට අටක් ” ලබා දෙන පොරොන්දුව පිට 1977 දී ජේ.ආර්. ජයවර්ධනට පාර්ලිමේන්තුවේ අති බහුතරයක් ලබා ගනිමින් වාමාංශික දේශපාලනය අතුගා දැමීමට අවස්ථාව උදා වූ බවයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී, නැතහොත් බලය අල්ලා ගැනීමට කළ මැතිවරණයේදී රාජ්‍ය ප්‍රතිසංස්කරණ (බලය බෙදීම, අලුත් ව්‍යවස්ථාව, රාජ්‍ය සේවය ස්වාධීන කිරීම, තොරතුරු අයිතිය) ගැන බර තබන ප්‍රවේශයක් ගත්ත ද, එය ආකර්ෂණීය පොරොන්දුවක් වුව ද බහුතරයක් ජනතාව කෙරෙහි බලපෑවේ මහින්ද රාජපක්ෂ යුගයේ ක්‍රියාත්මක වූ කොල්ලකාරී හා සාටෝපකාරී ආර්ථික අහේනිය බව අප අමතක නොකළ යුතු බව ද ඔවුන්ගේ අදහස වුණා.

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ ආදි රාජපක්ෂ යුගයේ දැවැන්ත ආර්ථික ප්‍රවේශයන් අසාර්ථක වීම, ඇඟලුම් කර්මාන්තය බිඳ වැටීම, ග්‍රාමීය කෘෂිකාර්මික සංවර්ධනය අතපසු කිරීම (පොහොර සහනාධාර දුන්නද) වැනි දේ මගින් ග්‍රාමීය ජනතාව දේශපාලන වෙනසක් වෙත ක්‍රමයෙන් යොමු වුණත් දේශපාලන වෙනස සඳහා වඩාත් ශක්තිමත්ව බලපෑවේ ඡන්ද පොළට නොගිය එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් අති බහුතරය සහ සුළු ජාතීන්ගෙන් අතිබහුතරය දේශපාලන වෙනස සඳහා ඡන්දය භාවිත කිරීම බවයි ඔවුන්ගේ අදහස වුණේ. මේ තත්ත්වය තුළ මේ ජනතාවගේ ශක්තිය හා වුවමනා එපාකම් ලඝු කිරීම ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍ය කෙරෙහි කිසිසේත් ගුණදායක නොවන බවයි ඔවුන්ගේ අදහස වන්නේ.ජනතාවගේ ආර්ථික හා සමාජයීය වුවමනා එපාකම්වලට වඩාත් සංවේදී ජනතා විමුක්ති පෙරමුණ අද ආරම්භ කර ඇති ප්‍රවේශය ගැන වඩාත් සංවේදී විය යුතු බවයි මෙහිදී ප්‍රකාශ වුණේ.

මෙය ප්‍රතිසංස්කරණ ලඝු කිරීමක් ද ?

මේ අදහස කිසිසේත් පුරවැසි බලය, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සමාජ සංවිධාන හා දේශපාලන සංවිධාන විසින් පසුගියදා ඉදිරිපත් කළ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු, ජාතිවාදයට හා ආගමික අන්තවාදයට ඉඩ නොදෙනු, දූෂිතයන් අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවනු, දූෂිත ඇමැතිවරුන් ඉවත් කරනු, ඡන්ද කල් නොදමා වහා පවත්වනු, බලය බෙදා ජාතික ප්‍රශ්නය විසඳනු හා බැඳුම්කර අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන එනු යන පොරොන්දු ඉටුකර ගැනීමට කරන පොදුජන අරගලය ලඝු කිරීමක් හෝ අවමානයට පත් කිරීමක් නොවෙයි.

