ඇමැති විජයදාසට එරෙහි විශ්වාස භංගයට එජාප එකඟතාව | දිනමිණ

ඇමැති විජයදාසට එරෙහි විශ්වාස භංගයට එජාප එකඟතාව

ශිරෝමි අබයසිංහ

අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවට සඳහන් කරමින් ඉදිරිපත් වූ යෝජනාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් ඒකාබද්ධ රැස්වීමේ දී ඊයේ (17) ඒකමතිකව සම්මත විය.

මෙම යෝජනාව ඉදිරිපත් කළේ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා වන අතර එය ස්ථිර කළේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අනුර සිඩ්නි ජයරත්න මහතාය.

චෝදනා පහක් පදනම් කර ගනිමින් මෙම විශේෂ යෝජනාව ඉදිරිපත් විය.

විජයදාස රාජපක්ෂ මහතාට විරුද්ධව ඉදි‍රිපත් කළ යෝජනාව සම්මත වීමෙන් පසු ඒ පිළිබඳව විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නද කිසිවකුත් ඊට විරුද්ධ නොවූ බව වාර්තා වේ.

කෙසේ වෙතත් Òහම්බන්තොට වරාය ආපසු අරගෙන මිස පස්ස බලන්නේ නැහැÓ යන සිරස්තලය යටතේ අගෝස්තු 10 දා ජාතික පුවත් පතක පළ වූ ප්‍රධාන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නිවැරැදි කර ප්‍රකාශයක් කිරීමට ලබන සඳුදා (21) වනතුරු කල් ලබා දීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළ බවද වාර්තා වේ.

සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ කම්කරු හා වෘත්තිය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහත්වරුන්ගේ සහාය ඒ සඳහා ලබා ගන්නා ලෙස ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

පැය දෙකක් පුරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විවේචන එල්ල වූ බවද මාධ්‍යවල වාර්තා වූ ආකාරයට හම්බන්තොට වරාය සම්බන්ධයෙන් තමා ප්‍රකාශයක් නොකළ බව එහිදි විජයදාස රාජපක්ෂ මහතා පැවසු බවද වැඩිදුරටත් වාර්තා වේ.

මන්ත්‍රීවරු කුමක් පැවසුවද නඩු ප්‍රමාදය සම්බන්ධයෙන් තමාට නීතිපති දෙපාර්තමේන්තුවට ඇඟිලි ගැසිය නොහැකි බවට රාජපක්ෂ මහතා පවසා ති‍බේ.

විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබු චෝදනා මෙසේය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස තම වගකීම් ඉ‍ටු කිරීමට අපොහොසත් වී‍ම

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව ඇති අල්ලස හා දූෂණය මැඩලීමට නව නීතී ගෙන ඒමට අපොහොසත්වීම.

අපරාධ මගින් උපයාගත් ධනය ආපසු ජනතාවට අත්පත් කර දීම සඳහා අවශ්‍ය කරන නව නීතී ගෙන ඒමට අපොහොසත්වීම.

අපරාධ නඩු විභාග කිරීමට අදාළව පවතින අධික ප්‍රමාදය නිසා යුක්තිය ඉටු නොවීම පිළිබඳව ශ්‍රී ලංකා පුරවැසියන් බරපතල ලෙස අධිකරණ ඇමැතිවරයාට විවේචන එල්ලවීම,

ඇමතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් රජය හා එක්සත් ජාතික පක්ෂය බලවත් ලෙස ජනතා අප්‍රසාදයට පත්වීම, නිසා

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කෙරෙහි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ ආණ්ඩු පක්ෂයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශ්වාසහ නොමැති බව මෙයින් යෝජනා කර සිටියි. 

නව අදහස දක්වන්න