ඒත් අවාසනාවකට යහපාලන ආණ්ඩුවේ ආරම්භයේ සිටම සිදුවෙමින් තිබෙන්නේ කිසිසේත් දේශපාලන හා රාජ්‍ය ප්‍රතිසංස්කරණ ජනතාව හමුවේ ආකර්ශනීය වන හෝ එය ආණ්ඩුවේ ඡන්ද පදනම ශක්තිමත් කරන ප්‍රවේශයක් නොවෙයි. උදාහරණයක් විදිහට දැවැන්ත සිවිල් සමාජ මැදිහත්වීමකින් දිනාගත් තොරතුරු දැන ගැනීමේ අයිතිය, අතුරුදන්වූවන් පිළිබඳ පනත, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් යළි ස්ථාපනය කළ “ව්‍යවස්ථාදායක සභා”මගින් අපේක්ෂිත ආකර්ෂණයක් ආණ්ඩුවට ලැබෙනවාද ? යන්න අප විසින් විමසා බැලිය යුතුයි. ඒ ගැන මධ්‍යස්ථව විමසා බැලීමේදී ජනතාවගේ වැඩි අදහස වන්නේ මේ වර්ණවත් රාජ්‍ය ප්‍රතිසංස්කරණ මගින් ඔවුන්ට ලැබුණ දෙයක් නැති බවයි. ඒ වෙනුවට අද ජනතාව අතර බලවත් කැළඹීමක් ඇති කොට ඇත්තේ සමෘද්ධි සහනාධාරය කප්පාදු කිරීම, බුලත් ගොවීන්ගේ ගැටලු, නියඟය වැනි ඕනෑම රජයක් නිරන්තරයෙන් මුහුණපාන සුබසාධනය හා සාමාන්‍ය පරිපාලනය සම්බන්ධ ගැටලුයි. අද විපක්ෂය විසින් ආණ්ඩුවට දමා ගසමින් සිටින්නේ ද ජාත්‍යන්තරයේ හා මධ්‍යම පන්තියේ ඇගයීමට ලක් වූ මේ දේශපාලන ජයග්‍රහණ වෙනුවට ජීවන වියදම ඉහළ යාම, බැඳුම්කර සිදුවීම, සමෘද්ධිය කප්පාදු කිරීම, නියං සහනාධාර වැනි සිල්ලර ගල්මුල් වලිනුයි.

දූෂිතයන් ඇල්ලීම වැනි පොරොන්දු ඉටුකරවා ගැනීමට සිවිල් සමාජය ආණ්ඩුවට බලකරන කොට ඊට ප්‍රතිචාරීව වාගේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එදිනම රහස් පොලිසිය පියවර ගත්තා. ඒත් ඒ අවස්ථාවේ අපි ඉතා පැහැදිලිව දැක්කේ කුමක්ද ? රාජපක්ෂ පවුල තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කොතරම් සංවේදී ද යන්නයි. ඔවුන් කිසිම බියකින් තොරව සැලකිය යුතු පිරිසක් කැඳවාගෙන ඇවිත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ආරක්ෂා කර ගැනීමට සටන් පාඨ කියමින් ආණ්ඩුව බිය වැද්දීමට පියවර ගත්තා. මේවා ඉතාම බරපතළ මැදිහත්වීම් වුණත් ආණ්ඩුවට ඒවා ඉවසන්න වෙලා තිබෙනවා. ඒ ඇත්තටම ආණ්ඩුව පවත්වා ගෙන යාමට බහුතර පාර්ලිමේන්තු බලයක් එජාපයට නැහැ. රාජපක්ෂ පවුලේ ඇතුළු පසුගිය ආණ්ඩුවේ මෝරුන් අල්ලන්න ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රීලනිපයේ බහුතරයකගෙන් සහාය ලැබෙයි කියලා අපිට කිසිසේත් විශ්වාස කළ නොහැකියි. මොකද ඔවුන්ට යහපාලනය ගැන වගවීමක් නැහැ. ඒ නිසා අද ආණ්ඩුව පත්ව සිටින සැබෑ තත්ත්වය කවුරු කවුරු යථා සිහියෙන් අවබෝධ කරගත යුතුයි. “තැල්ල බඳින්න නම් බෙල්ලක් තිබිය යුතු’ බව ඔවුන් වටහාගත යුතුයි.

මේ බල කිරීම්වල වාසිය කාටද ?

යහපාලන ආණ්ඩුව මුහුණදීලා තිබෙන දැවැන්තම ගැටලුවක් තමයි පසුගිය කාලය තුළ ආණ්ඩුව කළ සාධනීය හා සංවර්ධනාත්මක කාර්යයන් කිසිවකට නිසි ප්‍රචාරයක් නොලැබීම. ආණ්ඩුවේ සංවර්ධන කාර්යයන් නිසි පරිදි ජනතාවට සන්නිවේදනය නොවන විට ඔවුන් තුළ විචිකිච්ඡාවක් ඇතිවීම ස්වභාවිකයි. මොකද අද සියලුම විපක්ෂ බලවේග, ජවිපෙ පවා දිගින් දිගටම අවධාරණය කරමින් සිටින්නේ “ආණ්ඩුව හොරා කන එක හැර කිසිවක් නොකරන බවයි” “රාජ්‍ය සම්පත් විකුණා ගෙන කන බවයි”. ආණ්ඩුව පැත්තෙන් මේ අසත්‍ය කතාවලට එරෙහිව ශක්තිමත්, අඛණ්ඩ සන්නිවේදනයක් සිදු නොවන විට ජනතාව අතර වඩාත් ශක්තිමත් වන්නේ විපක්ෂයේ කතා පමණයි. මොකද විපක්ෂය අඛණ්ඩව ගොබෙල්ස්වාදී ක්‍රමෝපායන් අනුගමනය කරනවා. මේ තත්ත්වය තුළ යහපාලනය බලයට පත් කළ බලවේගත් ආණ්ඩුවට එරෙහිව ඍණාත්මක බලපෑමක් සිදුවන දේ අඛණ්ඩව සමාජගත කිරීම ඇත්තටම ආණ්ඩුවට එරෙහිව වස් කවි කීමක් හා සමානයි.

මොකද අපි පසුගිය කාලේ දැක්කා ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වූ දැවැන්ත වැඩවර්ජන රැල්ල හමුවේත්, හම්බන්තොට වරාය සංවර්ධනය ඇතුළු සංවර්ධන වැඩපිළිවෙළ හමුවේත් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින්න, ආණ්ඩුව ආරක්ෂා කරන්න ශක්තිමත් ඉදිරිපත් වීමක් සිදු වුණේ නැහැ. මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී පසුගිය ආණ්ඩුවට හිතවත් බලවේග හැසිරුණ ආකාරය දකින විට මෙය ඉතාම අසතුටුදායක තත්ත්වයක්. යහපාලන ආණ්ඩුව තුළ ඒ වෙනුවට සිදු වුණේ අනියම් ආකාරයෙන් විපක්ෂ මතවාද ශක්තිමත් කිරීමක්. අද වන විට වේගයෙන් පෙළ ගැසෙන දේශපාලන හා සමාජ ප්‍රවණතා හමුවේ ආණ්ඩුව බලයට පත් කළ 62 ලක්ෂයත් ආණ්ඩුවට වස්කවි නොකිවිය යුතු බවයි බොහෝ දෙනකුගේ අදහස වන්නේ මෙවැනි ඍණාත්මක සිදුවීම් නිසයි.

පොරොන්දු ඉටු කළ යුතුයි

ඒ වගේම වගකිව යුතු ආණ්ඩුවක් ලෙස විපක්ෂයේ අවස්ථාවාදී හා සිල්ලර සටන් පාඨ දඩමීමා කර ගනිමින් යහපාලනය වෙනුවෙන් දුන් පොරොන්දුවලින් ගැළවීයාමට ආණ්ඩුවට සාදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ආණ්ඩුව වටහාගත යුතුයි. මොකද මේ යහපාලන පොරොන්දු ඉටු නොකළ විට ඉතාම පැහැදිලිවම දේශපාලනයේදී ඉතාම වැදගත්, ජනමත ප්‍රධානීන් වශයෙන් සැලකිය හැකි වර්ණවත් මධ්‍යම පාන්තිකයන්, තරුණයන් හා සුළු ජාතීන්, සුළු ආගමිකයන් ඇතුළු දේශපාලනයේ දී තීරණාත්මක පිරිසක් ආණ්ඩුව වෙතින් ස්ථිරවම දුරස්ථ වෙනවා. ඒ සමඟ ආණ්ඩුවේ ජයග්‍රහණය තවත් ශක්තිමත් පදනමක් දුර්වල වෙනවා. ග්‍රාමීය ඡන්ද, සිංහල බෞද්ධ ඡන්ද ගැන මහත් විශ්වාසය තබමින් මහින්ද රාජපක්ෂ මහතා 2015 දී මේ අවදානම බාර ගත්තා. හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය ප්‍රතිසංස්කරණ, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, යහපාලන භාවිතයන් ගැන උනන්දු මේ ප්‍රජාව සම්පූර්ණයෙන් නොසලකා හැරලා ඡන්දයට ගියා. අවසානයේ සිදු වූ දේ කාටත් පැහැදිලියි.

ඒ නිසා ආර්ථික හා සමාජ සංවර්ධනය ගැන, සුබසාධනය ගැන වඩාත් සංවේදී අඩු ආදායම්ලාභී ජනතාව ගැන වගේම ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගැන සංවේදී මධ්‍යම පාන්තිකයන් ද තෘප්තිමත් කරමින් තිරසාර ගමනක් යාමයි අද ආණ්ඩුව හමුවේ ඇති අභියෝගය. මෙය ‘රැවුලයි කැඳයි ’ දෙකම බේරා ගැනීමක් වශයෙන් නොසැලකිය යුතුයි. වුවමනාව හා ඥානය තිබේ නම් මේ දෙකම බේරා ගෙන වැඩ කළ හැකි බව මේ ආණ්ඩුව ජනතාවට ඒත්තු ගැන්විය යුතුයි. 2015 ජනවාරි 08 වෙනස වෙනුවෙන් ඇප කැප වුණ 62 ලක්ෂය සීරුවෙන් සිටිමේ තාර්කික පදනම මෙය බවයි අවසාන වශයෙන් සටහන් කළ යුත්තේ.

භාතිය බරුකන්ද 

නව අදහස දක්වන්න